Tuesday, May 27, 2014

ගිම්හනයත් ඇවිත්



හිතා ගන්නත් බැරි තරම් ඉක්මනින් ගිම්හානය ඇවිත්. ගිය අවුරුද්දෙ ජුලි මාසෙදි උෂ්නත්වය නැග්ග තරම්ම අද වෙද්දි උෂ්නත්වෙ නැගලා. සාමානයයෙන් ඉවස ගන්න බැරි තරම් රස්නෙ එන ජුලි, අගෝස්තු මාස දෙකෙන් එකක් මග ඇරල ලංකාවට පැනල යන්නයි මං හිතන් හිටියේ. ඒත්, මගේ සැලසුම දැනගෙනද කොහෙද ඉර මෙදා සැරේ මැයි මාසෙ ඉදලම අපට බැට දෙන්න පටන් අරන්. ඊයේ සෙල්සියස් අංශක 46 තිබ්බ රස්නෙ අද 42ට අඩු වෙනවය කියල අනාවැකි කියල තිබුනත්, හවස වැඩට යන්න ලෑස්ති වෙලා වාහනේට නැග්ගමයි තරු පෙනුනේ. අදත් 46යි. ඒ මදිවට ගොවිපලට ගිහින් බැලුවම දුර්වල සහ අසනීප වහු පැටව් එක එකා වැටෙන්න පටන් අරන්. හොදට ඉන්න සත්තුත් එක සැරේටම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ගිනි ගහන අව් කාෂ්ටකේ මදිවට මට වැඩත් වැඩි වෙන්නයි යන්නෙ. 

ගිය සැරේ නම් වුනේ සම්පූර්නයෙන් මේකෙ අනිත් පැත්ත. අප්‍රේල් අග වෙද්දි අලුත් පැටව් එන එක නතර උනා. රස්නෙ වැඩි වෙන කාලෙ වෙද්දි ඔක්කොම සත්තු සෑහෙන්න ලොකු වෙලා හිටිය නිසා කිසි ප්‍රශ්නයක් ඇති උනෙත් නෑ. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බලන්න විතරමයි තිබුනේ. හවස් වරුවෙ කාමරෙන් එලියට බැහැල ගොවිපලේ හිටපු පැය දෙකට ඔලුවෙ කැක්කුමකුත් හදාගෙනයි මං ආයෙත් ආවේ. 
හවස වැඩ ඉවර වෙලා ඇවිත් දවසේ විස්තරේ දුරකතනෙන් ලංකාවට වාර්තා කළා. 
"අප්පේ! මෙහෙත් ගිනි රස්නෙයි. අද නම් මුකුත්ම කරන්න බැරි උනා. පුන්චි උන් ටික කෑ ගහනවා දාඩියයි කියලා. ඒ මදිවට වතුර බොතල් ටිකේ වතුර ඉවර කරගෙන. තිබහයි කියලා කෑ ගහනවා. ඉතින් ආයෙ ගිහින් බොතල් වලට වතුර අරන් ඇවිත් දුන්නා. හෙට ඉදන් වතුර බොතල් දෙක දෙක අරන් එන්න කියල මං කීවා ලමයිනට. ටීචලා ටික කීවේ වහලෙ උඩට පිදුරු ගෙනත් දාන්න ඕන කියලා. ඉන්න බෑ  පංතිවල. දාඩිය වැක්කෙරෙනවා."
ඒ දුරකතනෙ අනිත් කෙලවරේ ඉන්න මගේ පුංචි ගුරුතුමීගේ දවසේ වාර්තාව. ලස්සන ඔසරියකින් සැරසිච්ච කැලෑබද ඉස්කොලෙක ගුරුතුමියක් බෙල්ල වටේ ගලන දාහඩිය පිහින දර්ශනයක් මගේ ඇස් ඉස්සරහා මැවිලා නොපෙනී ගියා. ඒත් ඒ මැවිච්ච රූපෙ හිටපු එයාව මං හැබැහින් දැක්කෙ ගිනි අව්ව දවසක නෙමෙයි.  මහා වැස්සකට මැදි වෙලා මඩකලපු හංදියට වෙලා මං එනකල් බලන් ඉදපු දවසේ. ඔව්.. ඒ රූපෙ තමයි. පස්සරින් පිටත්වෙලා අක්කරෙයිපත්තුවට යන්න ඕන මං, එයා හම්බ වෙන්න ඕන නිසාම ලොකු  රවුමක් ගියා. බිබිල, මොනරාගල, සියබලාන්ඩුව හරහා අක්කරෙයිපත්තුවට ගියපු අපේ ආයතනේ වාහනේ අතැරලා මං බිබිල, මහියංගනේ, දෙහිඅත්තකන්ඩිය, මනම්පිටිය, කල්මුනේ හරහා අක්කරෙයිපත්තුවට බස් එකේ ගියා. පොරොන්දු වෙච්ච වෙලාවට වඩා සෑහෙන්න පරක්කු වෙලා  මං මඩකලපු හංදියෙන් බහිනකොටම එච්චර වෙලා අඩන්න ලෑස්තිවෙලා හිටපු අහසට කව්දෝ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා. පාර පැනලා මඩකලපුව පැත්තට යන හෝල්ට් එක දිහාට දුවං යද්දි මගේ දිහාට ආපු එයාගේ කුඩේ යටට රිංගපු හැටි හීනෙකින් වගේ මතකයි යන්තමින්. වැහි බින්දුවල පීඩාව දරාගෙන ඉක්මනින් හෝල්ට් එකට ගොඩ උනාට පස්සෙ එයා මූනේ, බෙල්ලෙ තිබ්බ වැහි බින්දු පිහදාපු හැටි. ඔව්.. ඔව්.. අන්න ඒ දවසෙ දැක්ක රූපෙ තමයි මට අද මැවිලා පෙනුනේ. විනාඩි කීපයක් ඉන්න ඇති අපි ඒ බස් හෝල්ට් එකේ. ඊලගට කට කපලා සෙනග පුරවපු කල්මුනේ බස් එකකට දෙන්නම ගොඩ උනේ පැය භාගෙකින් පිටත් වෙන එයාගෙ අන්තිම බස් එක අල්ල ගන්න ඕන නිසා. විනාඩි විස්සකින් විතර බස් එක වැලිකන්දෙ බස් නැවතුම්පල ලග නුග ගහ යට නතර වෙද්දි අකමැත්තෙන් උනත් මට එයා බස් එකෙන් බැහැලා යන දිහා බලන් ඉන්න උනා. 
ඒ අවුරුදු එක හමාරකටත් වඩා කලින් දවසක්. නෑ. මං හිතන්නෙ දැන් අවුරුදු දෙකකට ආසන්න ඇති. එයාට මුලින්ම පත්වීම ලැබුනු දවස්වලම. විස්වාස කරන්න පුලුවන්ද? හැමදාම සාරියක් අඳින එයා සාරියක් ඇදන් ඉන්නවා මං හැබහින් දැක්ක අවසාන වතාවයි ඒ. දැනට මාස කීපයකට කලින් යන්තම් තාක්ෂනේ පිහිට බොහොම හිමිහිට එයාගේ ගමටත් ලැබුනු නිසා ඉදලා හිටලා ලැබුන පින්තුර කිහිපයක නම් මේ ගුරුවරිය දැක ගන්න ලැබුනා. ඒ පිංතූර නිසා කවුරුත් නොදාන්න ඈත ගමක කැලෑ මල් වලට අකුරු කරවන්න ඒ ගුරුවරිය යන හැටි හිතින් මවා ගන්න අවස්තාව යන්තමින් මට ලැබුනා. ඒත් ඒ දසුන හැබෑවට දකින කාලය තවත් දුරයි.


ප. ලි. - කොටලා ඉවර වෙලා දෙවෙනි සැරේට මේක කියවගෙන යද්දී මටම හිතුන මේ පිට රට ගමන නිසා මං අහිමි කර ගත්ත දේවල් එක්ක බලද්දී, හිමි වෙච්ච දේවල් හරිම සුළුයි කියලා. එත්, ඒක පසුතැවිල්ලකට හේතුවක් නොකර ගන්නයි මට උවමනා. 

Thursday, May 22, 2014

චොකෝ සහ කොකෝ

අලුත් යාළුවා. චෝකෝ- මොකෝ 
මෙහෙට ආවට පස්සෙ මං ජිවිතේ පලවෙනි වතාවට පූසෙක් ඇති කරපු බවත්, එක සැරේටම එයා අතුරුදහන් වුන බවත් මගේ පින්තූර බ්ලොගේ පල කලා නේ. එයාගේ පාට නිසාම යෙලෝ ෆෙලෝ කියලයි මං එයාව නම් කලේ. එකපාරටම හිතුවෙවත් නැති විදිහට යෙලෝ නැති උනු නිසා ඇතිවෙච්ච කනගාටුව නිසා මං හිතුවා ආයේ කවදාවත් පුසෙක්ව නම් ඇති කරන්නෙ නෑ කියලා. ආයේ කවද හරි නවතින්නම් ලංකාවට ගිය දවසක ඒ ගැන සලකලා බලනවා කියලයි හිතන් හිටියෙ මං. මොකද මෙහෙදි ඇති කරන සතෙක් ඉක්මනින්ම දාලා යන්න වෙන නිසා.
ඒත් මාස කීපයකට පස්සෙ එක මොහොතකින් මට ඒ තීරනේ වෙනස් කරන්න සිද්ධ උනා. පහුගිය දවසක වැඩ ඉවර වෙලා එද්දී, පූස් පැටව් අඩන සද්දයක් ඇහිලා මං ඒ සද්දෙ ඇහුන පැත්ත පොඩ්ඩක් විපරම් කලා. තනි සුදු පාට පූස් පැටව් දෙන්නෙක්. මාසයක් විතර වයස ඇති. දෙන්නගෙම කන් දෙකේ කෙලවරත් හොම්බෙ කෙලවරත් කළු පාටයි. හරියට අර මට නම අමතක හා වර්ගය වගේ (හිමාලයන් වගේ යන්තම් මතකයි). ඒ දෙන්න නෙමෙයි විශේෂ. ඇගේ උඩ පැත්ත චොක්ලට් පාට, හොම්බයි, කකුලුයි, බඩයි සුදුපාට තුන්වෙනි පැටියා. ජීවිතේ පලවෙනි වතාවටයි මේ පාට පුසෙක් දැක්කෙ මං. අතට අරන් බලල ආයෙත් තිබ්බා. චෑව්.. චෑව්.. ගාල කන පැලෙන්න කෑ ගහනවා. එදා ඉදලා එතනින් එන ගමන් දවස් කීපයක් එතනින් එනකොට බල බල ආවා. ඒත් එක දවසක් බලද්දි මේ තුන්දෙනාම අතුරුදහන් වෙලා. මං එයාලා ගැන විපරම් කරනවා දැක්ක පූස් අම්මා පැටව් ටික වෙන කොහාට හරි ගෙනියන්න ඇති කියලයි මං හිතුවේ. එතනින් යන එන බොහෝ වෙලාවට මං ඒ අවට විපරම් කලා එයාලා ලග පාතක ඉන්නවද කියලා. ඒත් ආයේ දැක්කෙ නෑ. සති එක හමාරකට විතර පස්සෙ දවසක් ඒ ලගින් එන ගමන් විපරම් කරද්දි තමයි ආයෙත් මේ තුන්දෙනාව දැක්කේ. වෙන තැනකට ගිහින් නෙමෙයි, එතනම පොඩ්ඩක් එහායින් තියෙන අබලන් බඩු ගොඩක් අස්සට රිංගලා නේ මෙයාලා. අම්මා අරන් යන්න ඇති කියල හිතුව නිසා එතන වැඩිය විපරම් කරපු නැති නිසයි මං දැකල නැත්තේ.
ඊලග දවසෙත්  එන ගමන් ආයෙත් එතන නැවතුනා. එක සැරේටම මට හිතුනා එක්කෙනෙක්ව ඇති කරන්න ඕන කියලා. ඉතින්, ඒ නිසා තමයි ටික වෙලාවකින් මෙයා මගේ කාමරේට ආවේ. පලවෙනි දවසේ පොඩි සිරින්ජරයකින් කිරි පෙව්වත්, දෙවනි දවසෙම සාමාන්‍ය විදිහට අයිස්ක්‍රීම් කප් එකක මූඩියෙන් කිරි බොන්න, කන්න පුරුදු උනා. තුන්වෙනි දවස වෙනකොට ලොකු පෙට්ටියකට වැලි දාලා හදපු එයාගෙ ටොයිලට් එක පාවිච්චි කරන්නත් පුරුදු උනා. ඒ වගේම මගේ කාමරේ සෙටි එක එයාගේ ඇද විදිහට පාවිච්චි කරන්නත් පුරුදු උනා. එයාගේ පාට නිසාම චොකෝ කියල කතා කරන්න පටන් ගත්තා. චෑව්.. චෑව් ගගා පස්සෙන් ඇවිත් කකුලෙ ඇතිල්ලෙන හැම වෙලාවෙම "මොකෝ චොකෝ?" කියලා අහන නිසාම දැන් එයාගෙ නම මොකෝ-චොකෝ කියලා වෙනස් වෙලා.

චොකෝ කියන නම නිසාම මට කාලෙකට කලින් දැක්ක තවත් එක සතෙක් මතක් උනා. ඒ කොකො. ගොඩක් වටින බලු වර්ගයක් වෙච්ච් සෙන්ට් බර්නාඩ් වර්ගයේ සතෙක්. මෙයාලා සාමාන්‍යයේන් සෑහෙන ලොකු සත්තු. ගොඩක් වයසට ගිහින් අබල දුබල වෙලා හිටිය කොකෝ බෙහෙත් ගන්න ඇවිත් හිටියේ. ලංකාවේ ප්‍රසිද්ද මාලිගාවක ජිවත් වෙච්ච සතෙක් උනු මෙයා සෑහෙන්න අසනීපෙන් හිටියේ ඒ දවස්වල. කොකෝගේ අයිතිකාර ප්‍රසිද්ධ පුද්ගලයා එක්ක තිබ්බ තරහටද මන්දා මං කොකෝගෙ නමට විශේෂන පදයක් එකතු කලා. දකින දකින හැම වෙලේම "ආ... පහෙන්ද-කොකෝ" කියලා මේ වයසක බලු සීයට කතා කරන එකට එයාට සාත්තු කරපු අපේ මාරි නම් නිතරම මට බැන්නා. ලෙඩ වෙලා අසරන වෙච්ච සතෙක් විහිළුවට ගත්ත එක නම් නරකයි තමයි. ඒත්, සතෙක්ට අපි අමතන නම නෙමෙයි නෙ වැදගත්. අපි කියන දෙයින් අපි පෙන්වන හැගීමයි. බොරු නෙමෙයි. නිකමට වගේ ගෙදර බල්ලට හොද කුනුහරපයක් ආදරෙන් කියල බලන්න. හරියට මචං චිත්‍රපටියේ මහේන්ද්‍ර පෙරේරා ආගමන විගමන නිලදාරියට හිනා වෙලා කියන විදිහට කියන්න. සතා වෙනද වගේම නැට්ට වනනවා.  ඒ නිසා කොච්චර දුබල වෙලා හිටියත් ඒ  විදිහට හිතවත් කමින් කතා කරද්දි කොකෝත් නැට්ට අමාරුවෙන් වැනුවා මතකයි.

Tuesday, May 20, 2014

කළු සුදු - BLACK n WHITE

කළු- අදුරු බව, ගුප්ත බව, භයංකාරබව, දුක, අවාසනාව සංඛේතවත් කරන වර්ණයක්ලු.
සුදු - පිරිසිදු කම, සැදැහැත්බව, සුන්දරත්වය් සේම තවත් විටෙක මරනය, ශෝකය හගවන දනවන වර්ණයලු. 
ඒත් මේ දෙකම ඇති විට විවිද හැගීම් දනවන්න පුලුවන්. 
වෙලාවක අපි ජිවිත වගේම මිනිස්සුන්වත් කළු, සුදු විදිහට වර්ග කරන්න උත්සහ කරනවා. හමේ වර්ණයෙන් නෙමෙයි. ගතිගුන වලින්. ඒත් එහෙම කළු හරි සුදු හරි මිනිස්සු ඉන්නවද? නෑ. මං නම් දන්නෙ කළු සුදු මිශ්‍ර මිනිස්සු විතරමයි. ඒත් ඒ අළු නෙමෙයි. කළු - සුදු. 

කළු සුදු ගැන ලීවේ මේ සැරේ පල කරන් පින්තුර කිහිපය කළු සුදු ඒවා නිසයි. වර්ණ පින්තුර වලට වඩා කළු සුදු පින්තුර හැගීම් දනවන්න සමත් කියලයි මට නම් හිතෙන්නෙ. වර්නවත් පින්තුර ගන්න පුලුවන් යුගයක ඉද්දිත් තාම මිනිස්සු කලු සුදු පින්තුර ගන්නෙ ඒ නිසා වෙන්න ඕන. 
ඉතින් මාත් උත්සහ කලා කළු සුදු පින්තුර කිහිපයක් හදන්න. ඔව්. මේවා මුලින් වර්න පින්තුර විදිහට සටහන් කර ගත්ත නිසා, පස්සෙ ඒවගෙන් කලු සුදු පින්තුර හදන්න උනා. 
හැමදාම වගේ මුලින්ම පල කරන්නෙ මං වැඩියෙන්ම කැමති පින්තුරයයි. මේකෙ නම් මුල් පින්තුරෙත් වර්න අඩු කළු සුදු වලට ආසන්න පින්තුරයක්. 
ප. ස. - අද සටහන කෙටි. ගොඩ දවසකට පස්සේ රෑ වෙලා කැමරාව අරන් එලියට බැහැල පොඩි ව්‍යාපෘතියක් කරන ගමනුයි මේ ටිකත් කෙටුවේ ජංගම දුරකතනයෙන්. 


අට



මගේ සමුගත්ත පූස් මිතුරා සහ සෙවනැල්ල 
 

හුදෙකලාව 











Monday, May 19, 2014

නිදහස් හිරගේයකදී


තවත් සතියක් නොදැනිම ගෙවිලා ගිහින්. කලින් කල්පයක් දුර වගේ දැනිච්ච දිනේ දැන් ලග ලගම එන බවක් දැනෙනවා. ඒකෙන් හිතට සැහැල්ලුවක් දැනුනත් ඒ එක්කම ලොකු බයකුත් හිතට එබිකම් කරන්න පටන් අරන්.
මගේ විතරක් නෙමෙයි, තවත් කෙනෙක්ගෙ හිතකටත් හීන ගොඩක් පුරවලා ආපු මේ ගමනේ අන්තිමේ මට ආපහු යන්න වෙන්නෙ හිස් අතින්ද? මගේ බලාපොරොත්තුව උනේ මේ ගමනින් මුළු ජිවිතේම ගොඩ දා ගන්න නෙමෙයි. මං සාමාන්‍යයෙන් තියන පියවර වලට වඩා පියවර කීපයක් වැඩියෙන් තියන්නයි උවමනා උනේ. නමුත්, බලාපොරොත්තු උනු තරමේ ප්‍රගතියක් අත්කර ගන්න බැරි වුනා.
පිට රටක රැකියාවකට ආවට පස්සේ අනිත් අය හැමෝම හිතන්නේ අපි ලංකාවට ආපහු එන්නේ කෝටිපතියෝ වෙලා කියලයි. ඒත් ඇත්තම කාරණාව අගහිඟකමෙන්  ගෙවපු ජිවිතේ තිබුණු පුංචි පුංචි සිදුරු කිහිපයක් වහගන්න අපට ඉඩ කඩ ලැබෙන එකක් විතරයි. හැමෝම වගේ අනාගතේ ගැන ගොඩ නගා ගත්ත හීන කීපයක් වෙනුවෙන් මේ ජිවිතේ තෝරා ගත්තත්, ඒ වෙනුවෙන් මං මගහැරගෙන තියෙන ජිවිතේ පංගුව ලොකු වැඩි කියලයි වෙලාවකට හිතෙන්නේ. ගෙවන මොහොතවල් ගැන පසුතැවිලි නොවී එයින් උපරිම ඵල නෙලාගෙන තෘප්තිමත් වෙන්න ඕන කියන මගේ හිතේ හැම මොහොතේම තිබ්බ හැගීම ටිකින් ටික අතුරුදහන් වෙන්නත් ගත්ත මේ නිදහස් හිරකාර ජිවිතේට ඇතුළු උනාට පස්සේ. 
පේරේ හිටිය කාලේ WUS කැන්ටිමේ රස්තියදුවක් ගහල හරි, තෙල් බැම්ම ලගට වෙලා අව්වට කරවේවි ඉදල හරි හොරෙන් දැක ගත්ත මුහුනේ හිනාව හැබැහින් දැක්කේ නෑ අවුරුද්දකුත් මාසෙකින්. ඉදල හිටලා කොම්පිතරේ තිරෙන් එබිලා බැලුවට ඒ හැගිම් වයර් දිගේ සජීවීව ගලන්නේ නෑ. සරසවියෙන් එලියට ආවට පස්සේ රැකියාවල කාර්යබහුල උනත් මාසෙකට වරක් අත් පටලවන් ඉන්න හොයාගත්ත ඉඩ කඩේදී දැනුනු මගේ කැලෑ මලේ සුවද දැනෙන මානෙකට ලං වෙන්න නම් තවත් මාස කීපයක්ම බලන් ඉන්න ඕන. ඔය අතරේම අපේ  ගෙදර තුන් වෙනි පරම්පරාව නියෝජනය කරන පලවෙනි සාමාජිකයා, අයියගේ පුතණ්ඩියා මේ ලෝකෙට ආවේ මං මේ දුරු රටට ඇවිත් මාස කීපයකින්. අපේ ගෙදර හැමෝගෙම හිත්වල අලුත් එළියක් ඇතිකරපු මේ සිගිත්තා මං දකින්න නියමිත බහතෝරන්න, දෙපයින් නැගිටින්න පටන් ගත්තටත් පස්සෙයි. ඔය ඇරෙන්න තව ගොඩක් දේ මං ඇත්තටම අයිති ලෝකයේ සිද්ධ උනත් ඔය දෙක සැහෙන්න දැනුනා. 
ලංකාව එක්ක තිබ්බ දුරස් බව යන්තමින් හරි අඩු උනේ අන්තර්ජාලය හරහා තිබ්බ සබදතාව නිසයි. එත් අන්තර්ජාලයෙන් වත් පිහිටක් නැති මිනිස්සු කි දෙනෙක් මේ වගේ නිදහස් හිර ගෙවල් වල හිර වෙලා ඉන්නවද?  

පින්තුරේ - http://s3.amazonaws.com/rapgenius/alone_by_buaiansayapanomali.jpg

Monday, May 12, 2014

වැඩි ගතික පරාසයක - Landscapes HDR toning

"කොහෙද යකෝ මෙච්චර කාලයක් තොලොන්චි වෙලා හිටියේ?" කියලා අහන්න නම් ඔට්ටු නෑ ඔන්න. අහන්න කලිං කියලම දාන්නන්කො. අපේ අන්තර්ජාලේ ජංජාලයක් උන එකෙන් ටික දවසක් මං ඔය සමාජ ජාල වලින් ටිකක් ඈතට වෙලා හිටියා. ඒ අතරෙම තව විකාර දෙයකට ඇබ්බැහි උනා. ඒ Twenty Four මාලා නාට්‍යය බලන එකට. අවුරුද්දකට වඩා කාලයක් මගේ පරිගනකයේ දෘඩ තැටියේ කොනක මකුලුදැල් බැදි බැදි තිබ්බ මේ නාට්‍යයේ කොටසක් අහම්බෙන් වගේ විවෘත කරල බලපු එකෙන් උනේ ඉස්පාසුවක් නැතුව එක දිගට ඒකේ මාලා (series) 7ක්ම බලල ඉවර කරපු එක. කොහොමින් කොහොම හරි අපි අලුත් ජාල සබදතාවක් අරගත්ත නිසා ආයෙත් ඔන්න මම ආවා බ්ලොග පැත්තෙ රවුමක් දාල යන්න. 

ඉතින් අපේ පරිසරේ ගැන කියනව නම්, ඉරට හැතැප්මක්වත් නෑ. හෙට වෙද්දි උෂ්නත්වෙ අංශක 42ක් දක්වා වැඩි වෙයි කියල තමයි කියන්නෙ. ඒ මදිවට කාන්තාරෙ පැත්තෙ ඉදන් එන දුවිලි පිරිච්ච හුළඟ. ගොවිපලේ ගස්වල රටඉඳි හැදීගෙනත් එනවා. මාස 5ක් තිස්සේ මට වද දිදී, දවසට 7-8 දෙනා ගානේ පැටව් දාපු වැස්සියො ටිකත් දැන් සමර් නිවාඩුව අරන් පැටව් දාන එක අඩු වේගෙන එනවා. ඔය අතරේ අපි අපේ ශේක් යුරෝපය පැත්තෙ රව්මක් දාන්න යනකල් බලන් ඉන්නවා. 
පින්තුර ඇල්ලිල්ලත් සෑහෙන්න අඩු වෙලා. දැන් ඉතින් එලියට බහින්න පුලුවන් රෑට විතරයි. රෑ අහසත් දූවිලි වලාකුලු නිසා වැහිලා ගිහිල්ලා. ඉතිං, මේ පාර පල කරන්නෙ නැවත සංස්කරනය කරපු පරන පින්තුර කිහිපයක්. 

සසිදුගේ බ්ලොගේ එකෙන් දුන්න පින්තුර කඩේ (Photoshop) add-on එකකින් තමයි මේව සංස්කරනය කලේ. HDR toning කියන පින්තුර සංස්කරන ක්‍රමය තමයි මේ. හැබැයි මේ හැබෑ HDR නෙමෙයි. 
HDR කියන්නෙ මොකද්ද? High Dynamic Range කියන එක කෙටියෙන් තමයි මේ HDR කියන්නෙ. මං ඔය එක එක වෙබ් අඩවි වලින් කියවල දැන ගත්ත විදිහට පොඩි විස්තරයක් කරන්න උත්සහ කරන්නම් මේ ගැන. Dynamic range හෙවත් ගතික පරාසය කියන්නෙ ආලෝකයේ අඩු වැඩිය, පරතරය කියන එකලු. ඒ කියන්නෙ, සාමන්‍යයෙන් අපි දකින ඕනම දසුනක සමහර තැන් හොදට ආලෝකමත් වෙලත්, සමහර තැන් අඩුවෙන් ආලෝකමත් වෙලත් තියෙනව නේ. අපේ ඇහැ ඒ ආලෝකය අඩු වැඩි තැන් හොදට කියවනවලු. (ඇහැ කීවට ඒක කරන්නෙ ඇහැයි, මොලයයි දෙකම එකතු වෙලා කියලයි මට හිතෙන්නෙ.) ඒ කියන්නෙ ඇහැ වැඩි ආලෝක පරාසයක ක්‍රියාත්මක වෙනවා. ඇහැට වැඩි ගතික පරාසයක් තියෙනවා. ඒත් කැමරාවට එහෙම හැකියවක් නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් දීප්තිමත් අහසක් තියෙන භූමි දර්ශනයක් වගේ ආලෝක වෙනස වැඩි පින්තුරයක් ගන්න ගියාම ලොකු ගැටලුවක් එනවා. බොහෝ විට එතකොට අහස නියම විදිහට අල්ල ගත්තොත් භූමිය අදුරු වෙනවා. භූමිය හොදට අල්ල ගත්තොත් අහස අධි අනාවරනය වෙලා මෙලෝ රහක් නැති පාට පිච්චුන අහසක් එනවා.  ඒ වගේ අවස්තා වල තමයි මේ HDR කියන ක්‍රමය පාවිච්චි කරන්නෙ. ඒකෙදි කරන්නෙ අනාවරන වෙනස් සහිත පින්තුර කීපයක් අරගෙන ඒවා මෘදුකාංගයක් මගින් එකතු කරන එකයි. ඒ විදිහට ගතික පරාසය වැඩි පිංතුරයක් හදා ගන්න පුලුවන්. තේරුනාද මන්දා. මම ලියපු දේ මටම ආන්ද්‍රා දෙමල වගේ. 
ඉතින් එහෙම පින්තුරයක් හදාගන්න පින්තුර කඩේට වඩා හොද මෘදුකාංග තියෙනවා. ඒත්, මගෙ ලග එහෙම එකක් නෑ. ඔය අතරේ සසිදු දුන්න add-on එක මේ පින්තුර කිහිපයට දාලා බැලුවා. මේ හැබෑ HDR නෙමෙයි. HDR toning. තනි පින්තුරයක් පොඩ්ඩක් වෙනස් කරල HDR වගේ එකක් හදලයි මේ තියෙන්නෙ. ඔන්න බලන්නකෝ. 
මුහුනු පොතේදී හිතවත් උනු ජනක කියන මිතුරෙක් මේ උඩ පින්තුරෙ මගෙන් ඉල්ලගෙන නියම HDR එකක් කලා. ඉතිං මාත් උත්සහ කලා හදන්න. ඒත් ජනක තරම් සාර්තක නෑ මම. 
සො.සි. මේකට කවියකුත් ලියල තිබුනා.




කලිනුත් පල කලා මේ පින්තුරේ. ඒත්, මේ සැරේ වෙනස් සංස්කරනයක්. 


සැලකිය යුතුයි -
1. මං චායාරුප ශිල්පය පිලිවෙලකට උගත් කෙනෙක් නෙමෙයි. ජාලයෙන්, එහෙන් මෙහෙන් කියවලයි බොහෝ දේවල් දැන ගත්තේ. ඒ නිසා මේ කරුනු 100% නිවැරදි නොවීමට පුලුවන්. 
2. මගේ පින්තුර බොහොමයක් කෘතිම ගතියක් දැනුනට හැබෑ HDR එහෙම නෙමෙයි.
3. මං භූමි දර්ශන වලට විතරක් මේක භාවිතා කලාට මීට වඩා බොහෝ දේ සදහා HDR භාවිතා කරන්න පුලුවන් ලූ. 

Wednesday, March 26, 2014

මාර්තුවේ තරු ගමන - star trails


පොලරිස් හෙවත් උතුරු තරුව වටේ 

මාර්තු මාසේ ඉවර වෙන්නත් ඇවිත්. මං එකම එක පෝස්ට් එකයි පල කරල තියෙන්නෙ මේ මාසෙට. අපොයි වෙච්ච දෙයක්. එක අතකට එහෙම නොවුන නම් තමයි පුදුමේ. මේ මාසේ මුල ඉදලම අන්තර්ජාල සම්බන්දතාව ලෙඩ දුන්නා. ගෙවිච්ච දවස් 25න් 7ක් විතර තමයි ජාල සබදතාව  තිබුනෙ අපට. ඉදල හිටල ජංගමෙන් ඇවිත් බ්ලොග් කියවලා ගියාට මොකද පෝස්ට් එකක් දාන්න විදිහක් තිබුනෙ නෑ. මේ පෝස්ට් එකත් කොටන්නෙ ජංගමේ ජාල සම්බන්තාවෙන් උඩුගත කරන්න හිතාගෙන. වැඩිය නෑ. මේ සැරේ පින්තූර 2ක් විතරයි. මේ තාරකාවල ගමන් මඟ හෙවත් star trails. කලිනුත් පරණ star trail කිහිපයක් පල කළා මං. 

පිංතුර 2ක් උනාට මේ දවස් කිහිපයක මහන්සිය. හඳ නැති, වලාකුළු වලින් බාධාවක් නැති රැයක් හොයා ගන්න එක, වැඩේට හරියන කලුවර, ආලෝක දූෂණය අවම තැනක් හොයා ගන්න එක, දවල් කාලෙක තැනට ගිහින් composition එක ගැන අදහසක් ගන්න එක ආදී  එකී නොකී මෙකී වැඩ ගානක් කරන්න ඕන මේ පින්තූරයක් ගන්න කලින්. ඊට පස්සෙ අදාල රෑ කැමරාව ත්‍රිපාදෙ ගහලා, දුරස්ත පාලකයක් හරහා එක දිගට පැයක් විතර පින්තුර ගන්න එකත් එපා වෙන වැඩක්. තට්ට තනියම පාලු තැනකට වෙලා කට්ට කලුවරේ පැය ගානක් ඉන්න ගියාම එපා වෙනවනෙ. ඒ හින්දම මං මේ පිංතූර ගැනිල්ලට යොදන උපරිම කාලය පැයයි. වැඩි කාලයක් ගත්ත නම් වඩා ලස්සන පිංතූරයක් ලබා ගන්න පුලුවන් අන්තිමේදී.

ඇත්තටම මොනවද මේ පින්තුර? සරලවම කියනවා නම් මේකයි. පෘතුවිය තමන් වටේට කරකැවෙනවලු නේ. ඒ නිසා ඉර නැගෙනහිරින් නැගලා බටහිරින් බැහැල යනවා වගේ අපට පේනවා. අපට ලගින්ම තියෙන තරුව වෙච්ච ඉර වගේම ඈතින් තියෙන අනිත් තරුත් ඒ විදිහටම නැගෙනහිරින් පායලා බටහිරින් බැහැල යනවා. ඒ කියන්නේ ඉර වගේම තරුත් ඉතාම හිමින් අහසේ ගමන් කරනවා. පියවි ඇහැට නොපෙනෙන මේ තරු වල ගමන තමයි මේ පින්තුරේ සටහන් වෙලා තියෙන්නේ. කැමරාවේ ෂටරය දීර්ඝ කාලයක් ඇරලා තියලා මේ තරු වල ගමන සටහන් කර ගන්න එක තමයි මේ වගේ පින්තුරයක් ගැනීමේදී කරන්නේ. කැමරාව ත්‍රිපාදයක නොසෙල්වී තියල තත්පර 30ක් ෂටරය ඇරලා තිබ්බම, තිතකට වඩා ටිකක් දිගටි රේඛා ස්වරුපයෙන් තමයි තරුවක් සටහන් වෙන්නේ. ඒ වගේ එකදිගට පින්තුර ගණනාවක් අරන් ඒවා ඇඩෝබිගේ පින්තුර කඩේ (Adobe Photoshop) පිහිටෙන් එක මත එක ගොඩ ගහල  (Stack) තමයි මම මේ තරු වල ගමන් මාර්ග සටහන් කර ගත්තේ.  
උඩ තියෙන පින්තුරය උතුරු දිශාවට එල්ල කරලා ගත්තු එකක්. සමකයට ඉහලින් තියෙන රටක ඉන්න නිසයි මේ උතුරු තරුව වටේ ගමන් කරන දර්ශනේ සටහන් කර ගන්න ලැබුනේ මට. පහල පින්තුරය දකුණු අහස දිහාට කැමරාව එල්ල කරපු එකේ ප්‍රතිපලයක්. මේ වගේ පින්තුර කිහිපයකට තැන් අවට කාන්තාරයේ හොයාගෙන තිබුනත් වලාකුළු පිරිච්ච අහසයි, අපිව රවට්ටන්න වගේ හිටපු ගමන් වැටෙන වැහි බින්දු දෙක තුනයි හරියට බාධා කරනවා. නැත්නම් මේ පොස්ට් එකට තව පින්තුර 3ක් වත් අඩුම තරමින් එකතු කරන්න තිබුනා. 



ප. ස. 
කලින් පොස්ටුවේ සවුදි කටාර් ගැටලුව ගැන ලියන්න කියල ඉවාන් සහ චන්දන කරපු ඉල්ලීම නිසා මං ඒ ගැන මෙතන ලිව්වා. මේ බ්ලොගේ  පින්තුර වලටම ප්‍රමුඛතාව දෙන නිසයි මේකේ ඒ ගැන ලොකු විස්තරයක් නොලිව්වේ. 


Monday, March 17, 2014

සවුදියේ විසිල් විතරද? (කටාර්- සවුදි අවුල)




සීත කාලයේ අවසානයත් එක්කම මැදපෙරදිග කලාපය දේශපාලන වශයෙන් උණුසුම් උන බව මගේ පින්තුර බ්ලොගයේ සදහන් කලානේ. අපේ ඉවාන් සහ ප්‍රියා මේ ගැන වැඩි විස්තර ලියන්න කියල ඉල්ලපු නිසයි ඔන්න මේ සටහන ලියන්නේ. දේශපාලනය ගැන ලියන්න තරම් ලොකු දැනුමක් නම් මට නෑ. ඒ වගේම මේ මැද පෙරදිග ගැන මට ලොකු දැනුමකුත් නෑ. පහුගිය ටිකේ කියවපු අහපු දේවල් තමයි  මං මේ ලියන්න හදන්නේ.
GCC හෙවත් Cooperation Council for the Arab States of the Gulf කියන සංවිධානය යටතේ එකමුතු වෙලා ඉන්න මේ මැද පෙරදිග අරාබි රටවල් අතරේ තමයි මේ උණුසුම් තත්වයක් නොහිතපු විදිහට පහුගිය සතියේ ගොඩ නැගුනේ. සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කියන රටවල් තුන එකතු වෙලා කටාර් රාජ්‍යට විරුද්ධව ක්‍රියාමාර්ගයක් විදිහට ඔවුන්ගේ තානාපති වරුන් ආපසු කැදෙව්වා. ඒ විතරක් නෙමෙයි තමන් කියන විදිහට ක්‍රියා නොකලොත් කටාර් රාජ්‍යයට දඩුවම් කරන බවත්, ගොඩබිම සදහ මුහුදු දේශ සිමා වසා දමන බවත්, ගුවන් සිමාව වසා දමන බවත් සවුදිය කටාර් රාජ්‍යයට තර්ජනය කල බවටත් පැවසුනා. මේ අර්බුදයට හේතුව උනේ කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තියයි. කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය නිසා GCC රටවල් වල ආරක්ෂාව අනතුරේ හෙලන බව සවුදි රජය චෝදනා කරනවා.

ඉතාම කුඩා ප්‍රමාණයේ රටක් වෙච්ච කටාර් රාජ්‍යය ලෝකේ වැඩිම ඒක පුද්ගල අදායමක් ඇති රටයි. කටාර් පුරවැසියන්ගෙන් 14%ක් ඩොලර් මිලියනපතියෝ කියලයි කියන්නේ. කලාපයේ අනිත් රටවල් වගේම මේ සුවිශාල ධනස්කන්දය මේ රටට ගලන්නේ ඉන්ධන වලින්. ලෝකේ විශාලම ස්වභාවික පෙට්‍රෝලියම් වායු නිධිය හිමි වෙලා තියෙන්නේ මේ රටට. තවමත් සාර්ථක විදිහට රාජාණ්ඩුවක් ගෙනියන මේ රට පාලනය කරන්නේ අල් තානි කියන රජ පවුලක් විසින්. 1995 දී තමන්ගේ පියාට එරෙහිව කුමන්ත්‍රණයක් කරලා රාජ්‍ය බලය පැහැර ගත්ත ශේක් හමද් බින් කලීෆා අල්තානි කටාර් රාජ්‍යයට සැහෙන්න වැදගත් පාලකයෙක් මම දන්නා විදිහට. මැද පෙරදිග කලාපයේ ආර්ථික වශයෙන් වගේම දේශපාලන වශයෙන් ශක්තිමත් රටක් විදිහට ඉහලට ගෙන්න හමද් අල්-තානි එමීර් වරයා සමත් උනා. සවුදියේ උදහසට හේතු වුනු කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය ගොඩ නැගුනේ මේ එමීර් වරයාගේ කාලයේදී.

කටාරය ශක්තිමත් විදේශ සබදතා සහිත රටක් .විශේෂයෙන්ම  ලෝක බලවතා වෙච්ච අමෙරිකාවත් එක්ක සමීප සබදතාවක් සැහෙන කාලයක ඉදන්ම පවත්වාගෙන යනවා. මැද පෙරදිග ඇමරිකන් මෙහෙයුම් දියත්කරන ප්‍රධාන ගුවන් හමුදා කදවුරක් පවත්වන් යන්න කටාරය ඉඩ සලසලා තියෙන්නේ මේ සබදතාව ශක්තිමත්ව පවත්වන් යන්න. ඉරාක යුද්දයේදී ඇමෙරිකන් ගුවන් බලය මෙහෙයවුනේ මේ ගුවන් හමුදා කදවුරෙන්ලු. ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සමගත් ශක්තිමත් සබදතා පවත්වන් යනවා  කියලයි කියන්නේ. එතකොට මේ විදේශ සබදතාද සවුදියේ උදහසට හේතුව? නෑ.

අරාබි ලෝකයේ දේශපාලනයේදී කටාරය පහුගිය වසර කිහිපය තුල බලවත්ව මැදිහත් උන රටක්. පසුගිය කාලයේ එකවරම පැන නැගිච්ච අරාබි වසන්තය ලෙස හැදින්වුණු දේශපාලන පෙරලියේදී කටාරය සෑහෙන වැඩ කොටසක් ඉටු කළා. ඒ දෝහා නගරය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන සුප්‍රකට අල් ජසීරා මාධ්‍ය ජාලය හරහා. මේ මාධ්‍ය ජාලය හරහා අරාබි වසන්තයේ සටන් පෙරමුණු වලට මතවාදයන් අරන් යන්න, මිනිසුන් විදී වලට ගෙන එන්න හැකි උනා. ඊජිප්තුව, සිරියාව සහ ලිබියාව තුල තමයි කටාරයේ මැදිහත් වීම වැඩි වශයෙන්ම දැනුනේ. ඒ විතරක් නෙමෙයි ලිබියාවේ ගඩාෆි පාලනය එලවා දමන්න සටන් කල කැරලිකරුවන්ට ආයුධ සපයන්න වගේම හමුදා බලය කෙලින්ම යොදවන්නත් කටාරය පසුබට උනේ නෑ. ගඩාෆිට විරුද්ධව සටන් කල කැරලිකාර පෙරමුණ ලිබියාවේ නිත්‍යානුකුල පාලනය විදිහට පිළිගන්න බව කටාරය සටන් අතරේ නිවේදනය කළා. ගඩාෆි පාලනය එලවා දාපු වහාම ලිබියාවේ විදී වල කටාර් කොඩිය එසවුණු බව රහසක් නෙමෙයි.

ඒ වගේම සිරියාවේ කැරලිකාර පාර්ශවයන්ට කටාරයේ සහයෝගය ලැබුනා. සිරියාවේ කැරලි කරුවන්ගේ ආයුධ බහුතරයක් කටාර් රජයෙන් ලැබුණු ආයුධ බව ප්‍රසිද්ධ රහසක්. කටාර් සන්නද්ධ හමුදාවට අයත් ආයුද පෙට්ටි ගණනින් සිරියවේදී හමු උන බව පින්තුර සහ වීඩියෝ සමගින් පල උනා. නමුත් ලිබියාවේදී සහ ඊජිප්තුවේදී ලැබූ විදිහේ ජයග්‍රහණයක් ලබන්නට නම් කටාරයට සිරියවේදී ඉඩක් ලැබුනේ නෑ.

ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) සංවිදානය කටාරයේ සහයෝගය වැඩියෙන්ම ලැබුණු සංවිධානයක්. ඊජිප්තුව උඩු යටිකුරු කරමින්, තිබුණු ඒකාධිපති පාලනය පෙරලන්න සමත් වෙච්ච මේ සංවිධානයට පිරිස් බලය එකතු කලේ අල් ජසීරාව හරහායි. මුස්ලිම් සහෝදරත්වයේ අද්‍යාත්මක නායකයෙක් කියන ඊජිප්තු සම්භවයක් සහිත පුජකයෙක් අල් ජසීරාව හරහා ඊජිප්තුවේ සටනට ජිවය දුන්න. ඒකෙ ප්‍රතිපලයක් විදිහට මුස්ලිම් සහෝදරත්වයේ නායකයෙක් වුනු මොහොමඩ් මුර්සි ඊජිප්තුවේ ජනාධිපති බවට පත් උනා. එත් එක්කම විශාල මුල්‍ය සහයෝගයක් කටාර් රාජ්‍යය ඊජිප්තුව වෙතට ලබා දුන්න. නමුත් හදිසියේම මොර්සි රජය එළවලා හමුදා රජයක් රට තමන් අතට ගත්තා. නමුත් මුස්ලිම් සහෝදරත්වය මේ හමුදා රජයට විරුද්ධව තමන්ගේ සටන අලුත් අදියරකින් පටන් ගත්තේ මිනිස්සු සැහෙන ප්‍රමාණයක් මරණයට කැප කරමින්.

මුස්ලිම් සහෝදරත්වය ප්‍රමුඛ මේ කැරලි කණ්ඩායම් හරහා මැද පෙරදිග ශක්තිමත් දේශපාලන බලයක් ගොඩ නගා ගත්ත කටාර් රාජ්‍යට හැකි උනා. එත් හදිස්සියේම මෙතෙක් කල් නිදාගෙන හිටපු සවුදි යෝදයා අවදි උනේ කටාර් රාජ්‍යය ගොඩ නගා ගත්ත බලය දිය කර හරිමින්. මුලින්ම ඊජිප්තුවේ හමුදා පාලනය තමන් පිළිගන්න බව ප්‍රකාශ කරපු සවුදි රජය ඊජිප්තුවට මුල්‍යාධාර ප්‍රධානය කළා.

මේ අතර තුර කටාර් රාජ්‍යයේ රාජ්‍ය බලයත් හමඩ් එමීර් වරයාගෙන් පුතාට පැවරුණා. ඊජිප්තුවේදී තමන්ගේ බලය දියවෙලා යද්දී නව එමීර් වරයා වඩාත් නිහඩ ප්‍රතිපත්තියක ඉන්න බවක් තමයි පෙනුනේ. ඒ විතරක්ද, සිරියාවේ කැරලි කාර කණ්ඩායම් වල බලයත් කටාරයෙන් ඈත් වෙලා ජිහාඩ් සංවිධානයට නතු වෙච්ච් බව තමයි කියන්නේ. ඒ වුනත් අල් ජසීරාව හරහා දිගින් දිගටම ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය සහය දෙන එකේ නම් අඩුවක් උනේ නෑ.

තත්වය ඔය විදිහට තිබෙද්දී තමයි හදිසියේම මේ සවුදිය ප්‍රමුඛ රටවල් වල ක්‍රියා මාර්ගය එලියට එන්නේ. සවුදියේ කේන්තිය කෙලින්ම යොමු වෙන්නේ අල් ජසීරාව හරහා ඊජිප්තුවට කෙරෙන බලපෑමටයි. වහාම අල් ජසීරාව වසා දමන්නට කියල බලපෑම කරන්නේ මේ නිසයි. සවුදිය තුල මුස්ලිම් සහෝදරත්වය ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට නම් කරන්නත් ඔය අතරේම ක්‍රියාත්මක උනා.

සවුදියේ දේශ සිමා වසා දමන එක කටාර් රාජ්‍යයට එල්ල වෙන මරු පහරක්.  සම්පුර්ණයෙන්ම අපනයනයෙන් යැපෙන මේ රටට එළවලු පවා එන්නේ සවුදි සිමාව හරහායි. ඒ විතරක් නෙමෙයි අනෙත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බහුතරයක් පැමිණෙන්නේ සවුදි දේශ සිමාව හරහායි. ඒ විතරක් නෙමෙයි, සවුදි ගුවන් සීමාව තහනම් උනොත් කටාර් ගුවන් සේවයත් අලි අමාරුවකට පත් වෙන එක වලක්වන්න බෑ. මේ තත්ත්ව එක්ක 2022 ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් සුදානම් වෙන එක කටාරයට හීනයක් වෙනවා නොඅනුමානයි. නමුත් මේ තත්ත්ව යටතේ උනත් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය කාගෙවත් උවමනාවකට වෙනස් කරන්නේ නැති බව කටාර් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළා.

ඇත්තටම සවුදිය මේ තර්ජනයන් කරන්නේ ඇයි. ගල්ෆ් සංගමේ ආරක්ෂාව වෙනුවෙන්ද? පහුගිය අවුරුදු කිහිපයේ නිදාගෙන ඉදල එක පාරම ඇහැරුනේ ඇයි. මට නම් හිතෙන්නේ කටාරය කලාපයේ බලවත් වෙන එක වලක්වන්න සවුදිය මේ විදිහේ ක්‍රියාමාර්ග ගන්නවා කියලයි. හරියට අපේ කලාපයේ ලොකු අයියා වෙන්න දගලන ඉන්දියාව වගේ.

ඒ අතරේම කටාරය ඉරානය එක්ක තියෙන සමීප සබදතාව මේ ගැටුමට හේතුවක් කියලත් කියනවා. ඉරානය මේ කලාපයේ සවුදියත් එක්ක කරට කර ඉන්න බලවතෙක් නේ. ඉරානයට හිතවත් කටාරය වටේ බලය ඒක රාශි වෙනවා කියන්නේ ඉරානයට බලය එකතු වෙනවා වගෙයි. ඒ නිසා කටාරයට විරුද්දව බලය පාවිච්චි කරන්න සවුදිය පෙලබුන බව සමහර විශ්ලේෂකයෝ කියනව. හරියට ඉන්දියාවයි, චීනයයි අතර ආසියාවේ තරගේ නිසා චීනෙට හිතවත් ලංකාව තලන්න ඉන්දියාව උත්සහ කරනව වගේ.

දැන් ඉතින් සවුදියේ විසිල් විතරයි, බල්ටි නෑ කියල බලන් ඉන්න තමයි තියෙන්නේ අපට. වැරදිලාවත් සවුදිය බල්ටි ගහන්න ගත්තොත් අකුලගෙන ලංකාවට එන්න ලෑස්ති පිට ඉන්න තමයි තියෙන්නේ. කොහොම උනත් මේ මං එහෙන් මෙහෙන් කියවල දැන ගත්ත තොරතුරු මිසක් සර්ව සම්පුරන, නිවැරදි දේශපාලන සටහනක් නෙමෙයි ඔන්න.

Friday, March 14, 2014

කසල ගොඩක් අසලින් අහුලා ගත්


හප්පේ බ්ලොග් පොස්ට් එකක් දාන්න බැරි උන පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල්. මේ හිරගෙයින් මිදිලා ලංකාවට පය ගහල එන්න තිබ්බ බලාපොරොත්තුව අකුලගෙන පහු බහින්න උනා මුලින්ම. ඊට පස්සේ වැඩ ටිකක් ගොඩ ගැහිලා කාර්යබහුල කමක් ආවා. ඊටත් පස්සේ තමයි දවස් ගානක් අන්තර්ජාලේ වැඩ කරන නැතුව ජංජාලයක් උනේ. යන්තම් අද ජාල ගත වෙන්න පුළුවන් විදිහට වැඩේ ගොඩ ගියා.

ඔය අතර තුරේ අපේ පරිසරේ සෑහෙන්න වෙනස් උනා. සති දෙකකට කලින් තිබුණු සිතල දේශගුණය වෙනුවට කාන්තාරෙට පුරුදු උණුසුම් දේශගුණයක් ඇතුළු උනා. කලින් තිබුණු මීදුම වෙනුවට දුවිලි වලාකුළු වලින් වට පිටාව වැහෙන්න ගත්තා. මේ සතිය ඇතුලත උෂ්ණත්වය සෙල්සියස් 39ට ආසන්න වෙනකල් වැඩි උනා. මේ යන්තම් සිතල අඩු වෙච්ච මාර්තු මාසේ. සමර් එකේ උච්චම  කාලේ වෙන ජුලි, අගෝස්තු. නියර මෙහෙම නම් කුඹුර කොහොම තියෙයිද?
මේ පාරිසරික උණුසුම් වීමත් එක්කම මැද පෙරදිග දේශපාලන උනුහුමකුත් ගලන්න ගත්තා. හදිසියේම අසල්වැසි සවුදි අරාබි රාජධානියේ මුලිකත්වයෙන්, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාර් රාජ්‍යයට එදිරිවාදිකම් පාන්න පටන් ගත්තා. කලාපයේ බලවතා වෙන්න දගලන පත සයිස් සවුදිය, ඇබිත්තන් කටාරයට තමන්ගේ දේශ සිමාව වහල දානවා කියල තර්ජනය කරා කියල තමයි කියන්නේ. පිට රටක එවුන් වෙච්ච අපිට ඔව්වයින් පලක් නෑ කියල හිතුනට මොකද බැරි වෙලාවත් සවුදි දේශ සිමා වැහුවොත් ඉතින් අපේ කලදවසත් එච්චර හොද වෙන එකක් නෑ. 

ඔය පාරිසරික, දේශපාලන, සමාජීය ගැටළු වලට විසදුම් කල්පනා කර කර කසල මල්ලක් අතින් අරන් අපේ සුපුරුදු කුණු ගොඩ දිහාට මං ඇවිදන් ගියේ පට්ට දවාලක. දවසින් දවස උස වැඩි වෙන කුණු ගොඩට මගේ දායකත්වය දක්වලා ආපහු හැරෙන කොට තමයි මගේ ඇහැට  සමනල්ලු කීප දෙනෙක් පෙනුනේ. මේ කුණු ගොඩ අස්සේ සමනල්ලු. එකෙක් දෙන්නෙක් නෙමෙයි හය, හත් දෙනෙක්ම. කුණුගොඩ අයිනේ තියෙන පඳුරු වල පුංචි පුංචි මල් පිපිලා නේ. එක මොහොතකින් කැමරාව උස්සන් මම එතෙන්ට දුවගෙන ආව. 
කුණු ගොඩේ ගඳ ඉවසගෙන සමනලුන්ගෙන් පටන් ගත්ත පින්තුර ඇල්ලිල්ල ඉවර උනේ ඉවසා ගන්න බැරි තරම් බඩගින්නක් දැනෙන්න ගත්තට පස්සෙයි. 

මෙන්න ඒ කුණු ගොඩ ලගින් ඇහිද ගත්ත පින්තුර ටික. ඔක්කොම පින්තුර වගේ ගත්තේ මගේ බාගෙට ලෙඩ sigma 70-300 DG Macro කාචෙන්. මම ගොඩක්ම කැමති එක තමයි උඩින්ම එල්ලුවේ.


Painted lady

Blue pancy

සමනල්ලු විතරක් නෙමෙයි, සලබයෙකුත් අහු උනා 




මෙයා නම් පැහැදිලි මදි. මල් පොහොට්ටුවක බිත්තර අලවන ඇබිත්තන් කෘමියෙක් 

අතීත, වර්ථමාන, අනාගත පරම්පරා 

alpha alpha 








මේ මගේ මල 


Bluethroat (Luscinia svecica)
උඩ ඉන්න සමනල්ලුයි අනිත් අයයි ගොඩ දෙනෙක් නැවතුනේ මෙයාගේ බඩේ 

Tuesday, February 25, 2014

හුදෙකලා ගවේෂණ

නෙලා දෝතින් 

ආර්ථික සමෘද්ධිමත් කම අති ලෝකේ ඉහලින්ම ඉන්න රටක් මේ කාන්තාර දේශය. මෑතකදි මං කියවපු ලිපියකට අනුව ලෝකයේ වැඩිම මිලියනපතියන් ඝනත්වයක් තියෙන්නෙ මේ කටාර් රාජ්‍යයේ අග නගරය වෙච්ච දෝහා නගරයේ. ඇත්තටම මේ රට කියන්නෙ දෝහා නගරයටයි. කටාර් රාජ්‍යය කියල කියනවට වඩා බහුතරයක් දෙනා මේ රට හදුන්වන්නෙ දෝහා කටාර් කියන නමින් නේ. ඒකෙන්ම තේරෙනව නේ කටාර් රාජ්‍යය කියන්නෙ දෝහා නගරය බව. ඉතින් මේ තරම් පොහොසත් නගරයක් මොන තරම් දියුනු ඇත්ද? කොයි තරම් ලස්සන ඇද්ද?

මීට වසරකට විතර කලින් දෝහා ගුවන්තොටෙන් ගොඩ බැහැල මාව එක්ක යන්න ආ වාහනේ නැගල මං මේ නගරයෙන් එලියට ආවා. මුලින්ම සුපිරි වාහන් පිරුනු වීදී පහුකරන් අධිවේගී මා‍ර්ගයකටත්, එතනින් මිනිස් පුලුටක් තියා ගහක් කොලක් වත් නැති වියලිච්ච් කාන්තරේ මැද්දෙනුත් ආපු මම නතර උනේ කාන්තරේ මැද තියෙන ගොවිපලක. එදා ඉදන් මාස කිහිපයක් යන තෙක් මං මේ තාප්පයෙන් එලියට ආවේ කිහිප විටක් විතරයි, වාහනයක් ලැබුනයින් පස්සෙ ඕනම මොහොතක එහා මෙහා යන්න හැකියාව ලැබුනත් මේ විශාල නගරයට නම් මං ගියේ අත්‍යවශය කාරනා වලට විතරමයි. මොකක් හෝ කාරනාවක් නිසා මේ විසල් නගරය ගවේෂනය කරන්න උවමනාවක් මට ඇති උනේ නෑ. මේ නගරයේ මං දන්න කියන කිසි කෙනෙක් නැති නිසාත්, නොදන්න නගර‍යක් ගවේෂනය කරන්න උද්‍යෝගයක් තියෙන හිත මිතුරු සගයෙක් නැති වීමත් මේකට හේතු වෙන්න ඇති. ඒ නිසා මේ නගර කොතරම් දියුනුද, ලස්සනද කියල අදහසක් පල කරන්න තරම් මං දෝහා නගරය දැකලා නෑ.

ඒ වෙනුවට ගොවිපලේ තාප්පයෙන් එපිට තියෙන හිස් කාන්තාර  භූමිය ගවේෂනය කරන්න මං ටිකෙන් ටික පුරුදු උනා. නිදහස් හිරකරුවෙක් වගේ කියලා සමහර විට මට දැනෙන මේ ගෙවෙන  ජිවිතයේ තනිකම දැනෙන මොහොතවල් වල මං මේ කාන්තාරේ වටේ ඇවිද්දා. සිව් සක දාවකයක් හෙවත් ෆෝ වීල් ඩ්‍රයිව් නොවුන මගේ වාහනේට වද දෙමින් මම කාන්තාරේ පුරා ඇවිද්දා. විශේෂයෙන්ම මට ගෙවාගන්න අමාරුම දවස් උනු නිවාඩු දවස් වල. මේ ගමන් වලදි මං දුටු දේවල් සටහන් කර ගත්තේ මගේ කැමරාව.

ඉතිං මේ විදිහට පහුගිය සතියේ නිවාඩු දවසක මං වාහනේ කාන්තාරය දිහාවට කැරකුවා. කලින් ගවේෂනය නොකරපු ඉසව්වකින් පටන් ගත්ත ගමන කුරුල්ලො කිහිප දෙනෙක් පස්සෙනුත් , අන්තිමේ බටහිර ක්ෂිතිජයේ හැංගෙන ඉර පස්සෙනුත් ගමන් කරල තමයි නැවතුනේ. මේ ඒ ගමනේ සටහන් කර ගත්ත පින්තුර. අල්ල ගත්ත හොදම පින්තුරේ තමයි උඩින්ම දැම්මේ.

ගොඩ බිම නැව් 

නැවකුයි, පොඩි පහේ බෝට්ටුවකුයි 

ජිවන සටන

රිටි පන්නය


මිට වඩා ලං වෙන්න දුන්නෙම නෑ

තවත් කුරුල්ලෙක්. මේ ඇමරිකන් කුරුළු හමුදාව 


පාළු නැසීම 




camouflage - crested lark මියුරු ගායකයෙක්  



සමබර - මාල කොබෙයියා

සිමා මායිම් නැති 




ලොකු - පොඩි 

තනියට ඉන්නම් 







ගමන් සගයා