Monday, January 13, 2014

එදා - අද


කිසි කමකට නැතිව ගෙවිල ගිය දවස අවසානයේ එයාගේ කට හඩ දුරකතනයේ අනිත් පැත්තේ ඉදන් ගලා එන්න පටන් ගත්ත මොහෙතේ මම ඇත්තටම ජීවත්වෙන්න ගත්තා.  මම දුර රටක තනි වෙන්න කලින් මේ ඇමතුම ගැන එයා එතරම් සැලකිල්ලක් නොදැක්කුවා කියල හිතුනත් දැන් නම් මම කතා කරනකම් බලා ඉන්නවා හැමදාම. සුපුරුදු විදිහට පටන් ගත්ත දොඩමලුව ටික වෙලාවකින් අපි ලේසියකට ඇදලා නොගන්න අතීතයකට ඇදිලා ගියා.
"ඇත්තටම ඇයි ඔයා අවුරුදු ගානක්ම මට කැමැත්ත දෙන්නෙ නැතුව හිටියේ? ඒ විතරක්ද කොච්චර නපුරුකම් කලාද මට" කලින් කිහිප වතාවක් අහල තියෙන දෙයක් මම ආයෙත් ඇහුව.
"ඔයාට මාව ගැලපෙන්නෙ නැති නිසා. දැනට උනත් මට එහෙම හිතෙනවා."
"ඇයි එහෙම හිතන්නෙ. අනික, මට ඔයාව ගැලපෙන්නෙ නෑ කියන්නෙ, ඔයාට මාව ගැලපෙන්නෙ නෑ කියන එක නෙ. හැබැයි ඔයාට ගැලපෙන දේ තීරනය කරන එකේ අයිතිය ඔයාට තිබුනත්, මට ගැලපෙන දේ තීරනය කරන්න ඕන මම නේ."
"මට තාම හිතෙන්නෙ මං වගෙ දුප්පත් කෙල්ලෙක් ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා. මං වෙනුවට ඔයාට සල්ලි තියෙන, ඔයාට හරියන රස්සාවක් කරන කෙනෙක් තෝරගන්නයි තිබුනේ. එහෙම උනා නම් ඔයාට ඔය වගේ පිට රටකට ගිහින් දුක් විදින්න ඕන න නේ."
"පිස්සු ඔයාට. මොකෝ මට මොනව තියෙනවටද මම දුප්පත් නෑ කියන්නෙ."
"නෑ. අපේ හැටියට ඔයාල කොච්ච්‍ පෝසත්ද. ඒක නෙමෙයි. ඇයි ඉතින් ඔයා ඔච්චර කාලය් බලාගෙන හිටියෙ මං වෙනුවෙන්ම?"
"අනේ මංද"
"ඇත්තටම කියන්නකෝ. ඔයාට හිතුනෙම නැද්ද වෙන කෙල්ලෙක් ගැන?"
"ම්ම්... නෑ නේ"
"ඇත්තම කියන්නකෝ" 
"ඇත්තටම තමයි. එත් මට නපුරුකම් කරන කොට නම් වෙලාවකට හිතුන ඔයාට ඕන මගුලක් කර ගන්න දීලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්න. ඒත් ඒ එක මොහොතකට විතරයි"
එක ක්ෂනයකින් මගෙ හිතේ ආර්ට් ෆැකල්ටියේ ඉදලා වුස් කැන්ටිම දිහාවට වැටිල තියෙන අඩි පාර  ඇදිලා, මැකිලා ගියා. සාහිත්‍ය උළෙලේ අවසන් දවස් දෙකෙන් එකක් වෙන්න ඕන ඒ දවස. වෙනදට කැම්පස් එකේ කොහේදි දැක්කත් මාව මගෑරලා යන්න හදන ගැහැනු ලමයා ඔය පාර දිගේ ඇවිදන් ආපු මගේ පස්සෙන්ම ඇවිත් කතා කලා.
"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා."
"කියන්න. මොකක්ද?"
"අපේ ගෙදරට ආපු යෝජනාවකට මම කැමති උනා." 
"හ්ම්.. මට ආරංචි උනා" වටින් පිටින් ලැබුනු ආරංචිය ටක්කෙටම හරි වග එයාගෙ වචනෙන්ම තහවුරු උනා. මේ බව කොහොම හරි මට කියන්න එයා බලාගෙන හිටිය කියල මට තේරුණා. කොටින්ම එයා මට කිවේ "තවත් මගේ ගැන බලාපොරොත්තු තියා ගන්න එපා." කියන එකයි කියල මට හිතුන.
එතනින් එහා දොඩමලු වෙන්න මට උවමනාවක් තිබුනෙ නෑ. එයා කිව දෙයින් මගේ හිත සැලුනේ නෑ කියල මම පෙන්නන්න මම උත්සහ කළා.එත් ඒ මිනිත්තු කීපය ඉව‍ර වෙලා මම WUS එක පැත්තට මම ඇවිදගෙන ආවෙ ඔලුවෙ මහා ලොකු බරක් උස්සගෙන.
ඇත්තටම එයා ඔය කියන මනුස්සයට කැමතිද? එයාගේ හැටියට නම් ඒක වෙන්නම බෑ. අම්මලා කීවද දන්නෙ නෑ එයාට කැමති වෙන්න කියලා මේකට. අම්මලා කීවොත් නම් කැමති නොවී ඉන්නෙ නෑ එයා. ඒ මනුස්සයා හොද රස්සාවක් කරන කෙනෙක්ලු. සමහර විට එයාට ඉගෙන ගන්න සල්ලි වියදම් කරන්න අම්මලාට අමාරු නිසා මේකට කැමති වෙන්න කියන්න ඇති. එතකොට එයා ඉක්මනින්ම බදීද? මගේ හිත නිවනක් නැතිව කතන්දර ගොතන්න ගත්තත් මීට වඩා සාධාරන කතාවක් ගොතන්නට මගේ හිතට බැරි උනා. මොනවා උනත් එයා ස්ව කැමැත්තෙන්ම මේ තීරණේ ගත්ත කියල හිතන්න මගේ හිත එකග උනේම නෑ.එයා කැමැත්තෙන්ම තීරණය කලත් මොකද? එයාට එහම තීරණයක් ගන්න අයිතිය තියෙනවා නේ. මම ඒක පාර්ශවික ආදරයක් ගොඩ නගා ගත්තා මිසක් එයා මට ආදරේ කලේ නෑ නේ කවදාවත්. දින ගානක් මගේ හිත මාව හොදටම තැලුවා. සාහිත්‍ය උලෙලේ සංවිධාන කටයුතු වල කාර්‍යබහුල වෙන්න උනු එක පොඩි සහනයක් උනා හිතට නම්. සෑහෙන දවසක් සුසුම් හෙල හෙල හිටියත් හිත එක තැනකට ගන්න නම් බැරි උනා. "කමක් නෑ. එයාට කැමති දෙයක් කරන්න තියෙන අයිතිය වගෙම මට මම කැමති කෙනෙක්‍ට ආදරය කරන්න අයිතිය  තියෙනවා. මොකෝ මෙච්චර කාලයක් මම එකපාර්ශවිකව ආදරයක් කලා නම් දැන් ඒක නවත්වන්නෙ මොකටද?"කියල හිතන්න තරම් මම ඒ ඒක පාර්ෂවික ආදරේට ඇබ්බැහි වෙලා හිටියා. ඒත් එක්කො වෙන ගෑනු ලමයෙක් ලං කරගෙන මෙයාට සමුදෙන්න ඕනෙ කියන සිතුවිල්ලත් සමහර වෙලාවට හිතේ ඇති උනා. 

"ඉතින් ඇයි වෙන කෙල්ලෙක්ව යාලු කර ගත්තෙ නැත්තෙ?"
"ම්... ඔයා ගැන ආදරයක් හිතේ තියාගෙන වෙන ගෑනු ලමයෙක්ව යාලු කර ගන්න එක එයාට කරන අසාධාරණයක් නෙමෙයිද?"
"හ්ම්"
ඒ විතරක් නෙමෙයි ඊට අමතරව මොකද්දෝ නොදන්න හේතුවක් නිසා පුංචිම පුංචි බලාපොරොත්තුවක් ඉතිරි කර ගන්න කියල මගේ හිත මට බල කළා. ඒ තරම් බිදුණු හිතක් එක්ක මම මාස කීපයක් ගෙවිල ගිය හැටි හිතා ගන්නවත් බෑ.  
"ඇත්තටම ඇයි ඔයා ඒ මනුස්සයට කැමති කිවේ? "
"අනේ මන්ද. මොකද්ද හේතුවකට මම කැමති කිව." එයාගේ පිළිතුර නිශ්චිත නෑ. 
" මට නම් හිතුනේ ඔයාට මාව ඈත් කරන්න ලොකු උවමනාවක් තිබුන කියල. ඔයා ඒ මනුස්සයට කැමති කිවම මම ඔයා ගැන අදහස අතහරි කියල හිතල වෙන්න ඕන එහෙම කලේ."
"එත් ඔයා ඈත් උනේ නෑ නේ." ආයෙත් නිශ්චිත නැති උත්තරයක්. එත් එකේ අදහස ඔව් කියන එක කියල මම හිතා ගත්ත.
මගෙන් ඈත් වෙන්න උත්සහ කල හේතුව නිශ්චිතව එයා නොකීවත් වැඩිය ඒ ගැන හාරා අව්ස්සන්නට උවමනාවක් මට නම් නෑ. එහෙම කෙනෙක් අද ලගින් ඉන්න එකම මදිද සැනසෙන්න.

1 comment:

  1. අවසනේ හරි එකට ඉන්නවා මදැයි, ගොඩක් අයට ඔහොමවත් ලැබෙන්නේ නැහැනේ

    ReplyDelete