මේ වාලුකාවේ තනිකඩ ජීවිතය පටන් ගත්තේ මීට අවරුද්දකට විතර කලින්. හිත මිත්‍රයෝ වටකරගෙන ජිවිතේ ගෙවපු මම මෙහෙදී මගේ තනිය, දුක, සැප, බෙදා ගන්න අලුත් හිතවතෙක් මෙහෙදී හොයා ගත්තා. මං ජීවත්වෙන ගේ ඇතුලේ හිටියේ අපි දෙන්න විතරයි. කන බොන එක බෙදා ගෙන කාල, තියෙන එකම ඇඳ බෙදා හදාගෙන මගෙත් එක්ක ජිවත් උනේ මේ මිත්‍රයයි. රාජකාරි ඉවර කරලා මම එනකල් ඇඳට වෙලා හොදට නිදා ගන්න මේ සගයා මම එද්දී මාව පිළිගන්න ඉස්සරහට එන්න හිටිය එකම කෙනයි. දවල් දවසම කම්මැලි කමට ගෙට වෙලා ඉන්න මෙයාගේ රාජකාරි පටන් ගන්නේ බොහෝ වෙලාවට යන්තම් අදුර වැටුනට පස්සෙයි. මේ වෙලාවට එලියට යන මෙයා සමහර දවස් වලට ආපසු එන්නේ උදේ පාන්දරටයි. එත් මීට මාසෙකට කලින් එහෙම හවස් වරුවක එලියට ගියපු සගයා ආපහු නොආවේ කවදාවත් නොහිතපු විදිහට.
ඔව්. උඩ පින්තුරේ ඉන්නේ මගේ ඒ හිතවතා තමයි. පුසෙක්. මීට කලින් කිසිම දවසක පුසන්ට ඇලුම් නොකරපු මාව සසල කරපු මගේ හිත මිත්‍රයා උනේ ඔය පුසා තමයි. මම මේ නුහුරු රටේ තනි වෙලා මාසෙකට විතර පස්සේ හරිම පුංචි කෙසග පුස් පැටියෙක් වෙච්ච මෙයාව මම මගේ කාමරේට අරන් ආවේ තනියට හිත මිත්‍රයෙක් ඕන කියල දැනුනු නිසා. සුනකයන්ට කැමති කෙනෙක් උනත් මම කවදත් පූසන්ට කැමැත්තක් තිබ්බේ නැත්තේ ස්වභාවයෙන්ම පුසන්ට උරුම වෙච්ච ආඩම්බරකාර, අර්ධ වල් (semi-wild) ගති ලක්ෂණ නිසයි. ඒආඩම්බරකම මගේ
යෙලෝ ෆෙලෝටත් බින්දුවක්වත් අඩු නොවී පිහිටලා තිබ්බා. ඉදල හිටලා කොහෙන් හරි අල්ලාගෙන එන මී පැටියෙක්, කුරුල්ලෙක් නිසා අර්ධ වල් ස්වභාවයත් හොදට පෙන්නුම් කළා.
පුංචි පැටියෙක් විදිහට මගේ නවාතැනට ආපු යෙලෝ මගේ තනිකම මැකුවා විතරක් නෙමෙයි වට පිටාවේ ඉන්න හැමෝගෙම හිතවතෙකුත් උනා ටික කලෙකින්ම. එත් හදිස්සියේම අතුරුදහන් උන මේ හිත මිතුරාගේ අඩුව මට තදින්ම මට දැනෙන්න ගත්තේ හිතා ගන්නවත් බැරි විදිහටයි. මුල් දවසේ බයක් නොදැනුනේ සාමාන්‍යයෙන් ප්‍රජනන කාලයේදී පුසන් මේ විදිහට දවස් දෙකක් තුනක් අතුරුදහන් වෙලා ඉන්න එක සාමාන්‍ය දෙයක් නිසයි. එත් දෙවන දවසේ ඉදන් මුළු ගොවිපලෙත්, අවටත් සෝදිසි කරලා බැලුවත්
යෙලෝ ගැන කිසි තොරතුරක් අද වන තුරුත් හොයා ගන්න නෑ.
අව්රුද්දක වගේ කෙටි කාලයක් මගේ ලග හිටපු මේ මිතුරා අතුරුදහන් වෙලා මේ වෙනකොට මාසයක් ඉක්ම ගිහිල්ල. හිතා ගන්නවත් බැරි විදිහට අතුරුදහන් උන
යෙලෝආපහු එයි කියන බලාපොරොත්තුව දැන් මගේ හිතින් නැති වෙලා ගියාට ඒ අඩුව නම් තවමත් මට හොදින් දැනෙනවා. කැමරාව අරන් මම වටපිටාවේ පින්තුර අල්ලන වෙලාවට සමනල්ලුන්ට කුරුමානම් අල්ලන ගමන් මගේ තනියට රැදෙන මිතුරාගේ අඩුව දැනෙනවා. උයන පිහන වෙලාවට ලගටම වෙලා ඉන්න, මස් මාළු උයන දවසට පිස්සුවෙන් වගේ කෑ ගහන මිතුරාගේ අඩුව දැනෙනවා.
නොහිතපු විදිහට මගේ හිත සසල කරපු ඒ මිතුර වෙනුයි මේ පුංචි සටහන සහ පින්තුර මතක එකතුව
 |
පුංචිම දවස්වල |
 |
මම අරන් ආව කැහැටු පූස් පැටියා |
 |
අයියා බරටම වැඩ |
 |
මේ කටුස්සව අල්ල ගන්න පුළුවන් නම් දවල් කෑමට |
 |
කොච්චර නිදා ගත්තත් නිදිමත අඩුවක් නෑ අප්පා |
 |
යෙලෝ ද අවුල් |
 |
පින්තුර ඇල්ලිල්ල අතර තුර |