Wednesday, March 26, 2014

මාර්තුවේ තරු ගමන - star trails


පොලරිස් හෙවත් උතුරු තරුව වටේ 

මාර්තු මාසේ ඉවර වෙන්නත් ඇවිත්. මං එකම එක පෝස්ට් එකයි පල කරල තියෙන්නෙ මේ මාසෙට. අපොයි වෙච්ච දෙයක්. එක අතකට එහෙම නොවුන නම් තමයි පුදුමේ. මේ මාසේ මුල ඉදලම අන්තර්ජාල සම්බන්දතාව ලෙඩ දුන්නා. ගෙවිච්ච දවස් 25න් 7ක් විතර තමයි ජාල සබදතාව  තිබුනෙ අපට. ඉදල හිටල ජංගමෙන් ඇවිත් බ්ලොග් කියවලා ගියාට මොකද පෝස්ට් එකක් දාන්න විදිහක් තිබුනෙ නෑ. මේ පෝස්ට් එකත් කොටන්නෙ ජංගමේ ජාල සම්බන්තාවෙන් උඩුගත කරන්න හිතාගෙන. වැඩිය නෑ. මේ සැරේ පින්තූර 2ක් විතරයි. මේ තාරකාවල ගමන් මඟ හෙවත් star trails. කලිනුත් පරණ star trail කිහිපයක් පල කළා මං. 

පිංතුර 2ක් උනාට මේ දවස් කිහිපයක මහන්සිය. හඳ නැති, වලාකුළු වලින් බාධාවක් නැති රැයක් හොයා ගන්න එක, වැඩේට හරියන කලුවර, ආලෝක දූෂණය අවම තැනක් හොයා ගන්න එක, දවල් කාලෙක තැනට ගිහින් composition එක ගැන අදහසක් ගන්න එක ආදී  එකී නොකී මෙකී වැඩ ගානක් කරන්න ඕන මේ පින්තූරයක් ගන්න කලින්. ඊට පස්සෙ අදාල රෑ කැමරාව ත්‍රිපාදෙ ගහලා, දුරස්ත පාලකයක් හරහා එක දිගට පැයක් විතර පින්තුර ගන්න එකත් එපා වෙන වැඩක්. තට්ට තනියම පාලු තැනකට වෙලා කට්ට කලුවරේ පැය ගානක් ඉන්න ගියාම එපා වෙනවනෙ. ඒ හින්දම මං මේ පිංතූර ගැනිල්ලට යොදන උපරිම කාලය පැයයි. වැඩි කාලයක් ගත්ත නම් වඩා ලස්සන පිංතූරයක් ලබා ගන්න පුලුවන් අන්තිමේදී.

ඇත්තටම මොනවද මේ පින්තුර? සරලවම කියනවා නම් මේකයි. පෘතුවිය තමන් වටේට කරකැවෙනවලු නේ. ඒ නිසා ඉර නැගෙනහිරින් නැගලා බටහිරින් බැහැල යනවා වගේ අපට පේනවා. අපට ලගින්ම තියෙන තරුව වෙච්ච ඉර වගේම ඈතින් තියෙන අනිත් තරුත් ඒ විදිහටම නැගෙනහිරින් පායලා බටහිරින් බැහැල යනවා. ඒ කියන්නේ ඉර වගේම තරුත් ඉතාම හිමින් අහසේ ගමන් කරනවා. පියවි ඇහැට නොපෙනෙන මේ තරු වල ගමන තමයි මේ පින්තුරේ සටහන් වෙලා තියෙන්නේ. කැමරාවේ ෂටරය දීර්ඝ කාලයක් ඇරලා තියලා මේ තරු වල ගමන සටහන් කර ගන්න එක තමයි මේ වගේ පින්තුරයක් ගැනීමේදී කරන්නේ. කැමරාව ත්‍රිපාදයක නොසෙල්වී තියල තත්පර 30ක් ෂටරය ඇරලා තිබ්බම, තිතකට වඩා ටිකක් දිගටි රේඛා ස්වරුපයෙන් තමයි තරුවක් සටහන් වෙන්නේ. ඒ වගේ එකදිගට පින්තුර ගණනාවක් අරන් ඒවා ඇඩෝබිගේ පින්තුර කඩේ (Adobe Photoshop) පිහිටෙන් එක මත එක ගොඩ ගහල  (Stack) තමයි මම මේ තරු වල ගමන් මාර්ග සටහන් කර ගත්තේ.  
උඩ තියෙන පින්තුරය උතුරු දිශාවට එල්ල කරලා ගත්තු එකක්. සමකයට ඉහලින් තියෙන රටක ඉන්න නිසයි මේ උතුරු තරුව වටේ ගමන් කරන දර්ශනේ සටහන් කර ගන්න ලැබුනේ මට. පහල පින්තුරය දකුණු අහස දිහාට කැමරාව එල්ල කරපු එකේ ප්‍රතිපලයක්. මේ වගේ පින්තුර කිහිපයකට තැන් අවට කාන්තාරයේ හොයාගෙන තිබුනත් වලාකුළු පිරිච්ච අහසයි, අපිව රවට්ටන්න වගේ හිටපු ගමන් වැටෙන වැහි බින්දු දෙක තුනයි හරියට බාධා කරනවා. නැත්නම් මේ පොස්ට් එකට තව පින්තුර 3ක් වත් අඩුම තරමින් එකතු කරන්න තිබුනා. 



ප. ස. 
කලින් පොස්ටුවේ සවුදි කටාර් ගැටලුව ගැන ලියන්න කියල ඉවාන් සහ චන්දන කරපු ඉල්ලීම නිසා මං ඒ ගැන මෙතන ලිව්වා. මේ බ්ලොගේ  පින්තුර වලටම ප්‍රමුඛතාව දෙන නිසයි මේකේ ඒ ගැන ලොකු විස්තරයක් නොලිව්වේ. 


Monday, March 17, 2014

සවුදියේ විසිල් විතරද? (කටාර්- සවුදි අවුල)




සීත කාලයේ අවසානයත් එක්කම මැදපෙරදිග කලාපය දේශපාලන වශයෙන් උණුසුම් උන බව මගේ පින්තුර බ්ලොගයේ සදහන් කලානේ. අපේ ඉවාන් සහ ප්‍රියා මේ ගැන වැඩි විස්තර ලියන්න කියල ඉල්ලපු නිසයි ඔන්න මේ සටහන ලියන්නේ. දේශපාලනය ගැන ලියන්න තරම් ලොකු දැනුමක් නම් මට නෑ. ඒ වගේම මේ මැද පෙරදිග ගැන මට ලොකු දැනුමකුත් නෑ. පහුගිය ටිකේ කියවපු අහපු දේවල් තමයි  මං මේ ලියන්න හදන්නේ.
GCC හෙවත් Cooperation Council for the Arab States of the Gulf කියන සංවිධානය යටතේ එකමුතු වෙලා ඉන්න මේ මැද පෙරදිග අරාබි රටවල් අතරේ තමයි මේ උණුසුම් තත්වයක් නොහිතපු විදිහට පහුගිය සතියේ ගොඩ නැගුනේ. සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කියන රටවල් තුන එකතු වෙලා කටාර් රාජ්‍යට විරුද්ධව ක්‍රියාමාර්ගයක් විදිහට ඔවුන්ගේ තානාපති වරුන් ආපසු කැදෙව්වා. ඒ විතරක් නෙමෙයි තමන් කියන විදිහට ක්‍රියා නොකලොත් කටාර් රාජ්‍යයට දඩුවම් කරන බවත්, ගොඩබිම සදහ මුහුදු දේශ සිමා වසා දමන බවත්, ගුවන් සිමාව වසා දමන බවත් සවුදිය කටාර් රාජ්‍යයට තර්ජනය කල බවටත් පැවසුනා. මේ අර්බුදයට හේතුව උනේ කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තියයි. කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය නිසා GCC රටවල් වල ආරක්ෂාව අනතුරේ හෙලන බව සවුදි රජය චෝදනා කරනවා.

ඉතාම කුඩා ප්‍රමාණයේ රටක් වෙච්ච කටාර් රාජ්‍යය ලෝකේ වැඩිම ඒක පුද්ගල අදායමක් ඇති රටයි. කටාර් පුරවැසියන්ගෙන් 14%ක් ඩොලර් මිලියනපතියෝ කියලයි කියන්නේ. කලාපයේ අනිත් රටවල් වගේම මේ සුවිශාල ධනස්කන්දය මේ රටට ගලන්නේ ඉන්ධන වලින්. ලෝකේ විශාලම ස්වභාවික පෙට්‍රෝලියම් වායු නිධිය හිමි වෙලා තියෙන්නේ මේ රටට. තවමත් සාර්ථක විදිහට රාජාණ්ඩුවක් ගෙනියන මේ රට පාලනය කරන්නේ අල් තානි කියන රජ පවුලක් විසින්. 1995 දී තමන්ගේ පියාට එරෙහිව කුමන්ත්‍රණයක් කරලා රාජ්‍ය බලය පැහැර ගත්ත ශේක් හමද් බින් කලීෆා අල්තානි කටාර් රාජ්‍යයට සැහෙන්න වැදගත් පාලකයෙක් මම දන්නා විදිහට. මැද පෙරදිග කලාපයේ ආර්ථික වශයෙන් වගේම දේශපාලන වශයෙන් ශක්තිමත් රටක් විදිහට ඉහලට ගෙන්න හමද් අල්-තානි එමීර් වරයා සමත් උනා. සවුදියේ උදහසට හේතු වුනු කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය ගොඩ නැගුනේ මේ එමීර් වරයාගේ කාලයේදී.

කටාරය ශක්තිමත් විදේශ සබදතා සහිත රටක් .විශේෂයෙන්ම  ලෝක බලවතා වෙච්ච අමෙරිකාවත් එක්ක සමීප සබදතාවක් සැහෙන කාලයක ඉදන්ම පවත්වාගෙන යනවා. මැද පෙරදිග ඇමරිකන් මෙහෙයුම් දියත්කරන ප්‍රධාන ගුවන් හමුදා කදවුරක් පවත්වන් යන්න කටාරය ඉඩ සලසලා තියෙන්නේ මේ සබදතාව ශක්තිමත්ව පවත්වන් යන්න. ඉරාක යුද්දයේදී ඇමෙරිකන් ගුවන් බලය මෙහෙයවුනේ මේ ගුවන් හමුදා කදවුරෙන්ලු. ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සමගත් ශක්තිමත් සබදතා පවත්වන් යනවා  කියලයි කියන්නේ. එතකොට මේ විදේශ සබදතාද සවුදියේ උදහසට හේතුව? නෑ.

අරාබි ලෝකයේ දේශපාලනයේදී කටාරය පහුගිය වසර කිහිපය තුල බලවත්ව මැදිහත් උන රටක්. පසුගිය කාලයේ එකවරම පැන නැගිච්ච අරාබි වසන්තය ලෙස හැදින්වුණු දේශපාලන පෙරලියේදී කටාරය සෑහෙන වැඩ කොටසක් ඉටු කළා. ඒ දෝහා නගරය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන සුප්‍රකට අල් ජසීරා මාධ්‍ය ජාලය හරහා. මේ මාධ්‍ය ජාලය හරහා අරාබි වසන්තයේ සටන් පෙරමුණු වලට මතවාදයන් අරන් යන්න, මිනිසුන් විදී වලට ගෙන එන්න හැකි උනා. ඊජිප්තුව, සිරියාව සහ ලිබියාව තුල තමයි කටාරයේ මැදිහත් වීම වැඩි වශයෙන්ම දැනුනේ. ඒ විතරක් නෙමෙයි ලිබියාවේ ගඩාෆි පාලනය එලවා දමන්න සටන් කල කැරලිකරුවන්ට ආයුධ සපයන්න වගේම හමුදා බලය කෙලින්ම යොදවන්නත් කටාරය පසුබට උනේ නෑ. ගඩාෆිට විරුද්ධව සටන් කල කැරලිකාර පෙරමුණ ලිබියාවේ නිත්‍යානුකුල පාලනය විදිහට පිළිගන්න බව කටාරය සටන් අතරේ නිවේදනය කළා. ගඩාෆි පාලනය එලවා දාපු වහාම ලිබියාවේ විදී වල කටාර් කොඩිය එසවුණු බව රහසක් නෙමෙයි.

ඒ වගේම සිරියාවේ කැරලිකාර පාර්ශවයන්ට කටාරයේ සහයෝගය ලැබුනා. සිරියාවේ කැරලි කරුවන්ගේ ආයුධ බහුතරයක් කටාර් රජයෙන් ලැබුණු ආයුධ බව ප්‍රසිද්ධ රහසක්. කටාර් සන්නද්ධ හමුදාවට අයත් ආයුද පෙට්ටි ගණනින් සිරියවේදී හමු උන බව පින්තුර සහ වීඩියෝ සමගින් පල උනා. නමුත් ලිබියාවේදී සහ ඊජිප්තුවේදී ලැබූ විදිහේ ජයග්‍රහණයක් ලබන්නට නම් කටාරයට සිරියවේදී ඉඩක් ලැබුනේ නෑ.

ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) සංවිදානය කටාරයේ සහයෝගය වැඩියෙන්ම ලැබුණු සංවිධානයක්. ඊජිප්තුව උඩු යටිකුරු කරමින්, තිබුණු ඒකාධිපති පාලනය පෙරලන්න සමත් වෙච්ච මේ සංවිධානයට පිරිස් බලය එකතු කලේ අල් ජසීරාව හරහායි. මුස්ලිම් සහෝදරත්වයේ අද්‍යාත්මක නායකයෙක් කියන ඊජිප්තු සම්භවයක් සහිත පුජකයෙක් අල් ජසීරාව හරහා ඊජිප්තුවේ සටනට ජිවය දුන්න. ඒකෙ ප්‍රතිපලයක් විදිහට මුස්ලිම් සහෝදරත්වයේ නායකයෙක් වුනු මොහොමඩ් මුර්සි ඊජිප්තුවේ ජනාධිපති බවට පත් උනා. එත් එක්කම විශාල මුල්‍ය සහයෝගයක් කටාර් රාජ්‍යය ඊජිප්තුව වෙතට ලබා දුන්න. නමුත් හදිසියේම මොර්සි රජය එළවලා හමුදා රජයක් රට තමන් අතට ගත්තා. නමුත් මුස්ලිම් සහෝදරත්වය මේ හමුදා රජයට විරුද්ධව තමන්ගේ සටන අලුත් අදියරකින් පටන් ගත්තේ මිනිස්සු සැහෙන ප්‍රමාණයක් මරණයට කැප කරමින්.

මුස්ලිම් සහෝදරත්වය ප්‍රමුඛ මේ කැරලි කණ්ඩායම් හරහා මැද පෙරදිග ශක්තිමත් දේශපාලන බලයක් ගොඩ නගා ගත්ත කටාර් රාජ්‍යට හැකි උනා. එත් හදිස්සියේම මෙතෙක් කල් නිදාගෙන හිටපු සවුදි යෝදයා අවදි උනේ කටාර් රාජ්‍යය ගොඩ නගා ගත්ත බලය දිය කර හරිමින්. මුලින්ම ඊජිප්තුවේ හමුදා පාලනය තමන් පිළිගන්න බව ප්‍රකාශ කරපු සවුදි රජය ඊජිප්තුවට මුල්‍යාධාර ප්‍රධානය කළා.

මේ අතර තුර කටාර් රාජ්‍යයේ රාජ්‍ය බලයත් හමඩ් එමීර් වරයාගෙන් පුතාට පැවරුණා. ඊජිප්තුවේදී තමන්ගේ බලය දියවෙලා යද්දී නව එමීර් වරයා වඩාත් නිහඩ ප්‍රතිපත්තියක ඉන්න බවක් තමයි පෙනුනේ. ඒ විතරක්ද, සිරියාවේ කැරලි කාර කණ්ඩායම් වල බලයත් කටාරයෙන් ඈත් වෙලා ජිහාඩ් සංවිධානයට නතු වෙච්ච් බව තමයි කියන්නේ. ඒ වුනත් අල් ජසීරාව හරහා දිගින් දිගටම ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය සහය දෙන එකේ නම් අඩුවක් උනේ නෑ.

තත්වය ඔය විදිහට තිබෙද්දී තමයි හදිසියේම මේ සවුදිය ප්‍රමුඛ රටවල් වල ක්‍රියා මාර්ගය එලියට එන්නේ. සවුදියේ කේන්තිය කෙලින්ම යොමු වෙන්නේ අල් ජසීරාව හරහා ඊජිප්තුවට කෙරෙන බලපෑමටයි. වහාම අල් ජසීරාව වසා දමන්නට කියල බලපෑම කරන්නේ මේ නිසයි. සවුදිය තුල මුස්ලිම් සහෝදරත්වය ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට නම් කරන්නත් ඔය අතරේම ක්‍රියාත්මක උනා.

සවුදියේ දේශ සිමා වසා දමන එක කටාර් රාජ්‍යයට එල්ල වෙන මරු පහරක්.  සම්පුර්ණයෙන්ම අපනයනයෙන් යැපෙන මේ රටට එළවලු පවා එන්නේ සවුදි සිමාව හරහායි. ඒ විතරක් නෙමෙයි අනෙත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බහුතරයක් පැමිණෙන්නේ සවුදි දේශ සිමාව හරහායි. ඒ විතරක් නෙමෙයි, සවුදි ගුවන් සීමාව තහනම් උනොත් කටාර් ගුවන් සේවයත් අලි අමාරුවකට පත් වෙන එක වලක්වන්න බෑ. මේ තත්ත්ව එක්ක 2022 ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් සුදානම් වෙන එක කටාරයට හීනයක් වෙනවා නොඅනුමානයි. නමුත් මේ තත්ත්ව යටතේ උනත් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය කාගෙවත් උවමනාවකට වෙනස් කරන්නේ නැති බව කටාර් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළා.

ඇත්තටම සවුදිය මේ තර්ජනයන් කරන්නේ ඇයි. ගල්ෆ් සංගමේ ආරක්ෂාව වෙනුවෙන්ද? පහුගිය අවුරුදු කිහිපයේ නිදාගෙන ඉදල එක පාරම ඇහැරුනේ ඇයි. මට නම් හිතෙන්නේ කටාරය කලාපයේ බලවත් වෙන එක වලක්වන්න සවුදිය මේ විදිහේ ක්‍රියාමාර්ග ගන්නවා කියලයි. හරියට අපේ කලාපයේ ලොකු අයියා වෙන්න දගලන ඉන්දියාව වගේ.

ඒ අතරේම කටාරය ඉරානය එක්ක තියෙන සමීප සබදතාව මේ ගැටුමට හේතුවක් කියලත් කියනවා. ඉරානය මේ කලාපයේ සවුදියත් එක්ක කරට කර ඉන්න බලවතෙක් නේ. ඉරානයට හිතවත් කටාරය වටේ බලය ඒක රාශි වෙනවා කියන්නේ ඉරානයට බලය එකතු වෙනවා වගෙයි. ඒ නිසා කටාරයට විරුද්දව බලය පාවිච්චි කරන්න සවුදිය පෙලබුන බව සමහර විශ්ලේෂකයෝ කියනව. හරියට ඉන්දියාවයි, චීනයයි අතර ආසියාවේ තරගේ නිසා චීනෙට හිතවත් ලංකාව තලන්න ඉන්දියාව උත්සහ කරනව වගේ.

දැන් ඉතින් සවුදියේ විසිල් විතරයි, බල්ටි නෑ කියල බලන් ඉන්න තමයි තියෙන්නේ අපට. වැරදිලාවත් සවුදිය බල්ටි ගහන්න ගත්තොත් අකුලගෙන ලංකාවට එන්න ලෑස්ති පිට ඉන්න තමයි තියෙන්නේ. කොහොම උනත් මේ මං එහෙන් මෙහෙන් කියවල දැන ගත්ත තොරතුරු මිසක් සර්ව සම්පුරන, නිවැරදි දේශපාලන සටහනක් නෙමෙයි ඔන්න.

Friday, March 14, 2014

කසල ගොඩක් අසලින් අහුලා ගත්


හප්පේ බ්ලොග් පොස්ට් එකක් දාන්න බැරි උන පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල්. මේ හිරගෙයින් මිදිලා ලංකාවට පය ගහල එන්න තිබ්බ බලාපොරොත්තුව අකුලගෙන පහු බහින්න උනා මුලින්ම. ඊට පස්සේ වැඩ ටිකක් ගොඩ ගැහිලා කාර්යබහුල කමක් ආවා. ඊටත් පස්සේ තමයි දවස් ගානක් අන්තර්ජාලේ වැඩ කරන නැතුව ජංජාලයක් උනේ. යන්තම් අද ජාල ගත වෙන්න පුළුවන් විදිහට වැඩේ ගොඩ ගියා.

ඔය අතර තුරේ අපේ පරිසරේ සෑහෙන්න වෙනස් උනා. සති දෙකකට කලින් තිබුණු සිතල දේශගුණය වෙනුවට කාන්තාරෙට පුරුදු උණුසුම් දේශගුණයක් ඇතුළු උනා. කලින් තිබුණු මීදුම වෙනුවට දුවිලි වලාකුළු වලින් වට පිටාව වැහෙන්න ගත්තා. මේ සතිය ඇතුලත උෂ්ණත්වය සෙල්සියස් 39ට ආසන්න වෙනකල් වැඩි උනා. මේ යන්තම් සිතල අඩු වෙච්ච මාර්තු මාසේ. සමර් එකේ උච්චම  කාලේ වෙන ජුලි, අගෝස්තු. නියර මෙහෙම නම් කුඹුර කොහොම තියෙයිද?
මේ පාරිසරික උණුසුම් වීමත් එක්කම මැද පෙරදිග දේශපාලන උනුහුමකුත් ගලන්න ගත්තා. හදිසියේම අසල්වැසි සවුදි අරාබි රාජධානියේ මුලිකත්වයෙන්, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාර් රාජ්‍යයට එදිරිවාදිකම් පාන්න පටන් ගත්තා. කලාපයේ බලවතා වෙන්න දගලන පත සයිස් සවුදිය, ඇබිත්තන් කටාරයට තමන්ගේ දේශ සිමාව වහල දානවා කියල තර්ජනය කරා කියල තමයි කියන්නේ. පිට රටක එවුන් වෙච්ච අපිට ඔව්වයින් පලක් නෑ කියල හිතුනට මොකද බැරි වෙලාවත් සවුදි දේශ සිමා වැහුවොත් ඉතින් අපේ කලදවසත් එච්චර හොද වෙන එකක් නෑ. 

ඔය පාරිසරික, දේශපාලන, සමාජීය ගැටළු වලට විසදුම් කල්පනා කර කර කසල මල්ලක් අතින් අරන් අපේ සුපුරුදු කුණු ගොඩ දිහාට මං ඇවිදන් ගියේ පට්ට දවාලක. දවසින් දවස උස වැඩි වෙන කුණු ගොඩට මගේ දායකත්වය දක්වලා ආපහු හැරෙන කොට තමයි මගේ ඇහැට  සමනල්ලු කීප දෙනෙක් පෙනුනේ. මේ කුණු ගොඩ අස්සේ සමනල්ලු. එකෙක් දෙන්නෙක් නෙමෙයි හය, හත් දෙනෙක්ම. කුණුගොඩ අයිනේ තියෙන පඳුරු වල පුංචි පුංචි මල් පිපිලා නේ. එක මොහොතකින් කැමරාව උස්සන් මම එතෙන්ට දුවගෙන ආව. 
කුණු ගොඩේ ගඳ ඉවසගෙන සමනලුන්ගෙන් පටන් ගත්ත පින්තුර ඇල්ලිල්ල ඉවර උනේ ඉවසා ගන්න බැරි තරම් බඩගින්නක් දැනෙන්න ගත්තට පස්සෙයි. 

මෙන්න ඒ කුණු ගොඩ ලගින් ඇහිද ගත්ත පින්තුර ටික. ඔක්කොම පින්තුර වගේ ගත්තේ මගේ බාගෙට ලෙඩ sigma 70-300 DG Macro කාචෙන්. මම ගොඩක්ම කැමති එක තමයි උඩින්ම එල්ලුවේ.


Painted lady

Blue pancy

සමනල්ලු විතරක් නෙමෙයි, සලබයෙකුත් අහු උනා 




මෙයා නම් පැහැදිලි මදි. මල් පොහොට්ටුවක බිත්තර අලවන ඇබිත්තන් කෘමියෙක් 

අතීත, වර්ථමාන, අනාගත පරම්පරා 

alpha alpha 








මේ මගේ මල 


Bluethroat (Luscinia svecica)
උඩ ඉන්න සමනල්ලුයි අනිත් අයයි ගොඩ දෙනෙක් නැවතුනේ මෙයාගේ බඩේ