Monday, October 30, 2017

මොන ජීවිතද මේ.....

බ්ලොග් සටහනක් තියන්න තියා, බ්ලොග් එකක් කියවන්නවත් වෙලාවක් හොයා ගන්න අමාරු තරමට ජිවිතේ කාර්ය බහුල වෙලා. කාලෙකට කලින්, මැද පෙරදිග ඉදන් ලංකාවට ආපහු ගොඩ බහිනකොට නම් හිතන් හිටියේ, පුළුවන් තරම් සරල ජිවිතයක් පවුලත් එක්ක ගෙවනවා කියලයි. ඒත්, තත්වේ දවසින් දවසම සංකීර්ණ උනා.
මුලින්ම සීමාවාසික පුහුණුව අවසන් උනා. ඒත් එක්කම පුද්ගලික සායනයක් පුංචිවට පයන් ගත්තා. ටික දවසකින් රාජ්‍ය මණ්ඩලයක රැකියාව කරන්න අවස්තාව ලැබුනා. ඔය අතර තුරේ පුංචි දුවක් ලැබුනා. පෞද්ගලික සේවය නිසාම ප්‍රදේශයේ ටිකක් ප්‍රසිද්ධියක් ලැබුණා. ඔය අතරේ රජයේ සේවයට බැදිලා දුෂ්කර කාර්යාලයක රැකියාව කරන්න ලැබුණා.වැඩි කල් නොගිහින් නාගරික කාර්යාලයකට මාරු වෙන්න උනා. ඉතින් දවසින් දවස කාර්ය බහුල උනා.
කලින් තිබුණු විනෝදාංශ ටික මග ඇරිලා ගියා. කැමරාවට දැන් නිවාඩු ලැබිලා. බ්ලොග් එකේ මකුළු දැල් බැදිලා. මෑතකදී චිත්‍රපටයක් බැලුවේ නෑ. යන්තම් වගා කටයුතු ටිකක් නම් කරගෙන යනවා. ඒ හැරුනම ඉතින්, උදේ වැඩට යනවා. හවස එනවා. ආයෙත් සායනයට යනවා. කඩේ යනවා. කනවා, නිදියනවා. ඔන්න ජිවිතේ. වෙලාවකට හිතෙනවා. මොන ජීවිතද අප්පා මේවා කියල.
එකම දේකට තියෙන්නේ මගේ රස්සාව ඉතාම කැමැත්තෙන් කරන්න ලැබෙන එකයි. දවල් වරුවේ ඔෆිසියේ වාඩිවෙලා ඉන්න තියෙන එක කෙසේ උනත්, හවස ඉතාම කාර්ය බහුල සායනයේදී නම් ඉතිං ලොකු තෘප්තියක් එකතු වෙනවා.
කොහොම නමුත් ජිවිතේ දැන් තරමක ස්ථායි තත්වයකට ඇවිත්. දැන් හැම වෙලාවේම උත්සහ කරන්නේ මේ ස්ථායි බව රදවාගෙනම පුංචි නිදහසක් හොයා ගන්නයි.