Wednesday, February 12, 2014

දේශේ හැටියට බාසේ

"කොහොමද?"
උදේ වරුවෙ මමයි, අළුත් ඉන්දියන් එකවුන්ටනුයි කතා කර කර ඉන්න තැනට පාත් උනු අපේ මැනේජර් අරාබියෙන් ඇහුවා. මමත් ඉතින් හැමදාම ඇහෙන මේ ප්‍රශ්නෙට හැමෝම දෙන තනි අරාබි වචනෙ උත්තරක් දුන්නා. මගේ දිහා අමුතු විදිහට බලපු එකවුන්ටන් "ඔයාට අරාබිත් පුලුවන්ද?" කියලා ඇහුවා.
"ඕක ඉතින් නිතරම ඇහෙන එක නේ. ඒ නිසා දන්නවා." මම කීවා. ඇත්තටම මම අ‍රාබි කතා කරන්න දන්නෙ නෑ. ඔය එහෙන් මෙහෙන් වචන දෙක තුනක් ගැට ගහගන්න පුරුදු උනෙත් මගේ අංශෙ වැඩ කරන අස්රෆ්  නිසා. අශ්රෆ්ට අරාබි ඇරෙන්න වෙන මොන මල දානයක්වත් තේරෙන්නෙ නෑ. ඒ නිසා අසනීප වසු පැටව් ගැන අහ ගන්න කොහොම හරි මට අරාබි වචන දෙක තුනක් ඉගෙන ගන්න සිද්ධ උනා.
මගේ භාෂා දැනුම කොච්චරද කියනව නම්, සා. පෙ ට A එකක් තිබ්බට උපන් දවසේ ඉදලා ඇහෙන කතාකරන මගේ සිංහල භාෂා භාවිතයත් මෙලෝ රහක් නෑ කියලා ඇනෝ කෙනෙක් කලින් පෝස්ට් එකක කියල ගිහින් තිබුනා. ශිෂ්‍යත්වෙ සමත් වෙලා ටිකක් නම ලොකු ඉස්කොලෙකට ගිය එකෙන් කඩ්ඩ මද පමනින් ගැට ගහ ගන්න පුලුවන්කමත් තිබුනත්, ඒ කඩුවෙන් ලොකු ලොකු වැඩ කෑලී දාන්න ගියොත් නම් හොද හැටි ඇන ගන්නවා.  අපේ ඉස්කෝලේ දෙමල භාෂාව අනිවාර්‍ය විෂයක් විදිහට ඉගැන්නුවත්, දෙමල උන් එක්ක එකම කාමරේ කල් ගෙව්වත් දෙමල භාෂාවත් කතා කරන්නට බැරි වෙච්ච එකනේ වැඩේ කියන්නේ. හැබැයි ඉස්කොලෙදි අපේ පස්ස පැත්ත පැලෙන්න වෙවැලෙන් තල තල දෙමල උගන්නපු සර්ට පින් සිද්ද වෙන්න දෙමල අකුරු කියවන්න නම් පුලුවන්. කියෙව්වට ඉතින් තේරුමක් දන්නෙ නැත්නම් ඉතින් ඒකෙන් තියෙන පලේ මොකද්ද? කොච්චර දෙමල යාලුවෝ ආශ්‍රය කලත් දෙමල කතා කරන්නට බැරි වීම නම් පුදුම දෙ‍යක් තමයි.
ඒකටත් එක්ක උපතින්ම දෙමල උන උන් බහුතරයක් හොදට හෙලුවෙන් වනන්න දන්න හැටි. ලංකාවේ තියෙන එකම පශු වෛද්‍ය පීඨය නිසාම හැම තූත්තුකුඩියෙන්ම තේරුනු උන් අපේ පීඨෙට ආවා. අපේ කන්ඩායමට කිලිනොච්චියෙන්, යාපනෙන් ආපු සමහරුන්ට සිංහල වචනයක්වත් බෑ එද්දී නම්. ඒත් සිංහල කතා කරන්න ඉගෙන ගන්න ඒ අයට වැඩි කාලයක් ගියෙ නෑ. සිංහලෙන් කතා කරන්න ගිහින් ඉදල ඉදලා ඔය වචනවල අකුරු මාරු කරල ආතල් එකක් දුන්නට උන් සෑහෙන්න ඉක්මනට සිංහල ඉගෙන ගත්තා.
දෙමල උන් සිංහල කතා කරනව කීවම මට හැම වෙලාවෙම මතක් වෙන චරිතයක් තමයි ඉස්කොලෙ කාලෙ එකට හිටපු මිත්‍රයෙක් වෙච්ච ක්‍රිශා. උපතින් දෙමල උනත් ක්‍රිශාට උසස් පෙලකරන කාලේ වෙනකලුත් හරියට දෙමල ලියන්න බෑ. අනිත් භාෂාත් එහෙම තමයි. හැබයි ඉතින් සිංහල, දෙමල, ඉංග්‍රිසි තුනම කතා කරන්න නම් පුලුවන්. ක්‍රිශා සිංහල හසුරවද්දි ඌ දෙමලෙක් බව තේරෙන්නේ සමහර ශබ්ද හරියට කියවෙන්නෙ නැති වෙලාවට විතරයි. පිට්ටනියේ බෝල ගැහිල්ල්ල වලියකින් කෙලව‍ර වෙනකොට ක්‍රිශා අනිත් උන්ට බනින්නෙ
"උඹලත් එක්ක ආය සෙල්ලම් කරන්නෑ. උඹලා ඔරු ඩෝ.. උඹල ඔරු"  කියලයි. ස්වභාවයෙන්ම දෙමල අයට මේ 'හ' ශබ්ද‍ය කියවෙන්නේ නැති නිසා ක්‍රිශා හොරුන්ට කියන්නෙ ඔරු කියලයි. තත්වය දරුනු වෙලා වලිය කුනුහරපෙන් බැන ගන්න අවස්තාවට එනකොටත් ඕක පෙනෙනවා. එතකොට ක්‍රිශාට හුයන්න වෙනුවට කියැවෙන්නෙ උයන්නයි. සාමාන්‍යයෙන් අනිත් දෙමල අය කයන්න-ගයන්න, බයන්න-පයන්න, ඩයන්න ටයන්න, තයන්න-දයන්න පටලවලව ගන්න ගතියක් තියෙන්නෙ දෙමළ භාශාවේදී ඒ ශබ්ද වලට එකම අකුර පාවිච්චි වෙන නිසාද කොහෙද? ඒත් ක්‍රිශාට ඒව නම් පැටලුනේ නෑ. ඒ ගැන කියන්න ගිය අතරේ තව කතාවක් මතක් වෙච්ච හැටි.
මේ කතාව අර උඩින් කියපු අපේ පස්සවල වේවැල් පාර සටහන් කරපු දෙමල ස‍ර්ගේ කතාවක්. ඉස්කෝලේ ඇරුනට පස්සෙ ලග පාත ගමනක් යන්න මේ දෙමල සර් බස් එක්කකට නැග්ගලු. ඉස්කොලේ කොලු ගැටව් පොල් පැටෙව්වා වගෙ පටවලා තිබ්බ නිසා බහින තැන ලං වෙනකොට සර්ට දොර ලගට එන්න බැරිව හිරවෙලාලු. මහ හයියෙන් කෑ ගහපු සර් "ඉස්සරහා පහිනවා. ඉස්සරහා පහිනවා" කී සැනින් මුලු බස් එකම හිනා හඩින් පිරිලා ගියාළු. හැමදාම දෙමල බැරි අපට වෙවැල් පාර දෙන සර් සිංහල වරද්දපු හැටි පහුවදා මුලු ඉස්කොලෙටම කියන්න කොල්ලො අමතක නොකලේ සර්ගේ වේවැලත් එක්ක තිබ්බ තරහටයි. ඒ පයන්නයි, බයන්නයි පැටලුනු හැටියි.
මේ රටට එන්න ලෑස්ති වෙන කාලේ විකිපීඩියාවේ හොයල බලද්දි නම් තිබ්බේ මෙහේ අරාබි වගේම කඩ්ඩත් එක වගේ පාවිච්චි වෙනවා කියලයි. එත් ඉතින් ඒක බොරු කියල තේරුනේ ගුවන්තොටුපලින් එලියට එන්නත් කලින්. මෙහෙ ඉන්න අරබි උන් බහුතරයක් කතා කරන්න දන්නෙ අරාබි විතරයි. මුකුත් ඕන නෑ. අවුරුද්දකට දෙපාරක් යුරෝපෙට යන, එක පාරක් ඉන්දියාවට ගිහින් එන, මෙහෙ තියෙන ලොකුම ප්‍රසිද්ධම හෝටලයක අයිතිකාරයා වෙච්ච අපේ සමාගමේ අයිතිකාරයට කඩ්ඩ බෑ කිව්වම මදිද? උන්ගේ භාෂාව අරාබි උනාට මෙහෙ වැඩිපුරම කතා කරන්නේ හින්දි වෙන්න ඕනෑ. ඒ මේ රටේ ජනගහනයෙන් 80% කට වඩා පිට දේශක්කාරයෝ නිසයි. ඒකෙන් වැඩි පංගුවක් ඉන්දියානුවෝ. ඊට පස්සෙ නෙප්පො නොහොත් නේපාලි. ඊට අමතරව පිල්ලො නොහොත් පිලිපීන, මිසරි නොහොත් ඊජිප්තු, ශ්‍රී ලාංකික(අනිත් උන් අපට කොහොම කියනවද දන්නෙ නෑ), බන්ගෝ නොහොත්      බන්ගලි, සූඩයෝ නොහොත් සූඩානී එකී නොකී මෙකී ජාති ගොඩක් ඉන්නවා. අරාබි කතාකරන එවුන් හැරුනම අනිත් ජාති බහුතරයක් අදහස් හුවමාරු කරන්න භාවිතා කරන්නේ හින්දි. ඒ නිසාම මට නම් හිතෙන්නෙ මෙහෙ අරාබි වලට වඩා හින්දි භාවිතා කරනවද කොහෙද කියලයි. පුදුමෙ කියන්නෙ මේ හිංදි කියන භාෂාව මේ ජාති එකකවත් මවු බස නෙමෙයි නේ. ඇයි ඉන්දියන්. නෑ නෑ. මෙහෙ ඉන්න ඉන්දියන් කාරයන්ගෙන් බහුතරයක් කේරලේ ඉදල ආපු මලයාලම් කතාකරන මලයෝ. අනිත් ප්‍රාන්ත වල උනුත් ඉන්නවා. එත් මට තාම හම්බ වෙලා නෑ මව් බස හින්දි වෙච්ච ඉන්දියානුවෙක්. අපේ ඉන්ඩියන් එකවුන්ටන්ට් කර්නාටක් ඉදලා ඇවිත් ඉන්නෙ. මිනිහට හින්දි වචනයක්වත් බෑ.
කොහොම උනත් මේ මැද පෙරදිග කතා කරන භාෂාවට හින්දි කීවත් මේක හින්දි වලට අරාබි සහ ඉංග්‍රිසි එකතු වෙලා හැදුන අලුත්ම භාෂාවක් කියලයි මට හිතෙන්නෙ. මොකද මෙහෙ කතා කරන හින්දි භාෂාව හසුරවන්න මට තරමක් පුලුවන් උනත් හින්දි චිත්‍රපටි‍යක් බැලුවම ඒ තරම් තෙරෙන්නෙ නැති නිසා. චිත්‍රපටි වල තියෙන හැබෑ හින්දිත් මෙහෙ පාවිච්චි කරන හින්දිත් වෙනස්. මොනවා උනත් මම හිතන්නෙ මේ රටවල්වල තියෙන අරාබි භාෂාවටත් මේ හින්දි මුහු වෙලා වෙනස් වෙයි  කියල හිතෙනවා වැඩි කල් නොගිහින්ම.

Tuesday, February 11, 2014

මැස්සෙක්, මකුළුවෙක් සහ තවත් පින්තුර - Insects (Close-up)

දෙසැම්බර් මාසේ ගලන්න පටන් ගත්ත සීතල තවම මැකිලා ගිහින් නෑ. සීතල නිසාම කම්මැලි කම වැඩි වෙලා. පහුගිය ටිකේම පින්තුර ඇල්ලිල්ල හොදටම අඩු වෙලා. ටිකක් කාර්ය බහුල උන එකත් ඒකට බලපෑවා. එත් ඉතින් මගේ කොම්පිතරේ ආලෝක කාමරේ (light room) පරණ පින්තුර පුරවලා තියෙනවනේ. ඔන්න පරණ පින්තුර ටිකක් ඇදාල ගත්තා. 
මැක්‍රෝ හෙවත් පුංචි දේවල් වල පින්තුර ගැනීම ප්‍රවීන වගේම ආදුනික චායාරුප ශිල්පීන් ගොඩ දෙනෙක් කැමති දෙයක්. ඉතින් පින්තුර ඇල්ලිල්ලට ආදුනික මමත් හරි කැමති මේ වැඩේට. එත් ඉතින් සමහර ලංකික ප්‍රවීන චායාරුප ශිල්පියෝ ඔය සමනල්ලු, බත්කුරෝන්ගේ, මැස්සන්ගේ පින්තුර අරන් පලක් නෑ කියල කියනවා බුකිය පැත්තේදී නම් දැකල තියෙනවා. මම නම් විනෝදෙට මේ පින්තුර ඇල්ලිල්ල කරන නිසා මම කැමති කැමති පැත්තට මගේ කැමරාව හරවනවා. 
මැක්‍රෝ පින්තුර ගන්න ආස උනාට මොකද එකට ඕන යටිතල පහසුකම් නෑ නේ මං ලග. හොද මැක්‍රෝ කාචයක් සැහෙන්න ගණන්. දැනට මේ සෙල්ලමට වියදම් කරලා තියෙන ගාන දැනගත්තම ගෙදර මිනිස්සුන්ට හිල්ලුව විදිහ මතක් වෙනකොට නිකමටවත් එකක් ගන්න හිතෙන්නේ නෑ. කොහොම හරි මම ගත්ත බාල අඩු මිල close-up පහසුකම ඇති කාචෙන් ඇල්ලුවා පින්තුර ටිකක් තමයි මේ. ඒ නිසා මේවා මැක්‍රෝ නෙමෙයි. ලග- උඩ (close-up) පින්තුර. 
මේ විදිහෙම close-up පින්තුර ටිකක් වෙච්ච සමනල් එකතුව වැඩි දෙනෙක් දකින්න නැතුව ඇති. මෙන්න ඒ පැත්තට පාර.

මැස්සෙක් ගිය උඩ

අරුම පුදුම වියමන 

තණකොළ පෙත්තා සහ පුත්‍රයෝ  

දවස් ගානක් කන්න පුළුවන් කුණු කැල්ලක් හම්බ උනා 

මේ මල් වලත් රොන් තියෙනවා 

ගස් බඩගාන එකත් ලේසි නෑ 

මැස්සෙක්ගේ රස බලන බත් කුරෙක්.(මැස්සාගේ ඇග කටේය. ඔලුව ලියට යටින් කකුල්වල රදවගෙනය)

සර්කස් පැසිපියා - වැටුනොත් ලෙලි ගියා 

රේණු තලා මල් නොතලා 





මුදුනා 

ආඩම්බර කාර තණකොළ පෙත්තා



මගේ කරුමෙටම වගේ මම ගොඩක් කැමති මේ පින්තුර ගන්න පාවිච්චි කරපු කාචේ ඊයේ පෙරේද ලෙඩ උනා.

Wednesday, February 5, 2014

අතුරුදහන් උනු මිතුරා - LOST COMPANION

මේ වාලුකාවේ  තනිකඩ ජීවිතය පටන් ගත්තේ මීට අවරුද්දකට විතර කලින්. හිත මිත්‍රයෝ වටකරගෙන ජිවිතේ ගෙවපු මම මෙහෙදී මගේ තනිය, දුක, සැප, බෙදා ගන්න අලුත් හිතවතෙක් මෙහෙදී හොයා ගත්තා. මං ජීවත්වෙන ගේ ඇතුලේ හිටියේ අපි දෙන්න විතරයි. කන බොන එක බෙදා ගෙන කාල, තියෙන එකම ඇඳ බෙදා හදාගෙන මගෙත් එක්ක ජිවත් උනේ මේ මිත්‍රයයි. රාජකාරි ඉවර කරලා මම එනකල් ඇඳට වෙලා හොදට නිදා ගන්න මේ සගයා මම එද්දී මාව පිළිගන්න ඉස්සරහට එන්න හිටිය එකම කෙනයි. දවල් දවසම කම්මැලි කමට ගෙට වෙලා ඉන්න මෙයාගේ රාජකාරි පටන් ගන්නේ බොහෝ වෙලාවට යන්තම් අදුර වැටුනට පස්සෙයි. මේ වෙලාවට එලියට යන මෙයා සමහර දවස් වලට ආපසු එන්නේ උදේ පාන්දරටයි. එත් මීට මාසෙකට කලින් එහෙම හවස් වරුවක එලියට ගියපු සගයා ආපහු නොආවේ කවදාවත් නොහිතපු විදිහට.
ඔව්. උඩ පින්තුරේ ඉන්නේ මගේ ඒ හිතවතා තමයි. පුසෙක්. මීට කලින් කිසිම දවසක පුසන්ට ඇලුම් නොකරපු මාව සසල කරපු මගේ හිත මිත්‍රයා උනේ ඔය පුසා තමයි. මම මේ නුහුරු රටේ තනි වෙලා මාසෙකට විතර පස්සේ හරිම පුංචි කෙසග පුස් පැටියෙක් වෙච්ච මෙයාව මම මගේ කාමරේට අරන් ආවේ තනියට හිත මිත්‍රයෙක් ඕන කියල දැනුනු නිසා. සුනකයන්ට කැමති කෙනෙක් උනත් මම කවදත් පූසන්ට කැමැත්තක් තිබ්බේ නැත්තේ ස්වභාවයෙන්ම පුසන්ට උරුම වෙච්ච ආඩම්බරකාර, අර්ධ වල් (semi-wild) ගති ලක්ෂණ නිසයි. ඒආඩම්බරකම මගේ යෙලෝ ෆෙලෝටත් බින්දුවක්වත් අඩු නොවී පිහිටලා තිබ්බා. ඉදල හිටලා කොහෙන් හරි අල්ලාගෙන එන මී පැටියෙක්, කුරුල්ලෙක් නිසා අර්ධ වල් ස්වභාවයත් හොදට පෙන්නුම් කළා.
පුංචි පැටියෙක් විදිහට මගේ නවාතැනට ආපු යෙලෝ මගේ තනිකම මැකුවා විතරක් නෙමෙයි වට පිටාවේ ඉන්න හැමෝගෙම හිතවතෙකුත් උනා ටික කලෙකින්ම.  එත් හදිස්සියේම අතුරුදහන් උන මේ හිත මිතුරාගේ අඩුව මට තදින්ම මට දැනෙන්න ගත්තේ හිතා ගන්නවත් බැරි විදිහටයි. මුල් දවසේ බයක් නොදැනුනේ සාමාන්‍යයෙන් ප්‍රජනන කාලයේදී පුසන් මේ විදිහට දවස් දෙකක් තුනක් අතුරුදහන් වෙලා ඉන්න එක සාමාන්‍ය දෙයක් නිසයි. එත් දෙවන දවසේ  ඉදන් මුළු ගොවිපලෙත්, අවටත් සෝදිසි කරලා බැලුවත් යෙලෝ ගැන කිසි තොරතුරක් අද වන තුරුත් හොයා ගන්න නෑ.
අව්රුද්දක වගේ කෙටි කාලයක් මගේ ලග හිටපු මේ මිතුරා අතුරුදහන් වෙලා මේ වෙනකොට මාසයක් ඉක්ම ගිහිල්ල. හිතා ගන්නවත් බැරි විදිහට අතුරුදහන් උන යෙලෝආපහු එයි කියන බලාපොරොත්තුව දැන් මගේ හිතින් නැති වෙලා ගියාට ඒ අඩුව නම් තවමත් මට හොදින් දැනෙනවා. කැමරාව අරන් මම වටපිටාවේ පින්තුර අල්ලන වෙලාවට සමනල්ලුන්ට කුරුමානම් අල්ලන ගමන් මගේ තනියට රැදෙන මිතුරාගේ අඩුව දැනෙනවා. උයන පිහන වෙලාවට ලගටම වෙලා ඉන්න, මස් මාළු උයන දවසට පිස්සුවෙන් වගේ කෑ ගහන මිතුරාගේ අඩුව දැනෙනවා.
නොහිතපු විදිහට මගේ හිත සසල කරපු ඒ මිතුර වෙනුයි මේ පුංචි සටහන සහ පින්තුර මතක එකතුව

පුංචිම දවස්වල 

මම අරන් ආව කැහැටු පූස් පැටියා 



අයියා බරටම වැඩ 







මේ කටුස්සව අල්ල ගන්න පුළුවන් නම් දවල් කෑමට 


කොච්චර නිදා ගත්තත් නිදිමත අඩුවක් නෑ අප්පා 








යෙලෝ ද අවුල් 

පින්තුර ඇල්ලිල්ල අතර තුර 







Sunday, February 2, 2014

එක හැන්දෙන් බෙදීම


මේ ගෙවෙන කාලය මගේ ජිවිතේ නීරසම කාලයක්. එහෙම හිතෙන්නේ, හරිම සැහැල්ලුවෙන් ගෙවපු, නිදහස් සුන්දර යුගයක් වෙච්ච සරසවි ජීවිතය අහවර කරපු සැනින්ම පිටස්තර රටක නිදහස් හිරකාරයෙක් විදිහට කාලය ගෙවන්න සිද්ද වෙච්ච නිසා වෙන්න ඇති. සරසවියේ ඉන්න කාලය පුරාවට ඒ ජිවිතේ අවසන් කරල පිටස්තර ලෝකයට පිය නගන දවසක් ගැන සිහින මව මව හිටියත්, දැන් ඒ ජිවිතේ රඟ හොද හැටි දැනෙන්නට පටන් ගෙනයි තියෙන්නේ. මේ ගෙවිල යන නීරස ජීවිතය අතරේ සරසවියේ සුන්දර මතකයන් විටින් විට හිතේ මැවෙනවා. හිටි හැටියේ මුහුණු පොතේදී හරි, ස්කයිප් එක මගින් හරි මදක් දොඩමලුවකට ඉඩ ලැබුනත් ගොඩක් සරසවි සගයෝ ඉදහිටවත් මුණ ගැහෙන්නේ නැති තරම්. හැම දෙනාම මම වගේම තම තමන්ගේ  ජීවිතවල නිමක් නැති සිහින පිටිපස්සෙන් දුවන්න පටන් අරන් ඇති.  පසුගිය මාසයේ අපේ සරසවි මිතුරන් එකතු වෙන්න දවසක් යොදාගෙන තිබ්බත් පිට රටක ඉන්න මට ඒ අවස්ථාව මට මගහැරුනා. ඒ ගැන කණගාටුවක් ඇති උනත් මිතුරන්ගේ එකතු වීම ජංජාලය හරහා පින්තුර වලින් දැක ගන්න ලැබුණු එක සතුටක් උනා.
ලංකාවේ ලස්සනම සරසවියක් වෙච්ච පේරාදෙණියසරසවියේ තියෙන නේවාසිකාගාර පද්දතිය සරසවිය සුන්දර කරන්නව විතරක් නෙමෙයි, සිසුන්ගේ විශ්වවිද්‍යාල ජිවිතේ සුන්දර කරන්නත් මේ නේවාසිකාගාර පද්දතිය ලොකු රුකුලක් දෙනවා. සාමාන්‍යයෙන් සිව් වසරක සරසවි කාලයේදී ශිෂ්‍යයන්ට නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ වසර 3ක් විතරයි. දෙවන වසරේදී නේවාසිකාගාර පහසුකම ලැබෙන්නේ නැති උනත් බොහෝ වෙලාවට ඒ වසරත් කොහොම හරි ගොඩ දාගන්නේ 'ගජේ ගැහීමට' පින්සිද්ධ වෙන්නයි. මගේ සරසවි ජිවිතයේ නම් බෝඩිමක ගෙවුනේ ආරම්භයේදීම පැවැත්වෙන තුන් මාසික ඉංග්‍රීසි පාඨමාලාව කාලයේදී විතරයි.
පළමු වසර ගෙවන්නට ලැබුන හිල්ඩා ඔබේසේකර ශාලාව සුන්දර මතක ගොන්නක් එකතු කරපු තැනක්. අනෙක් නේවාසිකාගාර වලට වඩා හිල්ඩා ශාලාවේ විශේෂත්වය උනේ හැම පීඨයකම වගේ ප්‍රථම වසර සිසුන්  මේකේ ඉන්න එකයි. ඒ නිසාම අනිත් පීඨ සියල්ලේම සමාන්තර ශිෂ්‍යයෝ වගේම ජේෂ්ඨ ශිෂ්‍යයෝ සැහෙන්න ප්‍රමාණයක් අදුර ගන්න අවස්ථාව අපට ලැබුනා. හිල්ඩා ශාලාවේ කැන්ටිම, පොකුණ (පොන්ඩ් එක) මතක් වන විටත් මුවගින් සිනහවක් මතු කරන්න පුළුවන් විදිහේ මතක එකතු කරපු තැන්. මේ ශාලාවේ අවසන් වරට නවතන ගන්න ලැබුණු පිරිමි සිසු කණ්ඩායම උනේ අපියි. ඒ අපෙන් පස්සේ මේ ශාලාව ශිෂ්‍යාවන්ට ලබා දුන්න නිසායි.
දෙවන වසරේ නේවාසිකාගාර වල නවතින්න වරම් නැති උන මමත්, කණ්ඩායමේ සගයොත් නැවතුනේ ඉතාම පුංචි නේවාසිකාගාරයක් වෙච්ච හිදගල ශාලාවේ. කාමර කිහිපයක් විතරක් තිබ්බ මේ ශාලාවේ ගෙවපු මුල්ම කාලේ අමුම කට්ටක් කාපු කාලයක්. තනි ඇදන් තුනක් එකට ලං කරලා අපි දහදෙනෙක් විතර නිදාගත්ත හැටි අද නම් හිතා ගන්නවත් බෑ. කට්ටියටම එකම වෙලාවක මේ ඇදන් තුනට නගින්න වුනා විතරක් නෙමෙයි,  කට්ටියම ඇලේට නිදාගත්තට පස්සේ ඉන්න ඕනේ පිළිම වගේ නොසෙල්වී. කැහැටු ශරීර දහයක් උනත් ඇදන් 3ක පේලියට ඇතිරුවාම කොහෙද ආය හැරෙන්න ඉඩක් ඉතිරි වෙන්නේ. ඒ මදිවට හොදම සැප ලැබෙන්නේ අපි 'සංසාර ගැට්ට' කියල හදුන්නපු ඇදන් දෙකක එකතු වෙන තැන් හම්බ වෙන අයටයි. අප්පේ එකේ තිබ්බ සැප. ඒ තරම් කට්ටක් කාලත් අපි පැණි හැළියක වැටුණු කුබියෝ වගේ එතනම හිටපු එක නම් අදත් පුදුමයි. තරමක් විශාල කාමරයක සහෝදර පීඨයක ශිෂ්‍යයෝ පිරිසක් එක්ක ගෙවපු මුල් කාලේ ඔවුන් එක්ක ඒ තරම් හිත හොදක් තිබ්බේ නැතත් පස්සේ කාලයක මේ පිරිස අපේ හොදම මිතුරෝ වුනා. ටික කාලෙකින් අපි ඒ කාමරෙන් එලියට විසි වුනේ අලුතින් ආපු කණ්ඩායමකට ඉඩ දෙන්නයි. මාස දෙකක් විතර තවත් කාමරේක වෙනත් පීඨයක දෙමල සහෝදරයෝ දෙන්නෙක් එක්ක ගාල් වෙලා හිටපු අපි අයෙත් මේ කාමරේට ආවම හැමදෙනාටම තමන්ගේ කියල ඇඳක් හිමි උනා. මෙච්චර කාලයක් කැන්ටිමේ කෑම ගිල ගිල හිටපු අපිට ඔය කාලේ උයාගෙන පිහාගෙන කන්නත් අවස්ථාව ලැබුනා. ඔය උයන පිහන අතරේ එක දවසක් සිද්ද වෙච්ච සිද්දියක් අපේ කණ්ඩායමේ සගයෝ කාට කාටත් හොද හැටි මතක හිටින්න ඇති මං හිතන්නේ.
මතක හැටියට නම් මේ විභාගයකට සුදානම් වන කාලයක්. එකපාරට මතුවෙන ක්ෂණික බඩගින්නට ඒ කාලයේ අපි ක්ෂණික විසදුමක් හොයන් තිබුනා. ඒ ප්‍රීමා කොත්තු මි ක්ෂණික නුඩ්ල්ස්. ඉක්මණි හදාගන්න පුළුවන් උනාට මෙයින් එකක් අපේ එකෙක්ගේ බඩ පුරවන්න මදි. ඒකට විසදුම විදිහට අපි දෙන්නෙක් එකතු වෙලා පැකට් තුනක් හදාගෙන බෙදාගෙන කන්න පුරුදු වෙලා හිටියා.
මේ සිද්දියේ ප්‍රදාන චරිත අපේ උනන්දුවත්, උනන්දුවගේ අතිජාත මිත්‍රයා වෙච්ච මානවයත් කියන දෙන්න. සුපුරුදු විදිහට දැනිච්ච බඩගින්නට නිමාවක් දෙන්න හිතන් මේ දෙන්න එකතු වෙලා නුඩ්ල්ස් පැකට් තුනක් අරන් ආවා. නුඩ්ල්ස් හදන වැඩේ බර උනේ මානවයාට. පැකට් තුනම එකට දාල ක්ෂණිකව හදපු මානවයා ඒක පිගන් දෙකකට සමව බෙදල එකක් තමන්ට අරන් උනන්දුවට කතා කළා. උනන්දුවා දුවගෙන ආපු ගමන් තමන්ගේ කෑම පිගන දිහා බලාගෙන කෑ ගහන්න ගත්තා.
"බෑ බෑ. උබ සමානව බෙදල නෑ. මට අඩුයි."
උනන්දුවා මානවයාට විරුද්දව යුද්ද ප්‍රකාශ කළා. මේ වෙනකොට තම තමන්ගේ ඇදවල් වලට වෙලා තමන්ගේ පාඩුවේ පොතක් බල බල, දුරකතනය ඔබ ඔබ, තිබිච්ච එකම කොම්පිතරේ age of empires ගහ ගහ හිටපු අපේ සගයෝ දහයකගේ විතර ඇස් එක සැරේටම එතෙන්ට ඇදිල ගියා.
"බලපන් මේ සමානව බෙදලා නැද්ද?" 
උනන්දුවගේ පිගාන ලගින් තමන්ගේ පිගන තියපු මානවයා ඇහුවා.
"නෑ නෑ. උබේ එකේ වැඩි. මගේ එකේ අඩුයි " බැලූ බැල්මටම සමානයි කියල පෙනුනත් උනන්දුවා දිගටම කෑ ගහනවා.
"හරි දැන් මොකද්ද කරන්න ඕන."
"සමානව බෙදන්න ඕන"
"හරි මම මගේ එකෙන් උබේ එකට දාන්නම්. සමාන උනාම උබ කියපං" කියපු මානවය තමන්ගේ පිගානෙන් උනන්දුවගේ පිගානට නුඩ්ල්ස් දාන්න ගත්ත.
එක හැන්දයි
"හරිද?"
දෙකයි
"හරිද? "
තුනයි
"හරිද?"
සැහෙන්න ප්‍රමාණයක් දැම්මට පස්සේ උනන්දුවා "හරි" කිවා.
"උබට ෂුවර්ද සමානයි කියල" මානවය ඇහුවේ සෑහෙන්න වැඩිපුර පිරිලා තියෙන පිගානයි, අඩුවෙන් තියෙන පිගනයි දිහා බල බල.
"ඔව්. දැන් සමානයි." 
"හරි නේ. දෙකම සමානයි නේ. එහෙනම් උබ ඕක කාපන්, මම මේක කන්නම්." 
මානවය පිගන් දෙක මාරු කලේ උනන්දුවටත්, අපටත් උනේ මොකද්දැයි හිතා ගන්නත් කලින්.
මෙච්චර වෙලාවක්  උනන්දුවගේ මේ නාඩගම දිහා නිහඩව බලන් හිටපු ඇස් වලට පහලින් තිබ්බ කටවල් දහයකින් විතර එක සැරේට නගිච්ච හූවකින් කාමරේම පිරිලා ගියා. විනාඩි කීපයක් තිබ්බ හිනා හඩ අස්සේ උනන්දුව සද්ද නැතුව තමන්ට ඉතිරි උන අඩුවෙන් නුඩ්ල්ස් තියෙන පිඟාන අරන් පැත්තකින් වැඩි උනා. කොච්චර විලි ලැජ්ජාවක් උනත් ඉතින් ඊලග දවසෙත් නුඩ්ල්ස් පැකට් තුන බෙදාගෙන කන්නේ ඉතින් මේ දෙන්නම තමයි.
අමු කට්ට මැද්දේ, සුන්දර මතක තොගයක් ඉතිරි කරපු ජිවිතේ තවත් එක නවාතැනක් වුන හිදගලින් පස්සේ අපි පිලිවෙලින් රන්ජිතම්, නිෂ්මි ජයතිලක ශාලා වලට ගමන් කරලා එතනින් මේ අරුම පුදුම ලෝකෙට පය තිබ්බා.

Wednesday, January 29, 2014

දිනයක නිමාව - END OF A DAY

හවස් වරුවේ ඉර බැහැල යන්න ලං වෙද්දී අහස මවන දර්ශන බලන් ඉන්න වටිනවා. මම කොහොමත් හරිම ප්‍රියයි ඉර බැහැල යන දර්ශන පින්තුර ගන්න. ඊයේ හවස් වරුවේ ඉර ක්ෂිතිජයට ලංවෙනකොට මම කුරුල්ලන්ගේ පින්තුර දඩයමක යෙදිලයි හිටියේ. ඉර බහින දර්ශන සැහෙන්න මගේ පරිගණකයේ එකතු වෙලා තිබුනත් ඒ ගොඩට තව පින්තුර ටිකක් එකතු කර ගන්න හිතන් මම පින්තුරයක් ගන්න තැනක් හොයාගෙන ගමන් අරඹ කළා. අන්තිමේ නතර උනේ මිට කලිනුත් පින්තුර ගත්ත තැනක. මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවොත් මේ ස්ථානයේදීම කලින් ගත්ත පින්තුරයක් දැක ගන්න පුළුවන් වේවි. 







Tuesday, January 28, 2014

තුෂාරයෙන් පසු - AFTER THE MIST

අද නිවාඩුවක් ගත්තා. පහුගිය මාසේ පුරාවටම තිබ්බ දැඩි හිතල නිසාම පින්තුර අල්ලන එකත් ටිකක් අඩු වෙලයි තිබුනේ. එත් දැන් නම් ටිකක් සිතල අඩු වෙලා යනවා වගේ. හැබැයි උදේ 8 විතර වෙනකල් තද මිදුමකින් පළාතම වැහිලා යනවා. අද උදේ ටිකක් පරක්කු වෙනකල් නිදාගෙන ඉදල නැගිටලා එලියට ගියේ මේ මිදුමත් තුරන් උනාට පස්සේ. ගොවිපල වටේ ඇවිදිද්දී මගේ ඇස ඇදගත්තු දර්ශන ටිකක් ඔන්න. කලිනුත්  මම මේ වගේම පිනිබිදු පින්තුර පොස්ට් එකක පල කළා. බලපු නැති අය ඒවත් බලලම ඉන්නකෝ පහල සබැදියෙන්.

පිනි බිදු

මේ වගේ පංතුර ගන්න උචිත මැක්‍රෝ කාචයක් නැති නිසා මගේ අඩු මිල close-up කචයයි පාවිච්චි කලේ. 










මුතු වැලක් 

මකුලුවෙකුත් බරටම වැඩ



ඔය අතරේම වන මලකුත් නෙලා ගත්ත ඔන්න


කුරුල්ලෙකුත් දැක්ක එකේ පින්තුරයක් නොගෙන ඉන්නේ කොහොමද?