Sunday, August 10, 2014

ප්‍රේමයේ අස්වැන්න |මතක සුවද දිගේ 3

සැලසුම් කරපු විදිහටම මං පහුගිය සතියෙ ලංකාවට පය තිබ්බා. නිවාඩුවකට කියලා ආවට මොකෝ හරිම කාර්යබහුල සතියක් තමයි ගෙවිල ගියේ. බ්ලොග් සටහනක් ලියන්න තියා කමෙන්ට් වලට පිලිතුරු සටහන් කරන්නවත් වෙලාවක් ලැබුනේ නෑ. පටන් ගත්ත මතක ආවර්ජනාවේ ඉතුරු කොටස හෙට වෙද්දි පල කරන්න ඕන. නමුත්, ඒක සම්පුර්න කරන්න ඉඩක් නොලැබෙයි වගේ. ඒක හෙට උදේ වෙද්දි පල කරන එක අනිවාර්යයෙන්ම කල යුතු නිසා කෙටියෙන් හරි සටහන් කරන්නයි මේ උත්සහ කරන්නේ.

සරසවියෙන් නික්මිලා එයා ඇගලුම් කම්හලක සේවයට බැදුනා. මාස කීපයක් තිස්සේ එයා ගෙවපු ඒ  කටුක ජීවිතේ එයාට වගේම ඒ වෙද්දි එයාගෙ පෙම්වතා වෙලා හිටපු මටත් හරිම අමාරු කාලයක්. පාන්දරින් අවදි වෙලා උයා පිහාගෙන ඇගලුම් කම්හලේ බස් එකට ගොඩවෙන ආපහු බෝඩිමට එන්නෙ රෑ 9පහු වෙලා. සමහර දවස් වලට ඊලඟ දවසේ උදේ වෙනකල්ම වැඩකරන්න වෙනවා. හෙම්බත් වෙලා ආපහු එන එයාගෙන් දුරකතන ඇමතුමක්වත් ලැබෙන්නෙ නැති දවස් බොහෝමයක් තිබුනා.

කොහොමින් කොහොම හරි, ඒ කටුක ජීවිතේ අතෑරලා එයා ආපහු ගෙදර ගියේ ගමේ පාසලේ ස්වේච්ඡාවෙන් උගන්වන බලාපොරොත්තුවක් එක්ක. නමුත් එයාට ටික කාලයක් ගෙදරට වෙලා ඉන්න උනා. ඒ මාස කීපයේදී එයාගේ රාජකාරිය උනේ ගඩොල් කපන එක. කාලයක් තිස්සේ එයාගේ හීනයක් වෙලා තිබුනේ කොහොම හරි ගෙයක් හදන එකයි. හැමදාම පුංචි පැල්පතක කල්ගෙවපු එයාගේ දෙමව්පියන් කොහොම හරි ස්ථීර වහලක් යටට අරන් යන්න ඕන කියන දේ එයාගෙ එකම බලාපොරොත්තුව උන බව මං දැනන් උන්නා. ඒ වෙනුවෙන් තමයි එයා ගෙදර අය එක්ක එකතු වෙලා මේ ගඩොල් කපන වැඩේ පටන් ගත්තේ. ඒ වෙද්දි මාත් විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා රැකියාවක් කරන්න පටන්ගෙනයි තිබුනේ.

උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන මගින් සංවර්ධන සහකාර තනතුරට එයාව බදවා ගත්තේ මාස කිහිපයකට පස්සෙයි. සංවර්ධන සහකාර තනතුර උනත් එයා කලේ ඉගැන්වීම. දැඩි ගුරු හිගයක් තිබ්බ එයාගෙම ගමේ පාසලේ උගන්වන්න එයා තෝර ගත්තා. වැඩිකල් නොගිහින්ම උතුරුමැද පලාතේ ගුරුවරු බදවා ගැනීමට ඉල්ලුම්පත් කැදවුනා. මාස කිහිපයකට පස්සෙ ගුරුවරියක් විදිහට ස්ථීර පත්වීමක් එයාට ලැබුනා.

මේ පත්වීම සතුට වගේම පුංචි අවුලකුත් අරන් ආවා. අවුරුදු 5ක් අති දුෂ්කර ඒ පාසලේම එයා ඉන්න ඕන. ඒ විතරක්ද? අවුරුදු දහයක් ඒ කොට්ඨාෂයේම සේවය කරන්න ඕන. තරුන කාලයේන් වැඩිකොටසක් සරසවියේ ගෙවපු අපට මේ කාලය හරිම ලොකු කාලයක්. මගේ වෘත්තීයට අනුව ලැබෙන රැකියාවක් කිසිම විදිහකට මේ වගේ ඈත ගමක නොලැබෙන බව දැනන් හිටපු මගේ හිතට මේක ලොකු අවුලක් උනා. ගමනා ගමන පහසුකම් ඇත්තෙම නැති මේ ඉසව්වේ එයා රැකියාව කරනවා කියන්නේ අපි දෙන්නට ඈතට වෙලා ජීවත්වෙන්න වෙනවා කියන එක මට දුර තියාම පෙනුනා. මනෝෂ්ගේ බ්ලොග් ඒකේ ලියවුනු මේ ලිපිය මාත්, එයත් වෙනුවෙන්ම ලියවුනු එකක් වගේ මට දැනුනේ ඒකයි.

මේ රැකියාව අතරතුරේම එයා එයාගේ බලාපොරොත්තුව ඉටුකර ගන්න අවශය කරන වටපිටාව සකස් කරමින් හිටියා. කාලය හෙමින් ගලාගෙන යද්දි ආයෙමත් දුක් බර මොහොතක් එලඹුනා. හදිසියේම මට මැදපෙරදිග කතරක රැකියාවක් ලැබුනා. එයාගෙන් ඈතට යන්න හිතක් නොතිබුනත්, අවසානයේ මං කටුනායකින් ගුවන්ගත වුනේ එයාගේ කදුලු කැට වලින් බර වෙච්ච හිතක් එක්ක. අවුරුදු එක හමාරක් හීනයක් වගේ ගෙවිලා ගියා. අපේ ජීවිත එක සැරේම නතර උනා වගෙයි මට දැනුනේ. හරිහට රිකතකයක් වගෙයි මට නම් ඒ කාලේ.

නමුත් එයාට ඒක එහෙම උනේ නෑ. එයාගේ ආදරේ වැඩි වැඩියෙන් මට දනුනු මේ කාලේදි, දැඩි උනන්දුවකින් එයා එයාගේ බලාපොරොත්තුවේ සැලසුම් ඇන්දා. පියවරෙන් පියවර ඉදිරියට ගිය එයා එයාලගේ දුප්පත් මැටි ගෙය වෙනුවට ස්තීර ගෙයක් ගොඩනැගුවා. කොයි වෙලාවේ හරි වැස්සකට බිමට පාත් වේවි කියලා බයෙන් හිටපු ඒ සෙවන වෙනුවට එයාගේ පවුල වෙනුවෙන්  ශක්තිමත් හෙවනක් හෙමින් ගොඩ නැගුවා. වෙලාවකට මටම පුදුම හිතුනා එයාගේ ධෛර්යය ගැන. ඒ වගේම හිතේ සතුට පිරුනේ එයාගේ මේ උත්සහයෙදි ලඟින් ඉදන් උදව් වෙන්න ලැබුන එක ගැනයි. ඒත් එයාට නම් ඒ නිවසේ ජීවත් වෙන්න අවසරයක් නොලැබෙන පාටයි.

පහුගිය සතියේ ලංකාවට පය තියපු මට සතුටින් උතුරා යන එයාගේ මූණ දැක ගන්න ලැබුනා. අවුරුදු දහයකට කලින් රතු ගවුමක් ඇදන් ඉද්දි මං දැකපු ඒ පුංචි දගකාර කෙල්ල දැං සෑහෙන පරිනත පෙනුමයි. ඒ විතරක්ද එදා ඒ නාදුනනා දැරිවි දැන් මගේ පෙම්වතී. නෑ.. නෑ. කාලයක් මගේ හිතවත්ම මිතුරිය, මට විරහ වේදනාව ගෙනා මගේ ඒක පාර්ශවීය ප්‍රේමයේ හිමිකාරිය, ආයෙමත් ටික කලෙකින් ප්‍රේමය අරන් මගේ ලගට ආ ඒ කෙල්ල. තවදුරටත් මගේ පෙම්වතිය නෙමෙයි. මුල් හමුවීමෙන් අවුරුදු දහයක්ටත් පස්සේ එලඹෙන හෙට දවසේ, තාමත් කපරාදු නොකල, ජනෙල් දොරවල් නොමැති එයාගේ ඒ දුප්පත් ගෙදරදී  එයා මගේ බිරිද බවට පත්වෙන්න නියමිතයි. ඔවු. පිටරටකට යන්න කලින් පොරොන්දු උන විදිහටම ආපහු ආ සැනින් එයා මගේ බිරිද කර ගන්නයි මේ සූදානම් වෙන්නේ. පවුලේ උදවිය විතරක් එකතු වෙන සරල විවහ උත්සවයකින් අපි දෙදෙනා හෙට උදේ විවහ වෙන්නයි නියමිත.
මේ දිග කතාව මට අරන් එන්න උවමනා වෙලා තිබුනේ මෙතනටයි. හැබැයි මෙතනින් ඉවර නොවී තව බොහෝ දුර මේ කතාව ඇදගෙන යන්නයි බලාපොරොත්තුව.




ප්‍රේමයේ අස්වැන්න 
නෙලා ගෙපැලට ගන්න අවසරයි
සෙනෙහසින් කිරි වැදී 
රන්වනින් කරල් බර වූ දිනේ
ප්‍රේමයේ අස්වැන්න 
නෙලා ගෙපැලට ගන්න අවසරයි

දෙකන්නේ මුදු වදන් වපුරුවා
නියං ගිනි අවිලුනත් හිත නිවා
සොරොව්වෙන් ගලා එන 
දියවරක් සේ ඇදෙයි
නුබේ සිත මට යමක් කියනවා.......

රෑ පැලේ පැදුර තනිපංගලේ 
සඳ මඩල පෙම් පුරන සක්වලේ
අඩහැරෙන් හී පොලේ 
අවදිවී යෞවනේ 
නුබේ හිත මට නැකත් ගෙනෙනවා.....

ප. ලි. -  පහුගිය පොස්ටුවේ කමෙන්ට් වලට පිළිතුරු ලියන්න වෙලාවක් හොයා ගන්න බැරි උනා. ඒ ගැන සමා වෙන්න. මේ ලිපියත් කලබලේට කොටගෙන කොටගෙන ගිය නිසා මෙලෝ රහක් නැතිව ඇති කියල හිතෙනවා. එත් ඔන්න ඔහේ publish බට්න් එක ඔබල දාන්නම්.