Sunday, February 2, 2014

එක හැන්දෙන් බෙදීම


මේ ගෙවෙන කාලය මගේ ජිවිතේ නීරසම කාලයක්. එහෙම හිතෙන්නේ, හරිම සැහැල්ලුවෙන් ගෙවපු, නිදහස් සුන්දර යුගයක් වෙච්ච සරසවි ජීවිතය අහවර කරපු සැනින්ම පිටස්තර රටක නිදහස් හිරකාරයෙක් විදිහට කාලය ගෙවන්න සිද්ද වෙච්ච නිසා වෙන්න ඇති. සරසවියේ ඉන්න කාලය පුරාවට ඒ ජිවිතේ අවසන් කරල පිටස්තර ලෝකයට පිය නගන දවසක් ගැන සිහින මව මව හිටියත්, දැන් ඒ ජිවිතේ රඟ හොද හැටි දැනෙන්නට පටන් ගෙනයි තියෙන්නේ. මේ ගෙවිල යන නීරස ජීවිතය අතරේ සරසවියේ සුන්දර මතකයන් විටින් විට හිතේ මැවෙනවා. හිටි හැටියේ මුහුණු පොතේදී හරි, ස්කයිප් එක මගින් හරි මදක් දොඩමලුවකට ඉඩ ලැබුනත් ගොඩක් සරසවි සගයෝ ඉදහිටවත් මුණ ගැහෙන්නේ නැති තරම්. හැම දෙනාම මම වගේම තම තමන්ගේ  ජීවිතවල නිමක් නැති සිහින පිටිපස්සෙන් දුවන්න පටන් අරන් ඇති.  පසුගිය මාසයේ අපේ සරසවි මිතුරන් එකතු වෙන්න දවසක් යොදාගෙන තිබ්බත් පිට රටක ඉන්න මට ඒ අවස්ථාව මට මගහැරුනා. ඒ ගැන කණගාටුවක් ඇති උනත් මිතුරන්ගේ එකතු වීම ජංජාලය හරහා පින්තුර වලින් දැක ගන්න ලැබුණු එක සතුටක් උනා.
ලංකාවේ ලස්සනම සරසවියක් වෙච්ච පේරාදෙණියසරසවියේ තියෙන නේවාසිකාගාර පද්දතිය සරසවිය සුන්දර කරන්නව විතරක් නෙමෙයි, සිසුන්ගේ විශ්වවිද්‍යාල ජිවිතේ සුන්දර කරන්නත් මේ නේවාසිකාගාර පද්දතිය ලොකු රුකුලක් දෙනවා. සාමාන්‍යයෙන් සිව් වසරක සරසවි කාලයේදී ශිෂ්‍යයන්ට නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ වසර 3ක් විතරයි. දෙවන වසරේදී නේවාසිකාගාර පහසුකම ලැබෙන්නේ නැති උනත් බොහෝ වෙලාවට ඒ වසරත් කොහොම හරි ගොඩ දාගන්නේ 'ගජේ ගැහීමට' පින්සිද්ධ වෙන්නයි. මගේ සරසවි ජිවිතයේ නම් බෝඩිමක ගෙවුනේ ආරම්භයේදීම පැවැත්වෙන තුන් මාසික ඉංග්‍රීසි පාඨමාලාව කාලයේදී විතරයි.
පළමු වසර ගෙවන්නට ලැබුන හිල්ඩා ඔබේසේකර ශාලාව සුන්දර මතක ගොන්නක් එකතු කරපු තැනක්. අනෙක් නේවාසිකාගාර වලට වඩා හිල්ඩා ශාලාවේ විශේෂත්වය උනේ හැම පීඨයකම වගේ ප්‍රථම වසර සිසුන්  මේකේ ඉන්න එකයි. ඒ නිසාම අනිත් පීඨ සියල්ලේම සමාන්තර ශිෂ්‍යයෝ වගේම ජේෂ්ඨ ශිෂ්‍යයෝ සැහෙන්න ප්‍රමාණයක් අදුර ගන්න අවස්ථාව අපට ලැබුනා. හිල්ඩා ශාලාවේ කැන්ටිම, පොකුණ (පොන්ඩ් එක) මතක් වන විටත් මුවගින් සිනහවක් මතු කරන්න පුළුවන් විදිහේ මතක එකතු කරපු තැන්. මේ ශාලාවේ අවසන් වරට නවතන ගන්න ලැබුණු පිරිමි සිසු කණ්ඩායම උනේ අපියි. ඒ අපෙන් පස්සේ මේ ශාලාව ශිෂ්‍යාවන්ට ලබා දුන්න නිසායි.
දෙවන වසරේ නේවාසිකාගාර වල නවතින්න වරම් නැති උන මමත්, කණ්ඩායමේ සගයොත් නැවතුනේ ඉතාම පුංචි නේවාසිකාගාරයක් වෙච්ච හිදගල ශාලාවේ. කාමර කිහිපයක් විතරක් තිබ්බ මේ ශාලාවේ ගෙවපු මුල්ම කාලේ අමුම කට්ටක් කාපු කාලයක්. තනි ඇදන් තුනක් එකට ලං කරලා අපි දහදෙනෙක් විතර නිදාගත්ත හැටි අද නම් හිතා ගන්නවත් බෑ. කට්ටියටම එකම වෙලාවක මේ ඇදන් තුනට නගින්න වුනා විතරක් නෙමෙයි,  කට්ටියම ඇලේට නිදාගත්තට පස්සේ ඉන්න ඕනේ පිළිම වගේ නොසෙල්වී. කැහැටු ශරීර දහයක් උනත් ඇදන් 3ක පේලියට ඇතිරුවාම කොහෙද ආය හැරෙන්න ඉඩක් ඉතිරි වෙන්නේ. ඒ මදිවට හොදම සැප ලැබෙන්නේ අපි 'සංසාර ගැට්ට' කියල හදුන්නපු ඇදන් දෙකක එකතු වෙන තැන් හම්බ වෙන අයටයි. අප්පේ එකේ තිබ්බ සැප. ඒ තරම් කට්ටක් කාලත් අපි පැණි හැළියක වැටුණු කුබියෝ වගේ එතනම හිටපු එක නම් අදත් පුදුමයි. තරමක් විශාල කාමරයක සහෝදර පීඨයක ශිෂ්‍යයෝ පිරිසක් එක්ක ගෙවපු මුල් කාලේ ඔවුන් එක්ක ඒ තරම් හිත හොදක් තිබ්බේ නැතත් පස්සේ කාලයක මේ පිරිස අපේ හොදම මිතුරෝ වුනා. ටික කාලෙකින් අපි ඒ කාමරෙන් එලියට විසි වුනේ අලුතින් ආපු කණ්ඩායමකට ඉඩ දෙන්නයි. මාස දෙකක් විතර තවත් කාමරේක වෙනත් පීඨයක දෙමල සහෝදරයෝ දෙන්නෙක් එක්ක ගාල් වෙලා හිටපු අපි අයෙත් මේ කාමරේට ආවම හැමදෙනාටම තමන්ගේ කියල ඇඳක් හිමි උනා. මෙච්චර කාලයක් කැන්ටිමේ කෑම ගිල ගිල හිටපු අපිට ඔය කාලේ උයාගෙන පිහාගෙන කන්නත් අවස්ථාව ලැබුනා. ඔය උයන පිහන අතරේ එක දවසක් සිද්ද වෙච්ච සිද්දියක් අපේ කණ්ඩායමේ සගයෝ කාට කාටත් හොද හැටි මතක හිටින්න ඇති මං හිතන්නේ.
මතක හැටියට නම් මේ විභාගයකට සුදානම් වන කාලයක්. එකපාරට මතුවෙන ක්ෂණික බඩගින්නට ඒ කාලයේ අපි ක්ෂණික විසදුමක් හොයන් තිබුනා. ඒ ප්‍රීමා කොත්තු මි ක්ෂණික නුඩ්ල්ස්. ඉක්මණි හදාගන්න පුළුවන් උනාට මෙයින් එකක් අපේ එකෙක්ගේ බඩ පුරවන්න මදි. ඒකට විසදුම විදිහට අපි දෙන්නෙක් එකතු වෙලා පැකට් තුනක් හදාගෙන බෙදාගෙන කන්න පුරුදු වෙලා හිටියා.
මේ සිද්දියේ ප්‍රදාන චරිත අපේ උනන්දුවත්, උනන්දුවගේ අතිජාත මිත්‍රයා වෙච්ච මානවයත් කියන දෙන්න. සුපුරුදු විදිහට දැනිච්ච බඩගින්නට නිමාවක් දෙන්න හිතන් මේ දෙන්න එකතු වෙලා නුඩ්ල්ස් පැකට් තුනක් අරන් ආවා. නුඩ්ල්ස් හදන වැඩේ බර උනේ මානවයාට. පැකට් තුනම එකට දාල ක්ෂණිකව හදපු මානවයා ඒක පිගන් දෙකකට සමව බෙදල එකක් තමන්ට අරන් උනන්දුවට කතා කළා. උනන්දුවා දුවගෙන ආපු ගමන් තමන්ගේ කෑම පිගන දිහා බලාගෙන කෑ ගහන්න ගත්තා.
"බෑ බෑ. උබ සමානව බෙදල නෑ. මට අඩුයි."
උනන්දුවා මානවයාට විරුද්දව යුද්ද ප්‍රකාශ කළා. මේ වෙනකොට තම තමන්ගේ ඇදවල් වලට වෙලා තමන්ගේ පාඩුවේ පොතක් බල බල, දුරකතනය ඔබ ඔබ, තිබිච්ච එකම කොම්පිතරේ age of empires ගහ ගහ හිටපු අපේ සගයෝ දහයකගේ විතර ඇස් එක සැරේටම එතෙන්ට ඇදිල ගියා.
"බලපන් මේ සමානව බෙදලා නැද්ද?" 
උනන්දුවගේ පිගාන ලගින් තමන්ගේ පිගන තියපු මානවයා ඇහුවා.
"නෑ නෑ. උබේ එකේ වැඩි. මගේ එකේ අඩුයි " බැලූ බැල්මටම සමානයි කියල පෙනුනත් උනන්දුවා දිගටම කෑ ගහනවා.
"හරි දැන් මොකද්ද කරන්න ඕන."
"සමානව බෙදන්න ඕන"
"හරි මම මගේ එකෙන් උබේ එකට දාන්නම්. සමාන උනාම උබ කියපං" කියපු මානවය තමන්ගේ පිගානෙන් උනන්දුවගේ පිගානට නුඩ්ල්ස් දාන්න ගත්ත.
එක හැන්දයි
"හරිද?"
දෙකයි
"හරිද? "
තුනයි
"හරිද?"
සැහෙන්න ප්‍රමාණයක් දැම්මට පස්සේ උනන්දුවා "හරි" කිවා.
"උබට ෂුවර්ද සමානයි කියල" මානවය ඇහුවේ සෑහෙන්න වැඩිපුර පිරිලා තියෙන පිගානයි, අඩුවෙන් තියෙන පිගනයි දිහා බල බල.
"ඔව්. දැන් සමානයි." 
"හරි නේ. දෙකම සමානයි නේ. එහෙනම් උබ ඕක කාපන්, මම මේක කන්නම්." 
මානවය පිගන් දෙක මාරු කලේ උනන්දුවටත්, අපටත් උනේ මොකද්දැයි හිතා ගන්නත් කලින්.
මෙච්චර වෙලාවක්  උනන්දුවගේ මේ නාඩගම දිහා නිහඩව බලන් හිටපු ඇස් වලට පහලින් තිබ්බ කටවල් දහයකින් විතර එක සැරේට නගිච්ච හූවකින් කාමරේම පිරිලා ගියා. විනාඩි කීපයක් තිබ්බ හිනා හඩ අස්සේ උනන්දුව සද්ද නැතුව තමන්ට ඉතිරි උන අඩුවෙන් නුඩ්ල්ස් තියෙන පිඟාන අරන් පැත්තකින් වැඩි උනා. කොච්චර විලි ලැජ්ජාවක් උනත් ඉතින් ඊලග දවසෙත් නුඩ්ල්ස් පැකට් තුන බෙදාගෙන කන්නේ ඉතින් මේ දෙන්නම තමයි.
අමු කට්ට මැද්දේ, සුන්දර මතක තොගයක් ඉතිරි කරපු ජිවිතේ තවත් එක නවාතැනක් වුන හිදගලින් පස්සේ අපි පිලිවෙලින් රන්ජිතම්, නිෂ්මි ජයතිලක ශාලා වලට ගමන් කරලා එතනින් මේ අරුම පුදුම ලෝකෙට පය තිබ්බා.

1 comment:

  1. ඇත්ත තමයි අපේ ජීවිත වල ඕන තරම් රසකතා තියෙන්නේ හොස්ටල් වල තියන දේවල් එක්ක තමයි, ඒ සංකෘතිය අමුතුම ජීවයක් දෙනවා අපේ ජීවිත වලට. ඇත්තටම අපි ජීවත් වෙන්නේ මේවට පින්සිද්ද වෙන්න ඒ වගේ සුන්දර මතකයන් වලින් ලැබෙන ජීවයෙන් තමයි කැන්ටිමේ තියන බත් එකේ පොල් කුඩු සම්බෝලෙයි, තණකොල මැල්ලුමෙල් සිද්ද වෙන පෝෂණයේ අඩුව පුරවන්නේ :-)

    ReplyDelete