Wednesday, July 30, 2014

ඔබ ආයෙමත් ඇවිදින් |මතක සුවද දිගේ 2


පළවෙනි කොටස මෙතනින් 

රජරට ඉදන් ඇවිත් හන්තාන පාමුල මං නවාතැන් ගෙන හිටපු හිල්ඩා ශාලාවෙන් හුවක විතර දුරකින් තිබ්බ රාමනාදන් ශාලාවේ එයා හිටියත් අපේ සබදතාව අනන්ත දුරකින් ඈතට ගියා. මුණ ගැහුණු අවස්ථා වලදි මග හැරලා ගිය බව මං පහුගිය ලිපියේ සටහන් කලා නේ. ඒත් වේදනාවෙන් තිබුණු මගේ හිතට නිවනක් දෙන්න එයාගෙ සූදානමක් තිබුනෙ නෑ.
විශ්වවිද්‍යාල ජිවිතේ මාස කිහිපයක් ගෙවිල ගියාට පස්සේ එක දවසක් මං  හිල්ඩා එකේ ඉදන් කිස් බෙන්ඩ් එක, පොලොන්නරුව, ගෙම්බා කැන්ටිම පහුකරන් WUS එකට යමින් හිටියේ සාහිත්‍ය උළෙලේ මොකක් හරි වැඩකට. 

"මද්දු"
පිටිපස්සෙන් ඇහුනු ආමන්ත්‍රණයෙන් මට කතා කරන්න එයා හැර වෙන කෙනෙක් සරසවියේ ඉන්න බෑ. ඔව්. පිටිපස්ස හැරිලා බලපු මං දැක්කේ ඒ දීප්තිමත් ඇස් දෙක තමයි.

"ආ.. කොහොමද?" 

"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා."

දෙවියනේ මෙයා කියන්න යන්නේ පහුගිය දවස් ටිකේ එහෙන් මෙහෙන් ආරංචි වෙච්ච කතාව ඇත්ත කියල වෙන්න ඇති. 

"කියන්න... මොකද්ද? "

"කෙනෙක් අපේ ගෙදරට මං ගැන යෝජනාවක් ගෙනාව. මම ඒ අයියට කැමති උනා." 

"හ්ම්.. මට ආරංචි උනා"   

වැඩි විස්තර ඇහිමේ උවමනාවක් මට තිබුනේ නෑ. 

එයාම අවුලපු ගින්නකින් මගේ හිත පිච්චේද්දී මගේ දුරකථන අංකය එයා ජංගම දුරකතනයට ඔබා ගත්ත බවක් මට යන්තමට වගේ මතකයි. 

විශ්වාස කරන්න බැරි මේ කතාවත් එක්කම පරණ තුවාලයක් ආයෙමත් අලුත් උනා. ඇත්තටම මට මේක විශ්වාස කරන්න බෑ. එයා මේ තරම් හදිස්සියකින් මෙහෙම තීරණයක් ගන්න හේතුව මොකක්ද කියලා නිශ්චය කරන්න මගේ තැළුණු-පෙළුණු හිතට හැකියාවක් තිබ්බේ නෑ. ඒත්, එයා මේ තීරණය ගන්න ඇත්තේ ඇත්තටම මේ තුන්වැන්නා ගැන තියෙන කැමැත්තකට වඩා වෙන මොකක් හෝ හේතුවකට කියලා මං විශ්වාස කළා. 

ආයෙමත් හිත් වේදනාවෙන් පිරිච්ච  මාස කීපයක්. ඊට පස්සේ ආයේ අපි මුණ ගැහුනේ නෑ. හිතේ ඉතිරි වෙලා තිබුණු පුංචිම පුංචි බලාපොරොත්තුවේ ආලෝකයත් එයා නිවලා දැම්ම. මේ මතකයන් එක්ක තවත් ජිවත් වෙන්න අමාරුයි.ඒ නිසා ඒවා අමතක කරන්න විදිහක් මං හොයන්න ඕන. ඉස්සරහට යන්න බැරිව එකතැන් වෙලා තියෙන මගේ ජිවිතේ අඩියක් ඉස්සරහට තියන්න මං තීරණය කළා. එයාට ඔය තරම් ඉක්මණින් කෙනෙක්ට කැමති වෙන්න පුළුවන් නම් මට බැරි වෙන එකක් නෑ. එකක් සැරේටම මං තීරණය කළා වෙන ගෑනු ළමයෙක් හොයා ගන්න. ඒත් කවුද?

බැච් එකේ මට හිතවත් ගෑනු ළමයි අතරින් මං කැමති එක බැචියක් ගැන හිතන්න මං තීරණය කළා. ඒ වෙනකොටත් ඇය අනිත් බැචියන්ට වඩා මාත් එක්ක ටිකක් හිතවත් කෙනෙක්. ඉතිං මං එයා ගැන හිතන්න කලින් ආයෙමත් හිතුවා. ඇත්තටම මං එයාට කැමතිද? එයාට ආදරේ කරන්න මට පුළුවන් වෙයිද? ඇත්තම ආදරයක් නැතුව කෙල්ලෙක් යාළු කර ගන්න එක සාධාරණද? වැරදිලාවත් මගේ හිත ඇත්තටම දිනා ගත්ත කැලෑ මල ආයෙත් ආවොත් මොනවා වෙයිද? මං හිතුවා. මොන දේ උනත් මගෙන් ඈත් වෙච්ච එයා ගැන පුංචි බලාපොරොත්තු බිදක් තවම ඉතිරි වෙලා තියෙන බවත්, කොයිම විදිහකින් හරි එයා ළඟට යන්න ඉඩක් ලැබුනොත් මං එක පයින් යන බවත් ඒ කල්පනා ලෝකෙදි මට තේරුණා. ඉතිං, මේ බොරු නාඩගමකින් මගේ හිත රවට්ටන ගමන්, තවත් කෙල්ලෙකුට අසාධාරණයක් කරන්න මගේ හිත කැමති උනේ නෑ. ඉතිං, ඒ සිතුවිල්ල, සිතුවිල්ලක් විදිහටම මලගම් ගියා. ඒත්, දෛවයේ සරදමකට වගේ පසු කාලෙක මේ බැචි ආයෙමත් මගේ හිත ව්‍යාකුල කළා. ඒ ගැන වෙනම සටහනක් ලියන්න ඕන. කොහොමහරි සිතුවිලි සංග්‍රාමය අවසානයේදී ආයෙමත් මං පරණ තැනටම වැටුනා. 

ආයෙමත් ආයෙමත් මාස කිහිපයකට පස්සේ දෙසැම්බර් මාසේ දවසක්. මහ රෑ මගේ ජංගම දුරකතයට කෙටි පනිවිඩයක් ආවා. 
"සුබ උපන්දිනයක් !" 
එදා wus එක ලගදි එයා මගෙන් ඉල්ල ගත්ත දුරකථන අංකය පාවිච්චි කරන්න හිතිලා.
"අක්ක දෙසැම්බර් නිවඩුවට ගෙදර එනව කිව්වා. ඔයත් ඇවිත් යන්න එන්න. අක්ක බලන් ඉන්නෙ ඔයාව දකින්න" 
පනිවිඩේ ඉතුරු ටික මාව පුදුම කලා. එයාගේ අක්කා මට තමන්ගෙ මල්ලිට වගේ සලකන කෙනෙක්. දෙසැම්බර් මාසේ  එයාලගෙ ගෙදර ඇවිත් යන්න කියලා අක්ක දෙතුන් සැරයක්ම මට කිවත් මං ඒක ප්‍රතික්ෂේප කරපු නිසා වෙන්න ඕන අක්ක මෙයා හරහා මේ පනිවිඩයක් එවන්නේ. ඊට සති දෙකකට විතර පස්සෙ විශ්වවිද්‍යාලයේ නිවාඩුවට මං ගෙදර ගියා. අක්කා නෙමෙයි කවුරු ආවත් ඒ පැත්ත පලාතේ යන්නෙ නෑ කියන දැඩි තීරණයකයි මං ඒ වෙනකොට හිටියේ. ඒත් කවදත් අකීකරු හිත අවසාන මොහොතෙදි මට බල කලා එයාලගෙ ගෙදර ගිහිල්ල එන්න යන්න කියලා. ඉතිං අන්තිමේ මං ඒ ගමට ආයෙමත් ගියා. ඒ ගෙදර හැම දෙනාම සුපුරුදු විදිහට මට සැලකුවත් එයා විතරක් වෙනස්. 

හැබැයි ඒ ගමන ආයෙමත් මට පුංචි බලාපොරොත්තුවක් ගෙනාවා. ඒ දවස් වලදිම එයා අර කලින් කැමති උනා කියපු යෝජනාවකින් මුන ගැහුනු මනුස්සයට අකමැත්ත ප්‍රකාශ කරලා තිබුනා. මේ නිසාම දෙපාර්ශවයෙන්ම එයා හොද හැටි බැනුම් අහපු බවකුත් මට දැන ගන්න ලැබුනා. ජිවිතේ මේ තරම් වැදගත් දෙයක් ගැන එයා මේ හිතුවක්කාරී තිරණ ගත්ත විදිහ ගැන මට පුදුම හිතුනා. එයා මේ යොජනාවට කැමති උනේ මට රිද්දන්න හරි, මාව ඈත් කරන්න හරි තිබ්බ උවමනාවටදෝ කියන සිතුවිල්ලක් මේ එක්කම ඇති උනා. කොහොමින් කොහොම හරි පුංචි පිදුරු ගහක හරි එල්ලෙන්න බලන් ඉදපු මං ආයෙමත් පුංචි බලාපොරොත්තුවක් ඇති කර ගත්තා. ඒත් ප්‍රේමය ඉල්ලගෙන එයා පස්සෙන් ගිහින් කරදර කරන්න නම් මට හිතුනෙ නෑ. ඒ වෙනුවට කාලයට ඉඩ දීලා මගේ ඒක පාර්ශවීය ප්‍රේමයට නිදහසේ ගලා යන්න ඉඩ ඇරලා බලන් ඉන්න මං තීරනය කලා. 

"අන්න මචං අර කෙල්ල අපේ ෆැකල්ටියේ කොල්ලෙක් එක්ක පොලොන්නරුවෙ මල් කඩ කඩ හිටියා"  
එයාගෙ ප්‍රේමය බලාපොරොත්තුවෙන් එයාගෙ බැචෙක් එන බව මං දැනන් හිටපු ඒ දවස් වල මට ඔය වගේ ආරංචි කීප සැරයක් ආවත් ඒ ගැන මං වැඩිය ගනන් ගත්තෙ නෑ. එයා සරසවියෙදි කිසිම විදිහකින් වෙන ප්‍රේම සම්බන්ධයක් ඇති කර නොගනී කියන විශ්වාසයක් ඒ වෙද්දි මගේ හිතේ ඇති වෙලා තිබුනා. එත් හිටි හැටියේ එක දවසක් හවස්වරුවේ  එයා ඔය කියන බැචා එක්ක දොඩමළු වෙවී රාමනාදන් එක පැත්තට ඇදෙනවා දැක්ක මොහොතේ  මගේ හිත මේ විශ්වාසයට අභියෝග කලා. මගේ හිත ටිකක් හෙල්ලුනු බව දැනගෙනද මන්දා,  මොකද්දෝ හේතුවකට එයා පලමු වසර විභාගය ඉවර වෙලා ගෙදර යන්න කලින් දවසේ රාමනාදන් ශාලාව ලඟදි මට මුණගැහෙන්න අවස්ථාවක් දුන්නා. වෙනදා වගේ ලෙන්ගතු කමින් නැතත් ගලාගෙන ගිය දොඩමළුව අතරේ මේ කියන කොල්ලා එයාගෙ පස්සෙන් ඇවිත් කරදර කරන බවත්, එයා ඒකට කැමති නැති බවත් කියන්න ඉඩක් එයා හොයා ගත්තා. 

එයාගේ සරසවි ජීවිතේ ඉතිරි වසර තුනත් ලොකු වෙනසක් නැතිව හෙමිහිට ගලාගෙන ගියා. ඒක පාර්ශවීය ප්‍රේමයත් දරාගෙන මගේ හිතත් මේ අවුරුදු හතර ගෙවපු හැටි මටමම පුදුමයි. මේ කාලේ ඇතුලත සමීප හිතවත් කමින් ඇසුරු කරපු හිතවතියෝ කිහිපදෙනෙක් හිටියත්, කිසි කෙනෙක් ගැන මිතුරු කමට එහා සබදකමක් ඇති කර ගන්න මගේ හිත ඉඩක් දුන්නේ නෑ. බොහෝ වෙලාවට සංසුන්ව තිබ්බ හිත, ඉදලා හිටලා එයා මතු වෙලා අවුල් කරපු අවස්තා නම් බොහෝමයක් තිබුනා. ඉස්සර තිබුනු ලෙන්ගතු කම නැතුව උනත්, මගෙත් එක්ක තිබ්බ සබදකම එයා සජීවීව තියා ගත්තා. එයා ලග දුරකතනයක් නොතිබුන ඒ කාලේ සති දෙකකට සැරයක් විතර රාමනාදන් ශාලාවේ දුරකථන පෙට්ටියට  පහේ කාසියක් ඔබලා මට කතා කරන්න විනාඩි කීපයක ඉඩක් එයා හොයා ගත්තා. බොහොම පරිස්සමින් මාව ඇසුරු කරපු එයා, බොහෝ වෙලාවට අවධානයෙන් ඉදිරියට යන්න කියන කහ එලිය දැල්වුවත්, හිටි හැටියේ රතු එලි දල්වලා මාව ව්‍යාකූල කලා. හැබැයි එයා කිසිම දවසක මට අලුත් බලාපොරොත්තු ඇති වෙන විදිහේ කොළ එළියක් නම් දැල්වුවේ නෑ මට. මේ අවුරුදු කිපයටම එක වරක් හෝ දෙවරක් අහම්බෙන් වගේ නුවර ඉදන් රජරටට ඉගිලෙන බස් එකක එයා එක්ක යන්න අවස්තාවක් ලැබුනා. ඒත් බොහෝ වෙලාවට එහෙම අවස්ථාවක් ලැබෙන්න තියෙන ඉඩ කඩ අහුරලා දාන්න එයා හොද හැටි දැනන් හිටියා. දැන දැනම මඟහැරපු ඒ වගේ අවස්ථාවල මගේ හිත බිදුනත් හිටි හැටියෙම කොහෙන් හරි මතුවෙලා ආයෙත් ඒ හිත හදාගන්න විදිහක් එයා හොයල දුන්නා. ඔය අතරේ තෙවෙනි වසරෙ අන්තිමේදි වගේ ප්‍රථම වතාවට මං එයා මුන ගැහිලා කැමැත්ත ඉල්ලා සිටියා. ඒත් රාමනාදන් ශාලාවේ ඉදන් මට ආපහු එන්න උනේ හිස් අතින්මයි. ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්න එයා අකමැති බවත්, එයා වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන තවත් ඉන්න එපා කියන එකයි එයාගෙ පිලිතුර උනේ. එයා වචනෙන් කීව දේ සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න මං කැමති උනේ නෑ. මොහොතකට සසල වෙලා ගියත් ටික දවසකි හිත අයෙමත් පරන තැනටම ආවා. 

එයා සරසවියේ වසර හතර තනිකඩව අවසන් කරද්දි අහම්බයක් නොවන වන විදිහට මුන ගැහිලා තිබුනේ හතර පස් වතාවක් විතරයි. අවුරුද්දක් ගානේ සරසවිය හැඩවෙච්ච රොබරෝසියා වසන්ත වලදී මගේ හිත එයාගේ කුඩේ යටින් ඇවිදන් ගියත්, ඇත්ත ලෝකෙදි මටවත් වෙන කෙනෙක්ටවත් ඒ වාසනාව ලැබුනේ නෑ. සරසවියෙදි අපි වඩාත්ම රසවත් වෙච්ච සරත්චන්ද්‍ර වලේ දි ඉදහිට මට ඒ ඇස් මුන ගැහුනත් ඒවා රැදුනේ ප්‍රේක්ෂකාගරයේ වෙනත් කෙලවරකයි. සැහැල්ලුවෙන්, ප්‍රිතියෙන් මිතුරන් අතරේ ගෙවිච්ච් සරසවි දිවියේ  මතක අතරේ, එයත් මාත් හිටියෙ ලෝක දෙකකයි. සරසවි දිවියේ කෙලවරට ලගා වෙද්දි, තරුන ජීවිතේ වැදගත්ම කොටසක් සැහැලුවෙන් සුන්දර බිමක ගෙවන්න ලැබිච්ච ඒ ඉඩකඩ තනිකඩව ගෙවලා දාපු අපි දෙන්න වෙනුවෙන්ම මගේ හිතේ කනගාටුවක් ඇති උනා. අවසානයට ආයෙමත් සමුගැනීමක්. වසර හතරක උපාධියක් උනත් අපේ පාඨමාලාව ටිකක් දිගට ඇදෙන නිසා, මට මාස හත අටකට කලින් මේ ගැහැනු දැරිවි සරසවියෙන් මිදිලා සැඩ සුළං පිරිච්ච ජීවිතේට ඉගිලුනා. 

නෑ. ඒ තරම් ලේසියෙන් එයාට මේ සැරේ සමු ගන්න දෙන්න බෑ. සරසවියෙන් පිටත්වෙන්න දවස් කීපයකට කලින්  එයාගේ උපන්දිනය එළබුනා. ඒ වෙනුවෙන් පුංචි තෑග්ගක් මිලදී ගත්ත මං එයාව මුණ ගැහෙන්න අවස්ථාවක් ඉල්ලුවේ ඒක එයාට දෙන්න. ඒ විතරක් නෙමෙයි එයාගේ ජීවිතේට ඇතුල් වෙන්න මට ඉඩක් දෙන්නවද නැද්ද කියන තීරණයත් එදාට නිශ්චිතවම ලබා දෙන්න කියන ඉල්ලීමත් මං ඉදිරිපත් කලා. මේ අවසාන වතාවයි. සරසවියෙන් පිට වෙද්දිවත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනෙ නැත්නම් තවත් බලාපොරොත්තු එකතුකරන් ඉන්නෙ නැතුව එයාට මගේ ජිවිතෙන් යන්න දෙන්නමයි මං තීරනය කලේ. ඒත්, එයාගේ ප්‍රතිචාරය මගේ හිත මොහොතකට එලියක් අරන් ආවා. මාව පුදුමයට පත් කරමින් එක සැරේටම එයා උපන්දිනය දවසේ උදේ මාව මුණගැහෙන්න එන්න කැමති උනා. ඒත් එදා උදේ එක සැරේටම එයාගෙන් ආපු කෙටි පනිවිඩයෙන් කියවුනේ මුණගැහෙන්න එන්න බැරි වෙන බවයි. යන්තම් බලාපොරොත්තුවක් මතු වෙන්න හදද්දිම ඒක පාගලා දැම්මා වගෙයි මට දැනුනේ. ඒත් ඊලග දවසේ දවල් රාමනාදන් ශාලාවෙදි අපි හමු උනා. පොදු කාමරේ පුටු දෙකකට වෙලා අපි සෑහෙන වෙලා කතා කලා. මං මගේ ඉල්ලීම කරලයි තියෙන්නේ.ඒත් එයාට ඒක මතකවත් නැති ගානයි. අවසානයේදි ආයෙමත් ඒ ප්‍රශ්නෙම අහන්න මං සූදානම් වෙද්දිම, එයා ඉස්සර වෙලා එයාගේ පිළිතුර ලබා දුන්නා. රාමනාදන් එකේ ඉදන් ආපහු ෆැකල්ටියට ආපු හැටිවත් මට මතකයක් තිබුනෙ නෑ. පීඨයේ බයික් කට්ට නවත්තලා බැහැපු මගේ මූන දැක්ක මගේ බැචියක් වෙච්ච ලීනියා අහපු ප්‍රශ්නෙ නිසයි මං පියවි ලෝකෙට ආවේ. 

"වීරෙ මොකද ඔච්චර සතුටෙන්. ගෑනු ළමයා කැමතී කියලවත් කීවද? 

"ඔව් නේ බං" 

ඔව්. ඔව්. එයා කැමතී කියලා තමයි කීවේ. මුල් හමුවීමෙන් අවුරුදු හතකට පස්සේ, එකම සරසවියෙ අවුරුදු හතරක් ගෙව්වටත් පස්සෙ අන්තිමේ එයා කැමැත්ත ප්‍රකාශ කලා. වෙලාවකට මට හිතා ගන්නත් බෑ. මෙච්චර කාලයක් ලගපාත හිටියත් හිතින් ඈත හිටපු එයා, සරසවි ජිවිතේට සමු දීලා ඈතට ඉගිලෙන්න හදන මොහොතේ එයා හිත මගේ ලග තියලා යන බව කිවා. මේ එක සැරේටම වුනු වෙනසක් නොවන බව මට හිතුණා. ඒ ගැන අතුරු ප්‍රශ්න ගනනාවක් එක සැරේ පැන නැංගත් හිතට දැනිච්ච හැගීම අතරේ ඒ ප්‍රශ්න නිකම්ම දියවෙලා ගියා වගේ. අවුරුදු කීපයකට කලින් මාව දාලම ගියා කියල හිතුව කෙනා එක සැරේම මෙන්න මගේ ලගටම ඇවිත්. 


ඔබ ආයෙමත් ඇවිදින් 
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් 

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණිද මොන තරම් 
නුබ නොදැක් සිටි දිගු කාලයේ 
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්.....

දෑස අග මල් පිපී සැලුනත් කොයි තරම් 
එක මලක්වත් සුවද නැති විය ඔබ තරම් 
නුබ නොදක සිටි ඒ කාලයේ
නෙත කදුළු මැකුනා විතරමයි 
ඔබ ආයෙමත් ඇවිදින්........


 ඒ මුන ගැහීමෙන් දවස් කීපයකට පස්සෙ එයා සරසවියෙන් ගියා. රජරටට තමයි. හැබැයි පාසැල ගමන ඉවර කරලා ගියා වගේම එයා සරසවි ගමන ඉවර උන ගමන්ම ගිහින් නතර උනෙත් ඇගලුම් කම්හලක.

"අම්මා ආයෙත් ෆාම් එකේ වැඩට යන්න හදනවා. මට බලං ඉන්න බෑ නේ" 
ඒ එයාගෙ හේතුව.  

කලින් කොටසේ වගේ කනගාටුදයක් නොවුනත් මේ අවසානය සෑහෙන ගැටලු ගොඩක් තියෙන එකක් තමයි. මං හිතන්නේ කාලෙකට කලින් මං ලියපු මේ ලිපියෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. 

ඒත්, මේ කතාව එතනින් ඉවර උනෙත් නෑ. 

පින්තුරය - https://www.facebook.com/media/set/?set=a.236857103134566.1073741828.215897228563887&type=1
ප.ලි. - දෙවෙනි කොටස ලියුවොත් පලවෙනි කොටසේ රහ නැති වේවි කියල මේ කොටස ලියල පල කරන එකට මගේ මිතුරියක් සැහෙන්න විරුද්ධත්වය පල කළා. ඇත්ත තමයි. විරහ වේදනාවෙන් ඉවර වෙච්ච පලවෙනි කොටසේ රසය මේකෙන් නැති උනා තමයි. එත්, මේක ප්‍රබන්ධ කතාවක් නොවන නිසා ඉතිරිය නොලිය ඉන්න එක කියවන අයට කරන අසාධාරණයක් කියලයි මං හිතුවේ.

No comments:

Post a Comment