"කොහෙද යකෝ මෙච්චර කාලයක් තොලොන්චි වෙලා හිටියේ?" කියලා අහන්න නම් ඔට්ටු නෑ ඔන්න. අහන්න කලිං කියලම දාන්නන්කො. අපේ අන්තර්ජාලේ ජංජාලයක් උන එකෙන් ටික දවසක් මං ඔය සමාජ ජාල වලින් ටිකක් ඈතට වෙලා හිටියා. ඒ අතරෙම තව විකාර දෙයකට ඇබ්බැහි උනා. ඒ Twenty Four මාලා නාට්‍යය බලන එකට. අවුරුද්දකට වඩා කාලයක් මගේ පරිගනකයේ දෘඩ තැටියේ කොනක මකුලුදැල් බැදි බැදි තිබ්බ මේ නාට්‍යයේ කොටසක් අහම්බෙන් වගේ විවෘත කරල බලපු එකෙන් උනේ ඉස්පාසුවක් නැතුව එක දිගට ඒකේ මාලා (series) 7ක්ම බලල ඉවර කරපු එක. කොහොමින් කොහොම හරි අපි අලුත් ජාල සබදතාවක් අරගත්ත නිසා ආයෙත් ඔන්න මම ආවා බ්ලොග පැත්තෙ රවුමක් දාල යන්න.
ඉතින් අපේ පරිසරේ ගැන කියනව නම්, ඉරට හැතැප්මක්වත් නෑ. හෙට වෙද්දි උෂ්නත්වෙ අංශක 42ක් දක්වා වැඩි වෙයි කියල තමයි කියන්නෙ. ඒ මදිවට කාන්තාරෙ පැත්තෙ ඉදන් එන දුවිලි පිරිච්ච හුළඟ. ගොවිපලේ ගස්වල රටඉඳි හැදීගෙනත් එනවා. මාස 5ක් තිස්සේ මට වද දිදී, දවසට 7-8 දෙනා ගානේ පැටව් දාපු වැස්සියො ටිකත් දැන් සමර් නිවාඩුව අරන් පැටව් දාන එක අඩු වේගෙන එනවා. ඔය අතරේ අපි අපේ ශේක් යුරෝපය පැත්තෙ රව්මක් දාන්න යනකල් බලන් ඉන්නවා.
පින්තුර ඇල්ලිල්ලත් සෑහෙන්න අඩු වෙලා. දැන් ඉතින් එලියට බහින්න පුලුවන් රෑට විතරයි. රෑ අහසත් දූවිලි වලාකුලු නිසා වැහිලා ගිහිල්ලා. ඉතිං, මේ පාර පල කරන්නෙ නැවත සංස්කරනය කරපු පරන පින්තුර කිහිපයක්.
සසිදුගේ බ්ලොගේ එකෙන් දුන්න පින්තුර කඩේ (Photoshop) add-on එකකින් තමයි මේව සංස්කරනය කලේ. HDR toning කියන පින්තුර සංස්කරන ක්‍රමය තමයි මේ. හැබැයි මේ හැබෑ HDR නෙමෙයි.
HDR කියන්නෙ මොකද්ද? High Dynamic Range කියන එක කෙටියෙන් තමයි මේ HDR කියන්නෙ. මං ඔය එක එක වෙබ් අඩවි වලින් කියවල දැන ගත්ත විදිහට පොඩි විස්තරයක් කරන්න උත්සහ කරන්නම් මේ ගැන. Dynamic range හෙවත් ගතික පරාසය කියන්නෙ ආලෝකයේ අඩු වැඩිය, පරතරය කියන එකලු. ඒ කියන්නෙ, සාමන්‍යයෙන් අපි දකින ඕනම දසුනක සමහර තැන් හොදට ආලෝකමත් වෙලත්, සමහර තැන් අඩුවෙන් ආලෝකමත් වෙලත් තියෙනව නේ. අපේ ඇහැ ඒ ආලෝකය අඩු වැඩි තැන් හොදට කියවනවලු. (ඇහැ කීවට ඒක කරන්නෙ ඇහැයි, මොලයයි දෙකම එකතු වෙලා කියලයි මට හිතෙන්නෙ.) ඒ කියන්නෙ ඇහැ වැඩි ආලෝක පරාසයක ක්‍රියාත්මක වෙනවා. ඇහැට වැඩි ගතික පරාසයක් තියෙනවා. ඒත් කැමරාවට එහෙම හැකියවක් නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් දීප්තිමත් අහසක් තියෙන භූමි දර්ශනයක් වගේ ආලෝක වෙනස වැඩි පින්තුරයක් ගන්න ගියාම ලොකු ගැටලුවක් එනවා. බොහෝ විට එතකොට අහස නියම විදිහට අල්ල ගත්තොත් භූමිය අදුරු වෙනවා. භූමිය හොදට අල්ල ගත්තොත් අහස අධි අනාවරනය වෙලා මෙලෝ රහක් නැති පාට පිච්චුන අහසක් එනවා. ඒ වගේ අවස්තා වල තමයි මේ HDR කියන ක්‍රමය පාවිච්චි කරන්නෙ. ඒකෙදි කරන්නෙ අනාවරන වෙනස් සහිත පින්තුර කීපයක් අරගෙන ඒවා මෘදුකාංගයක් මගින් එකතු කරන එකයි. ඒ විදිහට ගතික පරාසය වැඩි පිංතුරයක් හදා ගන්න පුලුවන්. තේරුනාද මන්දා. මම ලියපු දේ මටම ආන්ද්‍රා දෙමල වගේ.
ඉතින් එහෙම පින්තුරයක් හදාගන්න පින්තුර කඩේට වඩා හොද මෘදුකාංග තියෙනවා. ඒත්, මගෙ ලග එහෙම එකක් නෑ. ඔය අතරේ සසිදු දුන්න add-on එක මේ පින්තුර කිහිපයට දාලා බැලුවා. මේ හැබෑ HDR නෙමෙයි. HDR toning. තනි පින්තුරයක් පොඩ්ඩක් වෙනස් කරල HDR වගේ එකක් හදලයි මේ තියෙන්නෙ. ඔන්න බලන්නකෝ.
මුහුනු පොතේදී හිතවත් උනු ජනක කියන මිතුරෙක් මේ උඩ පින්තුරෙ මගෙන් ඉල්ලගෙන නියම HDR එකක් කලා. ඉතිං මාත් උත්සහ කලා හදන්න. ඒත් ජනක තරම් සාර්තක නෑ මම.
සො.සි. මේකට කවියකුත් ලියල තිබුනා.
කලිනුත් පල කලා මේ පින්තුරේ. ඒත්, මේ සැරේ වෙනස් සංස්කරනයක්.
සැලකිය යුතුයි -
1. මං චායාරුප ශිල්පය පිලිවෙලකට උගත් කෙනෙක් නෙමෙයි. ජාලයෙන්, එහෙන් මෙහෙන් කියවලයි බොහෝ දේවල් දැන ගත්තේ. ඒ නිසා මේ කරුනු 100% නිවැරදි නොවීමට පුලුවන්.
2. මගේ පින්තුර බොහොමයක් කෘතිම ගතියක් දැනුනට හැබෑ HDR එහෙම නෙමෙයි.
3. මං භූමි දර්ශන වලට විතරක් මේක භාවිතා කලාට මීට වඩා බොහෝ දේ සදහා HDR භාවිතා කරන්න පුලුවන් ලූ.