Showing posts with label සරසවි අත්දැකීම්. Show all posts
Showing posts with label සරසවි අත්දැකීම්. Show all posts

Wednesday, July 30, 2014

ඔබ ආයෙමත් ඇවිදින් |මතක සුවද දිගේ 2


පළවෙනි කොටස මෙතනින් 

රජරට ඉදන් ඇවිත් හන්තාන පාමුල මං නවාතැන් ගෙන හිටපු හිල්ඩා ශාලාවෙන් හුවක විතර දුරකින් තිබ්බ රාමනාදන් ශාලාවේ එයා හිටියත් අපේ සබදතාව අනන්ත දුරකින් ඈතට ගියා. මුණ ගැහුණු අවස්ථා වලදි මග හැරලා ගිය බව මං පහුගිය ලිපියේ සටහන් කලා නේ. ඒත් වේදනාවෙන් තිබුණු මගේ හිතට නිවනක් දෙන්න එයාගෙ සූදානමක් තිබුනෙ නෑ.
විශ්වවිද්‍යාල ජිවිතේ මාස කිහිපයක් ගෙවිල ගියාට පස්සේ එක දවසක් මං  හිල්ඩා එකේ ඉදන් කිස් බෙන්ඩ් එක, පොලොන්නරුව, ගෙම්බා කැන්ටිම පහුකරන් WUS එකට යමින් හිටියේ සාහිත්‍ය උළෙලේ මොකක් හරි වැඩකට. 

"මද්දු"
පිටිපස්සෙන් ඇහුනු ආමන්ත්‍රණයෙන් මට කතා කරන්න එයා හැර වෙන කෙනෙක් සරසවියේ ඉන්න බෑ. ඔව්. පිටිපස්ස හැරිලා බලපු මං දැක්කේ ඒ දීප්තිමත් ඇස් දෙක තමයි.

"ආ.. කොහොමද?" 

"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා."

දෙවියනේ මෙයා කියන්න යන්නේ පහුගිය දවස් ටිකේ එහෙන් මෙහෙන් ආරංචි වෙච්ච කතාව ඇත්ත කියල වෙන්න ඇති. 

"කියන්න... මොකද්ද? "

"කෙනෙක් අපේ ගෙදරට මං ගැන යෝජනාවක් ගෙනාව. මම ඒ අයියට කැමති උනා." 

"හ්ම්.. මට ආරංචි උනා"   

වැඩි විස්තර ඇහිමේ උවමනාවක් මට තිබුනේ නෑ. 

එයාම අවුලපු ගින්නකින් මගේ හිත පිච්චේද්දී මගේ දුරකථන අංකය එයා ජංගම දුරකතනයට ඔබා ගත්ත බවක් මට යන්තමට වගේ මතකයි. 

විශ්වාස කරන්න බැරි මේ කතාවත් එක්කම පරණ තුවාලයක් ආයෙමත් අලුත් උනා. ඇත්තටම මට මේක විශ්වාස කරන්න බෑ. එයා මේ තරම් හදිස්සියකින් මෙහෙම තීරණයක් ගන්න හේතුව මොකක්ද කියලා නිශ්චය කරන්න මගේ තැළුණු-පෙළුණු හිතට හැකියාවක් තිබ්බේ නෑ. ඒත්, එයා මේ තීරණය ගන්න ඇත්තේ ඇත්තටම මේ තුන්වැන්නා ගැන තියෙන කැමැත්තකට වඩා වෙන මොකක් හෝ හේතුවකට කියලා මං විශ්වාස කළා. 

ආයෙමත් හිත් වේදනාවෙන් පිරිච්ච  මාස කීපයක්. ඊට පස්සේ ආයේ අපි මුණ ගැහුනේ නෑ. හිතේ ඉතිරි වෙලා තිබුණු පුංචිම පුංචි බලාපොරොත්තුවේ ආලෝකයත් එයා නිවලා දැම්ම. මේ මතකයන් එක්ක තවත් ජිවත් වෙන්න අමාරුයි.ඒ නිසා ඒවා අමතක කරන්න විදිහක් මං හොයන්න ඕන. ඉස්සරහට යන්න බැරිව එකතැන් වෙලා තියෙන මගේ ජිවිතේ අඩියක් ඉස්සරහට තියන්න මං තීරණය කළා. එයාට ඔය තරම් ඉක්මණින් කෙනෙක්ට කැමති වෙන්න පුළුවන් නම් මට බැරි වෙන එකක් නෑ. එකක් සැරේටම මං තීරණය කළා වෙන ගෑනු ළමයෙක් හොයා ගන්න. ඒත් කවුද?

බැච් එකේ මට හිතවත් ගෑනු ළමයි අතරින් මං කැමති එක බැචියක් ගැන හිතන්න මං තීරණය කළා. ඒ වෙනකොටත් ඇය අනිත් බැචියන්ට වඩා මාත් එක්ක ටිකක් හිතවත් කෙනෙක්. ඉතිං මං එයා ගැන හිතන්න කලින් ආයෙමත් හිතුවා. ඇත්තටම මං එයාට කැමතිද? එයාට ආදරේ කරන්න මට පුළුවන් වෙයිද? ඇත්තම ආදරයක් නැතුව කෙල්ලෙක් යාළු කර ගන්න එක සාධාරණද? වැරදිලාවත් මගේ හිත ඇත්තටම දිනා ගත්ත කැලෑ මල ආයෙත් ආවොත් මොනවා වෙයිද? මං හිතුවා. මොන දේ උනත් මගෙන් ඈත් වෙච්ච එයා ගැන පුංචි බලාපොරොත්තු බිදක් තවම ඉතිරි වෙලා තියෙන බවත්, කොයිම විදිහකින් හරි එයා ළඟට යන්න ඉඩක් ලැබුනොත් මං එක පයින් යන බවත් ඒ කල්පනා ලෝකෙදි මට තේරුණා. ඉතිං, මේ බොරු නාඩගමකින් මගේ හිත රවට්ටන ගමන්, තවත් කෙල්ලෙකුට අසාධාරණයක් කරන්න මගේ හිත කැමති උනේ නෑ. ඉතිං, ඒ සිතුවිල්ල, සිතුවිල්ලක් විදිහටම මලගම් ගියා. ඒත්, දෛවයේ සරදමකට වගේ පසු කාලෙක මේ බැචි ආයෙමත් මගේ හිත ව්‍යාකුල කළා. ඒ ගැන වෙනම සටහනක් ලියන්න ඕන. කොහොමහරි සිතුවිලි සංග්‍රාමය අවසානයේදී ආයෙමත් මං පරණ තැනටම වැටුනා. 

ආයෙමත් ආයෙමත් මාස කිහිපයකට පස්සේ දෙසැම්බර් මාසේ දවසක්. මහ රෑ මගේ ජංගම දුරකතයට කෙටි පනිවිඩයක් ආවා. 
"සුබ උපන්දිනයක් !" 
එදා wus එක ලගදි එයා මගෙන් ඉල්ල ගත්ත දුරකථන අංකය පාවිච්චි කරන්න හිතිලා.
"අක්ක දෙසැම්බර් නිවඩුවට ගෙදර එනව කිව්වා. ඔයත් ඇවිත් යන්න එන්න. අක්ක බලන් ඉන්නෙ ඔයාව දකින්න" 
පනිවිඩේ ඉතුරු ටික මාව පුදුම කලා. එයාගේ අක්කා මට තමන්ගෙ මල්ලිට වගේ සලකන කෙනෙක්. දෙසැම්බර් මාසේ  එයාලගෙ ගෙදර ඇවිත් යන්න කියලා අක්ක දෙතුන් සැරයක්ම මට කිවත් මං ඒක ප්‍රතික්ෂේප කරපු නිසා වෙන්න ඕන අක්ක මෙයා හරහා මේ පනිවිඩයක් එවන්නේ. ඊට සති දෙකකට විතර පස්සෙ විශ්වවිද්‍යාලයේ නිවාඩුවට මං ගෙදර ගියා. අක්කා නෙමෙයි කවුරු ආවත් ඒ පැත්ත පලාතේ යන්නෙ නෑ කියන දැඩි තීරණයකයි මං ඒ වෙනකොට හිටියේ. ඒත් කවදත් අකීකරු හිත අවසාන මොහොතෙදි මට බල කලා එයාලගෙ ගෙදර ගිහිල්ල එන්න යන්න කියලා. ඉතිං අන්තිමේ මං ඒ ගමට ආයෙමත් ගියා. ඒ ගෙදර හැම දෙනාම සුපුරුදු විදිහට මට සැලකුවත් එයා විතරක් වෙනස්. 

හැබැයි ඒ ගමන ආයෙමත් මට පුංචි බලාපොරොත්තුවක් ගෙනාවා. ඒ දවස් වලදිම එයා අර කලින් කැමති උනා කියපු යෝජනාවකින් මුන ගැහුනු මනුස්සයට අකමැත්ත ප්‍රකාශ කරලා තිබුනා. මේ නිසාම දෙපාර්ශවයෙන්ම එයා හොද හැටි බැනුම් අහපු බවකුත් මට දැන ගන්න ලැබුනා. ජිවිතේ මේ තරම් වැදගත් දෙයක් ගැන එයා මේ හිතුවක්කාරී තිරණ ගත්ත විදිහ ගැන මට පුදුම හිතුනා. එයා මේ යොජනාවට කැමති උනේ මට රිද්දන්න හරි, මාව ඈත් කරන්න හරි තිබ්බ උවමනාවටදෝ කියන සිතුවිල්ලක් මේ එක්කම ඇති උනා. කොහොමින් කොහොම හරි පුංචි පිදුරු ගහක හරි එල්ලෙන්න බලන් ඉදපු මං ආයෙමත් පුංචි බලාපොරොත්තුවක් ඇති කර ගත්තා. ඒත් ප්‍රේමය ඉල්ලගෙන එයා පස්සෙන් ගිහින් කරදර කරන්න නම් මට හිතුනෙ නෑ. ඒ වෙනුවට කාලයට ඉඩ දීලා මගේ ඒක පාර්ශවීය ප්‍රේමයට නිදහසේ ගලා යන්න ඉඩ ඇරලා බලන් ඉන්න මං තීරනය කලා. 

"අන්න මචං අර කෙල්ල අපේ ෆැකල්ටියේ කොල්ලෙක් එක්ක පොලොන්නරුවෙ මල් කඩ කඩ හිටියා"  
එයාගෙ ප්‍රේමය බලාපොරොත්තුවෙන් එයාගෙ බැචෙක් එන බව මං දැනන් හිටපු ඒ දවස් වල මට ඔය වගේ ආරංචි කීප සැරයක් ආවත් ඒ ගැන මං වැඩිය ගනන් ගත්තෙ නෑ. එයා සරසවියෙදි කිසිම විදිහකින් වෙන ප්‍රේම සම්බන්ධයක් ඇති කර නොගනී කියන විශ්වාසයක් ඒ වෙද්දි මගේ හිතේ ඇති වෙලා තිබුනා. එත් හිටි හැටියේ එක දවසක් හවස්වරුවේ  එයා ඔය කියන බැචා එක්ක දොඩමළු වෙවී රාමනාදන් එක පැත්තට ඇදෙනවා දැක්ක මොහොතේ  මගේ හිත මේ විශ්වාසයට අභියෝග කලා. මගේ හිත ටිකක් හෙල්ලුනු බව දැනගෙනද මන්දා,  මොකද්දෝ හේතුවකට එයා පලමු වසර විභාගය ඉවර වෙලා ගෙදර යන්න කලින් දවසේ රාමනාදන් ශාලාව ලඟදි මට මුණගැහෙන්න අවස්ථාවක් දුන්නා. වෙනදා වගේ ලෙන්ගතු කමින් නැතත් ගලාගෙන ගිය දොඩමළුව අතරේ මේ කියන කොල්ලා එයාගෙ පස්සෙන් ඇවිත් කරදර කරන බවත්, එයා ඒකට කැමති නැති බවත් කියන්න ඉඩක් එයා හොයා ගත්තා. 

එයාගේ සරසවි ජීවිතේ ඉතිරි වසර තුනත් ලොකු වෙනසක් නැතිව හෙමිහිට ගලාගෙන ගියා. ඒක පාර්ශවීය ප්‍රේමයත් දරාගෙන මගේ හිතත් මේ අවුරුදු හතර ගෙවපු හැටි මටමම පුදුමයි. මේ කාලේ ඇතුලත සමීප හිතවත් කමින් ඇසුරු කරපු හිතවතියෝ කිහිපදෙනෙක් හිටියත්, කිසි කෙනෙක් ගැන මිතුරු කමට එහා සබදකමක් ඇති කර ගන්න මගේ හිත ඉඩක් දුන්නේ නෑ. බොහෝ වෙලාවට සංසුන්ව තිබ්බ හිත, ඉදලා හිටලා එයා මතු වෙලා අවුල් කරපු අවස්තා නම් බොහෝමයක් තිබුනා. ඉස්සර තිබුනු ලෙන්ගතු කම නැතුව උනත්, මගෙත් එක්ක තිබ්බ සබදකම එයා සජීවීව තියා ගත්තා. එයා ලග දුරකතනයක් නොතිබුන ඒ කාලේ සති දෙකකට සැරයක් විතර රාමනාදන් ශාලාවේ දුරකථන පෙට්ටියට  පහේ කාසියක් ඔබලා මට කතා කරන්න විනාඩි කීපයක ඉඩක් එයා හොයා ගත්තා. බොහොම පරිස්සමින් මාව ඇසුරු කරපු එයා, බොහෝ වෙලාවට අවධානයෙන් ඉදිරියට යන්න කියන කහ එලිය දැල්වුවත්, හිටි හැටියේ රතු එලි දල්වලා මාව ව්‍යාකූල කලා. හැබැයි එයා කිසිම දවසක මට අලුත් බලාපොරොත්තු ඇති වෙන විදිහේ කොළ එළියක් නම් දැල්වුවේ නෑ මට. මේ අවුරුදු කිපයටම එක වරක් හෝ දෙවරක් අහම්බෙන් වගේ නුවර ඉදන් රජරටට ඉගිලෙන බස් එකක එයා එක්ක යන්න අවස්තාවක් ලැබුනා. ඒත් බොහෝ වෙලාවට එහෙම අවස්ථාවක් ලැබෙන්න තියෙන ඉඩ කඩ අහුරලා දාන්න එයා හොද හැටි දැනන් හිටියා. දැන දැනම මඟහැරපු ඒ වගේ අවස්ථාවල මගේ හිත බිදුනත් හිටි හැටියෙම කොහෙන් හරි මතුවෙලා ආයෙත් ඒ හිත හදාගන්න විදිහක් එයා හොයල දුන්නා. ඔය අතරේ තෙවෙනි වසරෙ අන්තිමේදි වගේ ප්‍රථම වතාවට මං එයා මුන ගැහිලා කැමැත්ත ඉල්ලා සිටියා. ඒත් රාමනාදන් ශාලාවේ ඉදන් මට ආපහු එන්න උනේ හිස් අතින්මයි. ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්න එයා අකමැති බවත්, එයා වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන තවත් ඉන්න එපා කියන එකයි එයාගෙ පිලිතුර උනේ. එයා වචනෙන් කීව දේ සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න මං කැමති උනේ නෑ. මොහොතකට සසල වෙලා ගියත් ටික දවසකි හිත අයෙමත් පරන තැනටම ආවා. 

එයා සරසවියේ වසර හතර තනිකඩව අවසන් කරද්දි අහම්බයක් නොවන වන විදිහට මුන ගැහිලා තිබුනේ හතර පස් වතාවක් විතරයි. අවුරුද්දක් ගානේ සරසවිය හැඩවෙච්ච රොබරෝසියා වසන්ත වලදී මගේ හිත එයාගේ කුඩේ යටින් ඇවිදන් ගියත්, ඇත්ත ලෝකෙදි මටවත් වෙන කෙනෙක්ටවත් ඒ වාසනාව ලැබුනේ නෑ. සරසවියෙදි අපි වඩාත්ම රසවත් වෙච්ච සරත්චන්ද්‍ර වලේ දි ඉදහිට මට ඒ ඇස් මුන ගැහුනත් ඒවා රැදුනේ ප්‍රේක්ෂකාගරයේ වෙනත් කෙලවරකයි. සැහැල්ලුවෙන්, ප්‍රිතියෙන් මිතුරන් අතරේ ගෙවිච්ච් සරසවි දිවියේ  මතක අතරේ, එයත් මාත් හිටියෙ ලෝක දෙකකයි. සරසවි දිවියේ කෙලවරට ලගා වෙද්දි, තරුන ජීවිතේ වැදගත්ම කොටසක් සැහැලුවෙන් සුන්දර බිමක ගෙවන්න ලැබිච්ච ඒ ඉඩකඩ තනිකඩව ගෙවලා දාපු අපි දෙන්න වෙනුවෙන්ම මගේ හිතේ කනගාටුවක් ඇති උනා. අවසානයට ආයෙමත් සමුගැනීමක්. වසර හතරක උපාධියක් උනත් අපේ පාඨමාලාව ටිකක් දිගට ඇදෙන නිසා, මට මාස හත අටකට කලින් මේ ගැහැනු දැරිවි සරසවියෙන් මිදිලා සැඩ සුළං පිරිච්ච ජීවිතේට ඉගිලුනා. 

නෑ. ඒ තරම් ලේසියෙන් එයාට මේ සැරේ සමු ගන්න දෙන්න බෑ. සරසවියෙන් පිටත්වෙන්න දවස් කීපයකට කලින්  එයාගේ උපන්දිනය එළබුනා. ඒ වෙනුවෙන් පුංචි තෑග්ගක් මිලදී ගත්ත මං එයාව මුණ ගැහෙන්න අවස්ථාවක් ඉල්ලුවේ ඒක එයාට දෙන්න. ඒ විතරක් නෙමෙයි එයාගේ ජීවිතේට ඇතුල් වෙන්න මට ඉඩක් දෙන්නවද නැද්ද කියන තීරණයත් එදාට නිශ්චිතවම ලබා දෙන්න කියන ඉල්ලීමත් මං ඉදිරිපත් කලා. මේ අවසාන වතාවයි. සරසවියෙන් පිට වෙද්දිවත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනෙ නැත්නම් තවත් බලාපොරොත්තු එකතුකරන් ඉන්නෙ නැතුව එයාට මගේ ජිවිතෙන් යන්න දෙන්නමයි මං තීරනය කලේ. ඒත්, එයාගේ ප්‍රතිචාරය මගේ හිත මොහොතකට එලියක් අරන් ආවා. මාව පුදුමයට පත් කරමින් එක සැරේටම එයා උපන්දිනය දවසේ උදේ මාව මුණගැහෙන්න එන්න කැමති උනා. ඒත් එදා උදේ එක සැරේටම එයාගෙන් ආපු කෙටි පනිවිඩයෙන් කියවුනේ මුණගැහෙන්න එන්න බැරි වෙන බවයි. යන්තම් බලාපොරොත්තුවක් මතු වෙන්න හදද්දිම ඒක පාගලා දැම්මා වගෙයි මට දැනුනේ. ඒත් ඊලග දවසේ දවල් රාමනාදන් ශාලාවෙදි අපි හමු උනා. පොදු කාමරේ පුටු දෙකකට වෙලා අපි සෑහෙන වෙලා කතා කලා. මං මගේ ඉල්ලීම කරලයි තියෙන්නේ.ඒත් එයාට ඒක මතකවත් නැති ගානයි. අවසානයේදි ආයෙමත් ඒ ප්‍රශ්නෙම අහන්න මං සූදානම් වෙද්දිම, එයා ඉස්සර වෙලා එයාගේ පිළිතුර ලබා දුන්නා. රාමනාදන් එකේ ඉදන් ආපහු ෆැකල්ටියට ආපු හැටිවත් මට මතකයක් තිබුනෙ නෑ. පීඨයේ බයික් කට්ට නවත්තලා බැහැපු මගේ මූන දැක්ක මගේ බැචියක් වෙච්ච ලීනියා අහපු ප්‍රශ්නෙ නිසයි මං පියවි ලෝකෙට ආවේ. 

"වීරෙ මොකද ඔච්චර සතුටෙන්. ගෑනු ළමයා කැමතී කියලවත් කීවද? 

"ඔව් නේ බං" 

ඔව්. ඔව්. එයා කැමතී කියලා තමයි කීවේ. මුල් හමුවීමෙන් අවුරුදු හතකට පස්සේ, එකම සරසවියෙ අවුරුදු හතරක් ගෙව්වටත් පස්සෙ අන්තිමේ එයා කැමැත්ත ප්‍රකාශ කලා. වෙලාවකට මට හිතා ගන්නත් බෑ. මෙච්චර කාලයක් ලගපාත හිටියත් හිතින් ඈත හිටපු එයා, සරසවි ජිවිතේට සමු දීලා ඈතට ඉගිලෙන්න හදන මොහොතේ එයා හිත මගේ ලග තියලා යන බව කිවා. මේ එක සැරේටම වුනු වෙනසක් නොවන බව මට හිතුණා. ඒ ගැන අතුරු ප්‍රශ්න ගනනාවක් එක සැරේ පැන නැංගත් හිතට දැනිච්ච හැගීම අතරේ ඒ ප්‍රශ්න නිකම්ම දියවෙලා ගියා වගේ. අවුරුදු කීපයකට කලින් මාව දාලම ගියා කියල හිතුව කෙනා එක සැරේම මෙන්න මගේ ලගටම ඇවිත්. 


ඔබ ආයෙමත් ඇවිදින් 
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් 

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණිද මොන තරම් 
නුබ නොදැක් සිටි දිගු කාලයේ 
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්.....

දෑස අග මල් පිපී සැලුනත් කොයි තරම් 
එක මලක්වත් සුවද නැති විය ඔබ තරම් 
නුබ නොදක සිටි ඒ කාලයේ
නෙත කදුළු මැකුනා විතරමයි 
ඔබ ආයෙමත් ඇවිදින්........


 ඒ මුන ගැහීමෙන් දවස් කීපයකට පස්සෙ එයා සරසවියෙන් ගියා. රජරටට තමයි. හැබැයි පාසැල ගමන ඉවර කරලා ගියා වගේම එයා සරසවි ගමන ඉවර උන ගමන්ම ගිහින් නතර උනෙත් ඇගලුම් කම්හලක.

"අම්මා ආයෙත් ෆාම් එකේ වැඩට යන්න හදනවා. මට බලං ඉන්න බෑ නේ" 
ඒ එයාගෙ හේතුව.  

කලින් කොටසේ වගේ කනගාටුදයක් නොවුනත් මේ අවසානය සෑහෙන ගැටලු ගොඩක් තියෙන එකක් තමයි. මං හිතන්නේ කාලෙකට කලින් මං ලියපු මේ ලිපියෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. 

ඒත්, මේ කතාව එතනින් ඉවර උනෙත් නෑ. 

පින්තුරය - https://www.facebook.com/media/set/?set=a.236857103134566.1073741828.215897228563887&type=1
ප.ලි. - දෙවෙනි කොටස ලියුවොත් පලවෙනි කොටසේ රහ නැති වේවි කියල මේ කොටස ලියල පල කරන එකට මගේ මිතුරියක් සැහෙන්න විරුද්ධත්වය පල කළා. ඇත්ත තමයි. විරහ වේදනාවෙන් ඉවර වෙච්ච පලවෙනි කොටසේ රසය මේකෙන් නැති උනා තමයි. එත්, මේක ප්‍රබන්ධ කතාවක් නොවන නිසා ඉතිරිය නොලිය ඉන්න එක කියවන අයට කරන අසාධාරණයක් කියලයි මං හිතුවේ.

Thursday, May 22, 2014

චොකෝ සහ කොකෝ

අලුත් යාළුවා. චෝකෝ- මොකෝ 
මෙහෙට ආවට පස්සෙ මං ජිවිතේ පලවෙනි වතාවට පූසෙක් ඇති කරපු බවත්, එක සැරේටම එයා අතුරුදහන් වුන බවත් මගේ පින්තූර බ්ලොගේ පල කලා නේ. එයාගේ පාට නිසාම යෙලෝ ෆෙලෝ කියලයි මං එයාව නම් කලේ. එකපාරටම හිතුවෙවත් නැති විදිහට යෙලෝ නැති උනු නිසා ඇතිවෙච්ච කනගාටුව නිසා මං හිතුවා ආයේ කවදාවත් පුසෙක්ව නම් ඇති කරන්නෙ නෑ කියලා. ආයේ කවද හරි නවතින්නම් ලංකාවට ගිය දවසක ඒ ගැන සලකලා බලනවා කියලයි හිතන් හිටියෙ මං. මොකද මෙහෙදි ඇති කරන සතෙක් ඉක්මනින්ම දාලා යන්න වෙන නිසා.
ඒත් මාස කීපයකට පස්සෙ එක මොහොතකින් මට ඒ තීරනේ වෙනස් කරන්න සිද්ධ උනා. පහුගිය දවසක වැඩ ඉවර වෙලා එද්දී, පූස් පැටව් අඩන සද්දයක් ඇහිලා මං ඒ සද්දෙ ඇහුන පැත්ත පොඩ්ඩක් විපරම් කලා. තනි සුදු පාට පූස් පැටව් දෙන්නෙක්. මාසයක් විතර වයස ඇති. දෙන්නගෙම කන් දෙකේ කෙලවරත් හොම්බෙ කෙලවරත් කළු පාටයි. හරියට අර මට නම අමතක හා වර්ගය වගේ (හිමාලයන් වගේ යන්තම් මතකයි). ඒ දෙන්න නෙමෙයි විශේෂ. ඇගේ උඩ පැත්ත චොක්ලට් පාට, හොම්බයි, කකුලුයි, බඩයි සුදුපාට තුන්වෙනි පැටියා. ජීවිතේ පලවෙනි වතාවටයි මේ පාට පුසෙක් දැක්කෙ මං. අතට අරන් බලල ආයෙත් තිබ්බා. චෑව්.. චෑව්.. ගාල කන පැලෙන්න කෑ ගහනවා. එදා ඉදලා එතනින් එන ගමන් දවස් කීපයක් එතනින් එනකොට බල බල ආවා. ඒත් එක දවසක් බලද්දි මේ තුන්දෙනාම අතුරුදහන් වෙලා. මං එයාලා ගැන විපරම් කරනවා දැක්ක පූස් අම්මා පැටව් ටික වෙන කොහාට හරි ගෙනියන්න ඇති කියලයි මං හිතුවේ. එතනින් යන එන බොහෝ වෙලාවට මං ඒ අවට විපරම් කලා එයාලා ලග පාතක ඉන්නවද කියලා. ඒත් ආයේ දැක්කෙ නෑ. සති එක හමාරකට විතර පස්සෙ දවසක් ඒ ලගින් එන ගමන් විපරම් කරද්දි තමයි ආයෙත් මේ තුන්දෙනාව දැක්කේ. වෙන තැනකට ගිහින් නෙමෙයි, එතනම පොඩ්ඩක් එහායින් තියෙන අබලන් බඩු ගොඩක් අස්සට රිංගලා නේ මෙයාලා. අම්මා අරන් යන්න ඇති කියල හිතුව නිසා එතන වැඩිය විපරම් කරපු නැති නිසයි මං දැකල නැත්තේ.
ඊලග දවසෙත්  එන ගමන් ආයෙත් එතන නැවතුනා. එක සැරේටම මට හිතුනා එක්කෙනෙක්ව ඇති කරන්න ඕන කියලා. ඉතින්, ඒ නිසා තමයි ටික වෙලාවකින් මෙයා මගේ කාමරේට ආවේ. පලවෙනි දවසේ පොඩි සිරින්ජරයකින් කිරි පෙව්වත්, දෙවනි දවසෙම සාමාන්‍ය විදිහට අයිස්ක්‍රීම් කප් එකක මූඩියෙන් කිරි බොන්න, කන්න පුරුදු උනා. තුන්වෙනි දවස වෙනකොට ලොකු පෙට්ටියකට වැලි දාලා හදපු එයාගෙ ටොයිලට් එක පාවිච්චි කරන්නත් පුරුදු උනා. ඒ වගේම මගේ කාමරේ සෙටි එක එයාගේ ඇද විදිහට පාවිච්චි කරන්නත් පුරුදු උනා. එයාගේ පාට නිසාම චොකෝ කියල කතා කරන්න පටන් ගත්තා. චෑව්.. චෑව් ගගා පස්සෙන් ඇවිත් කකුලෙ ඇතිල්ලෙන හැම වෙලාවෙම "මොකෝ චොකෝ?" කියලා අහන නිසාම දැන් එයාගෙ නම මොකෝ-චොකෝ කියලා වෙනස් වෙලා.

චොකෝ කියන නම නිසාම මට කාලෙකට කලින් දැක්ක තවත් එක සතෙක් මතක් උනා. ඒ කොකො. ගොඩක් වටින බලු වර්ගයක් වෙච්ච් සෙන්ට් බර්නාඩ් වර්ගයේ සතෙක්. මෙයාලා සාමාන්‍යයේන් සෑහෙන ලොකු සත්තු. ගොඩක් වයසට ගිහින් අබල දුබල වෙලා හිටිය කොකෝ බෙහෙත් ගන්න ඇවිත් හිටියේ. ලංකාවේ ප්‍රසිද්ද මාලිගාවක ජිවත් වෙච්ච සතෙක් උනු මෙයා සෑහෙන්න අසනීපෙන් හිටියේ ඒ දවස්වල. කොකෝගේ අයිතිකාර ප්‍රසිද්ධ පුද්ගලයා එක්ක තිබ්බ තරහටද මන්දා මං කොකෝගෙ නමට විශේෂන පදයක් එකතු කලා. දකින දකින හැම වෙලේම "ආ... පහෙන්ද-කොකෝ" කියලා මේ වයසක බලු සීයට කතා කරන එකට එයාට සාත්තු කරපු අපේ මාරි නම් නිතරම මට බැන්නා. ලෙඩ වෙලා අසරන වෙච්ච සතෙක් විහිළුවට ගත්ත එක නම් නරකයි තමයි. ඒත්, සතෙක්ට අපි අමතන නම නෙමෙයි නෙ වැදගත්. අපි කියන දෙයින් අපි පෙන්වන හැගීමයි. බොරු නෙමෙයි. නිකමට වගේ ගෙදර බල්ලට හොද කුනුහරපයක් ආදරෙන් කියල බලන්න. හරියට මචං චිත්‍රපටියේ මහේන්ද්‍ර පෙරේරා ආගමන විගමන නිලදාරියට හිනා වෙලා කියන විදිහට කියන්න. සතා වෙනද වගේම නැට්ට වනනවා.  ඒ නිසා කොච්චර දුබල වෙලා හිටියත් ඒ  විදිහට හිතවත් කමින් කතා කරද්දි කොකෝත් නැට්ට අමාරුවෙන් වැනුවා මතකයි.

Sunday, February 2, 2014

එක හැන්දෙන් බෙදීම


මේ ගෙවෙන කාලය මගේ ජිවිතේ නීරසම කාලයක්. එහෙම හිතෙන්නේ, හරිම සැහැල්ලුවෙන් ගෙවපු, නිදහස් සුන්දර යුගයක් වෙච්ච සරසවි ජීවිතය අහවර කරපු සැනින්ම පිටස්තර රටක නිදහස් හිරකාරයෙක් විදිහට කාලය ගෙවන්න සිද්ද වෙච්ච නිසා වෙන්න ඇති. සරසවියේ ඉන්න කාලය පුරාවට ඒ ජිවිතේ අවසන් කරල පිටස්තර ලෝකයට පිය නගන දවසක් ගැන සිහින මව මව හිටියත්, දැන් ඒ ජිවිතේ රඟ හොද හැටි දැනෙන්නට පටන් ගෙනයි තියෙන්නේ. මේ ගෙවිල යන නීරස ජීවිතය අතරේ සරසවියේ සුන්දර මතකයන් විටින් විට හිතේ මැවෙනවා. හිටි හැටියේ මුහුණු පොතේදී හරි, ස්කයිප් එක මගින් හරි මදක් දොඩමලුවකට ඉඩ ලැබුනත් ගොඩක් සරසවි සගයෝ ඉදහිටවත් මුණ ගැහෙන්නේ නැති තරම්. හැම දෙනාම මම වගේම තම තමන්ගේ  ජීවිතවල නිමක් නැති සිහින පිටිපස්සෙන් දුවන්න පටන් අරන් ඇති.  පසුගිය මාසයේ අපේ සරසවි මිතුරන් එකතු වෙන්න දවසක් යොදාගෙන තිබ්බත් පිට රටක ඉන්න මට ඒ අවස්ථාව මට මගහැරුනා. ඒ ගැන කණගාටුවක් ඇති උනත් මිතුරන්ගේ එකතු වීම ජංජාලය හරහා පින්තුර වලින් දැක ගන්න ලැබුණු එක සතුටක් උනා.
ලංකාවේ ලස්සනම සරසවියක් වෙච්ච පේරාදෙණියසරසවියේ තියෙන නේවාසිකාගාර පද්දතිය සරසවිය සුන්දර කරන්නව විතරක් නෙමෙයි, සිසුන්ගේ විශ්වවිද්‍යාල ජිවිතේ සුන්දර කරන්නත් මේ නේවාසිකාගාර පද්දතිය ලොකු රුකුලක් දෙනවා. සාමාන්‍යයෙන් සිව් වසරක සරසවි කාලයේදී ශිෂ්‍යයන්ට නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ වසර 3ක් විතරයි. දෙවන වසරේදී නේවාසිකාගාර පහසුකම ලැබෙන්නේ නැති උනත් බොහෝ වෙලාවට ඒ වසරත් කොහොම හරි ගොඩ දාගන්නේ 'ගජේ ගැහීමට' පින්සිද්ධ වෙන්නයි. මගේ සරසවි ජිවිතයේ නම් බෝඩිමක ගෙවුනේ ආරම්භයේදීම පැවැත්වෙන තුන් මාසික ඉංග්‍රීසි පාඨමාලාව කාලයේදී විතරයි.
පළමු වසර ගෙවන්නට ලැබුන හිල්ඩා ඔබේසේකර ශාලාව සුන්දර මතක ගොන්නක් එකතු කරපු තැනක්. අනෙක් නේවාසිකාගාර වලට වඩා හිල්ඩා ශාලාවේ විශේෂත්වය උනේ හැම පීඨයකම වගේ ප්‍රථම වසර සිසුන්  මේකේ ඉන්න එකයි. ඒ නිසාම අනිත් පීඨ සියල්ලේම සමාන්තර ශිෂ්‍යයෝ වගේම ජේෂ්ඨ ශිෂ්‍යයෝ සැහෙන්න ප්‍රමාණයක් අදුර ගන්න අවස්ථාව අපට ලැබුනා. හිල්ඩා ශාලාවේ කැන්ටිම, පොකුණ (පොන්ඩ් එක) මතක් වන විටත් මුවගින් සිනහවක් මතු කරන්න පුළුවන් විදිහේ මතක එකතු කරපු තැන්. මේ ශාලාවේ අවසන් වරට නවතන ගන්න ලැබුණු පිරිමි සිසු කණ්ඩායම උනේ අපියි. ඒ අපෙන් පස්සේ මේ ශාලාව ශිෂ්‍යාවන්ට ලබා දුන්න නිසායි.
දෙවන වසරේ නේවාසිකාගාර වල නවතින්න වරම් නැති උන මමත්, කණ්ඩායමේ සගයොත් නැවතුනේ ඉතාම පුංචි නේවාසිකාගාරයක් වෙච්ච හිදගල ශාලාවේ. කාමර කිහිපයක් විතරක් තිබ්බ මේ ශාලාවේ ගෙවපු මුල්ම කාලේ අමුම කට්ටක් කාපු කාලයක්. තනි ඇදන් තුනක් එකට ලං කරලා අපි දහදෙනෙක් විතර නිදාගත්ත හැටි අද නම් හිතා ගන්නවත් බෑ. කට්ටියටම එකම වෙලාවක මේ ඇදන් තුනට නගින්න වුනා විතරක් නෙමෙයි,  කට්ටියම ඇලේට නිදාගත්තට පස්සේ ඉන්න ඕනේ පිළිම වගේ නොසෙල්වී. කැහැටු ශරීර දහයක් උනත් ඇදන් 3ක පේලියට ඇතිරුවාම කොහෙද ආය හැරෙන්න ඉඩක් ඉතිරි වෙන්නේ. ඒ මදිවට හොදම සැප ලැබෙන්නේ අපි 'සංසාර ගැට්ට' කියල හදුන්නපු ඇදන් දෙකක එකතු වෙන තැන් හම්බ වෙන අයටයි. අප්පේ එකේ තිබ්බ සැප. ඒ තරම් කට්ටක් කාලත් අපි පැණි හැළියක වැටුණු කුබියෝ වගේ එතනම හිටපු එක නම් අදත් පුදුමයි. තරමක් විශාල කාමරයක සහෝදර පීඨයක ශිෂ්‍යයෝ පිරිසක් එක්ක ගෙවපු මුල් කාලේ ඔවුන් එක්ක ඒ තරම් හිත හොදක් තිබ්බේ නැතත් පස්සේ කාලයක මේ පිරිස අපේ හොදම මිතුරෝ වුනා. ටික කාලෙකින් අපි ඒ කාමරෙන් එලියට විසි වුනේ අලුතින් ආපු කණ්ඩායමකට ඉඩ දෙන්නයි. මාස දෙකක් විතර තවත් කාමරේක වෙනත් පීඨයක දෙමල සහෝදරයෝ දෙන්නෙක් එක්ක ගාල් වෙලා හිටපු අපි අයෙත් මේ කාමරේට ආවම හැමදෙනාටම තමන්ගේ කියල ඇඳක් හිමි උනා. මෙච්චර කාලයක් කැන්ටිමේ කෑම ගිල ගිල හිටපු අපිට ඔය කාලේ උයාගෙන පිහාගෙන කන්නත් අවස්ථාව ලැබුනා. ඔය උයන පිහන අතරේ එක දවසක් සිද්ද වෙච්ච සිද්දියක් අපේ කණ්ඩායමේ සගයෝ කාට කාටත් හොද හැටි මතක හිටින්න ඇති මං හිතන්නේ.
මතක හැටියට නම් මේ විභාගයකට සුදානම් වන කාලයක්. එකපාරට මතුවෙන ක්ෂණික බඩගින්නට ඒ කාලයේ අපි ක්ෂණික විසදුමක් හොයන් තිබුනා. ඒ ප්‍රීමා කොත්තු මි ක්ෂණික නුඩ්ල්ස්. ඉක්මණි හදාගන්න පුළුවන් උනාට මෙයින් එකක් අපේ එකෙක්ගේ බඩ පුරවන්න මදි. ඒකට විසදුම විදිහට අපි දෙන්නෙක් එකතු වෙලා පැකට් තුනක් හදාගෙන බෙදාගෙන කන්න පුරුදු වෙලා හිටියා.
මේ සිද්දියේ ප්‍රදාන චරිත අපේ උනන්දුවත්, උනන්දුවගේ අතිජාත මිත්‍රයා වෙච්ච මානවයත් කියන දෙන්න. සුපුරුදු විදිහට දැනිච්ච බඩගින්නට නිමාවක් දෙන්න හිතන් මේ දෙන්න එකතු වෙලා නුඩ්ල්ස් පැකට් තුනක් අරන් ආවා. නුඩ්ල්ස් හදන වැඩේ බර උනේ මානවයාට. පැකට් තුනම එකට දාල ක්ෂණිකව හදපු මානවයා ඒක පිගන් දෙකකට සමව බෙදල එකක් තමන්ට අරන් උනන්දුවට කතා කළා. උනන්දුවා දුවගෙන ආපු ගමන් තමන්ගේ කෑම පිගන දිහා බලාගෙන කෑ ගහන්න ගත්තා.
"බෑ බෑ. උබ සමානව බෙදල නෑ. මට අඩුයි."
උනන්දුවා මානවයාට විරුද්දව යුද්ද ප්‍රකාශ කළා. මේ වෙනකොට තම තමන්ගේ ඇදවල් වලට වෙලා තමන්ගේ පාඩුවේ පොතක් බල බල, දුරකතනය ඔබ ඔබ, තිබිච්ච එකම කොම්පිතරේ age of empires ගහ ගහ හිටපු අපේ සගයෝ දහයකගේ විතර ඇස් එක සැරේටම එතෙන්ට ඇදිල ගියා.
"බලපන් මේ සමානව බෙදලා නැද්ද?" 
උනන්දුවගේ පිගාන ලගින් තමන්ගේ පිගන තියපු මානවයා ඇහුවා.
"නෑ නෑ. උබේ එකේ වැඩි. මගේ එකේ අඩුයි " බැලූ බැල්මටම සමානයි කියල පෙනුනත් උනන්දුවා දිගටම කෑ ගහනවා.
"හරි දැන් මොකද්ද කරන්න ඕන."
"සමානව බෙදන්න ඕන"
"හරි මම මගේ එකෙන් උබේ එකට දාන්නම්. සමාන උනාම උබ කියපං" කියපු මානවය තමන්ගේ පිගානෙන් උනන්දුවගේ පිගානට නුඩ්ල්ස් දාන්න ගත්ත.
එක හැන්දයි
"හරිද?"
දෙකයි
"හරිද? "
තුනයි
"හරිද?"
සැහෙන්න ප්‍රමාණයක් දැම්මට පස්සේ උනන්දුවා "හරි" කිවා.
"උබට ෂුවර්ද සමානයි කියල" මානවය ඇහුවේ සෑහෙන්න වැඩිපුර පිරිලා තියෙන පිගානයි, අඩුවෙන් තියෙන පිගනයි දිහා බල බල.
"ඔව්. දැන් සමානයි." 
"හරි නේ. දෙකම සමානයි නේ. එහෙනම් උබ ඕක කාපන්, මම මේක කන්නම්." 
මානවය පිගන් දෙක මාරු කලේ උනන්දුවටත්, අපටත් උනේ මොකද්දැයි හිතා ගන්නත් කලින්.
මෙච්චර වෙලාවක්  උනන්දුවගේ මේ නාඩගම දිහා නිහඩව බලන් හිටපු ඇස් වලට පහලින් තිබ්බ කටවල් දහයකින් විතර එක සැරේට නගිච්ච හූවකින් කාමරේම පිරිලා ගියා. විනාඩි කීපයක් තිබ්බ හිනා හඩ අස්සේ උනන්දුව සද්ද නැතුව තමන්ට ඉතිරි උන අඩුවෙන් නුඩ්ල්ස් තියෙන පිඟාන අරන් පැත්තකින් වැඩි උනා. කොච්චර විලි ලැජ්ජාවක් උනත් ඉතින් ඊලග දවසෙත් නුඩ්ල්ස් පැකට් තුන බෙදාගෙන කන්නේ ඉතින් මේ දෙන්නම තමයි.
අමු කට්ට මැද්දේ, සුන්දර මතක තොගයක් ඉතිරි කරපු ජිවිතේ තවත් එක නවාතැනක් වුන හිදගලින් පස්සේ අපි පිලිවෙලින් රන්ජිතම්, නිෂ්මි ජයතිලක ශාලා වලට ගමන් කරලා එතනින් මේ අරුම පුදුම ලෝකෙට පය තිබ්බා.