Tuesday, July 22, 2014

රාත්‍රී දෝහා නගරය | DOHA NIGHT LIGHTS, SOUQ WAQIF

ප්‍රසිද්ධ දෝහා නගරයෙන් ඈත කාන්තාරයේ තියෙන ගොවිපලක රැකියාව කරන බවත්, දෝහා නගරයට යන්නේ එන්නේ ඉදල හිටලා බවත් මං කලින් සටහනකදී කිවා නේ. ඒ නිසාම මේ නගරයේ ගත්ත පින්තුර හරිම අඩුවෙන් තමයි මගේ පින්තුර එකතුවේ තියෙන්නේ. 
රාමදාන් උපවාස කාලය පටන් ගත්තු මුල්ම දිනේ ඉක්මනට දවසේ රාජකාරි ඉවර කරලා ඉර බැහැගෙන යන වෙලාවේ අපි දෝහා නගරයට ඇතුළු උනේ පින්තුර කීපයක් එකතු කර ගන්න බලගෙනමයි. රාමදාන් නිසාම වෙනදා වාහන පිරිලා උතුරලා යන පාරවල් හිස් වෙලා තිබුනා. නගරය සාමකාමී වෙලා තිබුනා. ඉතින් අපි කිසි කරදරයක් නැතුව බලාපොරොත්තු වෙච්ච පින්තුර කීපය එකතු කර ගත්තා. මේවත් මගේ ප්‍රියතම මන්දගාමී ද්වාර පින්තුර (Slow shutter) ටිකක්. නිවී සැනසිල්ලේ පින්තුර ටික අරන් එතනින් පිටත් වෙලා ඊළගට අපේ සමාගමේ ප්‍රධාන කාර්යාලයට ගියේ තවත් වැදගත් වැඩකට. මගේ නිවාඩු ඉල්ලුම් පත්‍රය භාර දෙන්න. ඒ වැඩේ ඉවර උනාට හිතට ලොකු සැනසීමක් දැනුනට මොකෝ එතනින් පස්සේ වෙච්ච අකරතැබ්බි නම් හතුරෙකුටවත් වෙන්න එපා කියලයි මං ප්‍රර්ථනා කරන්නේ. පින්තුර ටිකට අමතරව ඔන්න ඔහේ ඒ වෙච්ච සිද්ධි ටිකත් කොටලා දාන්නම්කො.
කාර්යාලයෙන් පිටත් වෙලා අපි හෙමිහිට සුපිරි වෙළදසැලකට ගොඩ උනා. ඔය අතරේ තමයි පණිවිඩයක් ආවේ ගොවිපලට ගෙනියන්න තියෙන බෙහෙත් වගයක් අරන් යන්න එන්න කියලා. ඉතින් බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ රස්තියාදුවකට මැදි වෙලා ආපහු ගොවිපලට ලගා වෙද්දී මධ්‍යම රාත්‍රියත් පහු උනා. අනේ ඉතිං හෙමිහිට බදු මුට්ටු ටික අහුරලා එහෙම නිදා ගන්නකොට වෙලාව පාන්දර එකයි. යන්තම් ඇස් දෙක පියවෙනකොටම ෆෝන් කට්ට සල බලාන් ගාල වැදුනා. "ඩොක්ටර්. ඒක් ගයි කො මුශ්කිල් හේ" මං භාරව ඉන්න අපේ අලුත් ගොවිපලේ මුරකාර කොලුවා. වැස්සියෙකුට පැටියා ලැබෙන්න අමාරු වෙලා. නිදි මතයි කියලා නිකන් ඉන්නයෑ. ඉතින් පාන්දර දෙකට මං නැගිටලා ගියා. මුර කාර කොලුත් එක්ක එකතු වෙලා වැස්සිත් එක්ක ඔට්ටු වෙලා යන්තම් පැටියා එලියට අරන් ඔක්කොම වැඩ ඉවර කරලා ආයෙත් ඇවිත් ඇල වෙද්දී පාන්දර 3.15යි. හම්මේ සනීපෙ. 
යන්තම් ඇහැ පියවේගෙන එද්දී ආයෙත් ෆෝන් එක අඩනවා. "ඩොක්ටර්. තව සතෙක්ට අමාරුයි" හත් වලාමේ.. සෑ නම් සෑ එදා සෑ කිවලු. වෙන ඉතින් කරන්න දෙයක් නෑ නේ. ආයෙමත් 4.30 ට ගිහින් පැටියව එලියට අරං එද්දී පාන්දර පහ හමාරයි. ඉක්මනින් ඇදට වැටිලා දවසම නිදා ගන්න හිතුවට මොකද හත වෙද්දී ආයෙමත් ගොවිපලට යන්න උනා ආයෙත්. කලින් දවසේ ගෙනාව බෙහෙත් ඔක්කොම මගේ වාහනේ නේ. යන්තම් 10 වෙද්දී වැඩ ඉවර කරලා ඇවිත් එක හුස්මට පැය ගානක් නිදාගෙන තමයි යන්තම් නිදිමතයි, ඇඟේ අමාරුවයි ඇර ගත්තේ. 
කතාවෙන් කතාවෙන් පින්තුර ටික අමතක උනා නේ. ඔන්න බලන්න දෝහා නගරයේ රාත්‍රී පින්තුර. 
FOREVER UNDER CONSTRUCTIONS

දෝහා කොර්නිච් ඉදන් පෙනෙන අහස සුරන මැඳුරු 

ටිකක් ලං කරලා ගත්ත එකක් 

මේ එමිර්වරයාගේ කාර්යාලයයි මං දන්නා විදිහට නම්

මෙන්න මෙතෙන්ට කියන්නේ කොර්නිච් කියලා 


පර්සියන් බොක්කේ බෝට්ටු

DOW බෝට්ටු. කතාර් වල අතීත සංස්කෘතියේ සංඛේතයක් ලු. 

ඉස්ලාමිය කලා කෞතුකාගාරය - පේනවද බුර්කාවකින් සැරසිච්ච ගැහැණු ඔලුවක්? 

මෙතනින් පහල තියෙන්න පින්තුර වෙන දවසක එකතු කර ගත්ත ඒවා ටිකක්. වෙන වැඩකට ගිය අතරේ දෝහා නගරයේ සුප්‍රසිද්ධ පැරණි වෙළද සංකීරණය වෙච්ච SOUQ WAQIF එකට ගොඩ උනා. හැබැයි එදා අතේ තිබුනේ ජංගම දුරකතනයේ කැමරාව විතරයි. මේ එකේදී ගත්තුවා ටිකක් 
fanar ජංගමයෙන් 


එලිය විහිදුවන බිම්මල් 


පට්ට OWL

විකිනෙන ජිවිත. 



AFRICAN GRAY macaw මෙයාලා හරි ගණන්. උඩ පින්තුරෙත් ඉන්නේ මෙයාම තමයි.
Souq Waqif එකෙත් දෝහා නගරයේත් පින්තුර ටිකක් ගන්න වෙනම වැඩක් විදිහට දාගෙන හිටියත් ගෙදර යන්න ලෑස්ති වෙන මේ දවස්වල ඒකට වෙලාවක් නෑ. පල කරන්නේ මොකද්ද කියල හිත හිත ඉද්දි තමයි මේ පින්තුර ටික දැක්කේ. ගෙදර ගිහින් අවට පස්සේ මිට වඩා ගොඩක් පින්තුර තියෙන පොස්ට් එකක් දාන්නම්. එතෙක් හැමදෙනාටම අබ සරණයි. 


7 comments:

  1. මාතලන් අයියගේ සින්ඩියෙන් තමා මේ පැත්තට පාර හොයාගත්තෙ.. මං කැමතිම වර්ගයෙ බ්ලොග් එකක්..
    පින්තූර ටිකනං සුපිරියි..

    ReplyDelete
  2. දෙවනියට තිබ්බ ෆොටෝ එකට මම වැඩියෙන් කැමතියි.. මැකෝලගේ ෆොටෝ ටිකත් එල...

    ReplyDelete
  3. පට්ට පිංතූර සෙට් එක
    ජයවේවා

    ReplyDelete
  4. කොර්නිව් ලස්සන පොට් එකක් වගේ

    ReplyDelete
  5. අවුරුදු දොළහකට කලින් අපි උන්නු කාලෙ ඔය කෝනිච් එකේ දෝහ පැත්තෙ ඉඳන් දෆ්න පැත්ත බැලුවම ලස්සනටම පෙනුනෙ ෂෙරටන් එක විතරයි. ඒත් දැන්! කාලය මැව් වෙනසක අරුමේ.

    බොහොම සුන්දර පින්තූර ටිකක්.

    ReplyDelete
  6. අදත් හරිම ලස්සන පිංතූර ටිකක්. අනේ මංද, දෝහා වලට රැයක්නම් ඇත්තෙම නෑ. රෑත් දවල් වගේ.

    ReplyDelete
  7. පට්ට ලස්සන්යි බොලේ

    ReplyDelete