Showing posts with label ප්‍රේමය. Show all posts
Showing posts with label ප්‍රේමය. Show all posts

Sunday, August 10, 2014

ප්‍රේමයේ අස්වැන්න |මතක සුවද දිගේ 3

සැලසුම් කරපු විදිහටම මං පහුගිය සතියෙ ලංකාවට පය තිබ්බා. නිවාඩුවකට කියලා ආවට මොකෝ හරිම කාර්යබහුල සතියක් තමයි ගෙවිල ගියේ. බ්ලොග් සටහනක් ලියන්න තියා කමෙන්ට් වලට පිලිතුරු සටහන් කරන්නවත් වෙලාවක් ලැබුනේ නෑ. පටන් ගත්ත මතක ආවර්ජනාවේ ඉතුරු කොටස හෙට වෙද්දි පල කරන්න ඕන. නමුත්, ඒක සම්පුර්න කරන්න ඉඩක් නොලැබෙයි වගේ. ඒක හෙට උදේ වෙද්දි පල කරන එක අනිවාර්යයෙන්ම කල යුතු නිසා කෙටියෙන් හරි සටහන් කරන්නයි මේ උත්සහ කරන්නේ.

සරසවියෙන් නික්මිලා එයා ඇගලුම් කම්හලක සේවයට බැදුනා. මාස කීපයක් තිස්සේ එයා ගෙවපු ඒ  කටුක ජීවිතේ එයාට වගේම ඒ වෙද්දි එයාගෙ පෙම්වතා වෙලා හිටපු මටත් හරිම අමාරු කාලයක්. පාන්දරින් අවදි වෙලා උයා පිහාගෙන ඇගලුම් කම්හලේ බස් එකට ගොඩවෙන ආපහු බෝඩිමට එන්නෙ රෑ 9පහු වෙලා. සමහර දවස් වලට ඊලඟ දවසේ උදේ වෙනකල්ම වැඩකරන්න වෙනවා. හෙම්බත් වෙලා ආපහු එන එයාගෙන් දුරකතන ඇමතුමක්වත් ලැබෙන්නෙ නැති දවස් බොහෝමයක් තිබුනා.

කොහොමින් කොහොම හරි, ඒ කටුක ජීවිතේ අතෑරලා එයා ආපහු ගෙදර ගියේ ගමේ පාසලේ ස්වේච්ඡාවෙන් උගන්වන බලාපොරොත්තුවක් එක්ක. නමුත් එයාට ටික කාලයක් ගෙදරට වෙලා ඉන්න උනා. ඒ මාස කීපයේදී එයාගේ රාජකාරිය උනේ ගඩොල් කපන එක. කාලයක් තිස්සේ එයාගේ හීනයක් වෙලා තිබුනේ කොහොම හරි ගෙයක් හදන එකයි. හැමදාම පුංචි පැල්පතක කල්ගෙවපු එයාගේ දෙමව්පියන් කොහොම හරි ස්ථීර වහලක් යටට අරන් යන්න ඕන කියන දේ එයාගෙ එකම බලාපොරොත්තුව උන බව මං දැනන් උන්නා. ඒ වෙනුවෙන් තමයි එයා ගෙදර අය එක්ක එකතු වෙලා මේ ගඩොල් කපන වැඩේ පටන් ගත්තේ. ඒ වෙද්දි මාත් විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා රැකියාවක් කරන්න පටන්ගෙනයි තිබුනේ.

උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන මගින් සංවර්ධන සහකාර තනතුරට එයාව බදවා ගත්තේ මාස කිහිපයකට පස්සෙයි. සංවර්ධන සහකාර තනතුර උනත් එයා කලේ ඉගැන්වීම. දැඩි ගුරු හිගයක් තිබ්බ එයාගෙම ගමේ පාසලේ උගන්වන්න එයා තෝර ගත්තා. වැඩිකල් නොගිහින්ම උතුරුමැද පලාතේ ගුරුවරු බදවා ගැනීමට ඉල්ලුම්පත් කැදවුනා. මාස කිහිපයකට පස්සෙ ගුරුවරියක් විදිහට ස්ථීර පත්වීමක් එයාට ලැබුනා.

මේ පත්වීම සතුට වගේම පුංචි අවුලකුත් අරන් ආවා. අවුරුදු 5ක් අති දුෂ්කර ඒ පාසලේම එයා ඉන්න ඕන. ඒ විතරක්ද? අවුරුදු දහයක් ඒ කොට්ඨාෂයේම සේවය කරන්න ඕන. තරුන කාලයේන් වැඩිකොටසක් සරසවියේ ගෙවපු අපට මේ කාලය හරිම ලොකු කාලයක්. මගේ වෘත්තීයට අනුව ලැබෙන රැකියාවක් කිසිම විදිහකට මේ වගේ ඈත ගමක නොලැබෙන බව දැනන් හිටපු මගේ හිතට මේක ලොකු අවුලක් උනා. ගමනා ගමන පහසුකම් ඇත්තෙම නැති මේ ඉසව්වේ එයා රැකියාව කරනවා කියන්නේ අපි දෙන්නට ඈතට වෙලා ජීවත්වෙන්න වෙනවා කියන එක මට දුර තියාම පෙනුනා. මනෝෂ්ගේ බ්ලොග් ඒකේ ලියවුනු මේ ලිපිය මාත්, එයත් වෙනුවෙන්ම ලියවුනු එකක් වගේ මට දැනුනේ ඒකයි.

මේ රැකියාව අතරතුරේම එයා එයාගේ බලාපොරොත්තුව ඉටුකර ගන්න අවශය කරන වටපිටාව සකස් කරමින් හිටියා. කාලය හෙමින් ගලාගෙන යද්දි ආයෙමත් දුක් බර මොහොතක් එලඹුනා. හදිසියේම මට මැදපෙරදිග කතරක රැකියාවක් ලැබුනා. එයාගෙන් ඈතට යන්න හිතක් නොතිබුනත්, අවසානයේ මං කටුනායකින් ගුවන්ගත වුනේ එයාගේ කදුලු කැට වලින් බර වෙච්ච හිතක් එක්ක. අවුරුදු එක හමාරක් හීනයක් වගේ ගෙවිලා ගියා. අපේ ජීවිත එක සැරේම නතර උනා වගෙයි මට දැනුනේ. හරිහට රිකතකයක් වගෙයි මට නම් ඒ කාලේ.

නමුත් එයාට ඒක එහෙම උනේ නෑ. එයාගේ ආදරේ වැඩි වැඩියෙන් මට දනුනු මේ කාලේදි, දැඩි උනන්දුවකින් එයා එයාගේ බලාපොරොත්තුවේ සැලසුම් ඇන්දා. පියවරෙන් පියවර ඉදිරියට ගිය එයා එයාලගේ දුප්පත් මැටි ගෙය වෙනුවට ස්තීර ගෙයක් ගොඩනැගුවා. කොයි වෙලාවේ හරි වැස්සකට බිමට පාත් වේවි කියලා බයෙන් හිටපු ඒ සෙවන වෙනුවට එයාගේ පවුල වෙනුවෙන්  ශක්තිමත් හෙවනක් හෙමින් ගොඩ නැගුවා. වෙලාවකට මටම පුදුම හිතුනා එයාගේ ධෛර්යය ගැන. ඒ වගේම හිතේ සතුට පිරුනේ එයාගේ මේ උත්සහයෙදි ලඟින් ඉදන් උදව් වෙන්න ලැබුන එක ගැනයි. ඒත් එයාට නම් ඒ නිවසේ ජීවත් වෙන්න අවසරයක් නොලැබෙන පාටයි.

පහුගිය සතියේ ලංකාවට පය තියපු මට සතුටින් උතුරා යන එයාගේ මූණ දැක ගන්න ලැබුනා. අවුරුදු දහයකට කලින් රතු ගවුමක් ඇදන් ඉද්දි මං දැකපු ඒ පුංචි දගකාර කෙල්ල දැං සෑහෙන පරිනත පෙනුමයි. ඒ විතරක්ද එදා ඒ නාදුනනා දැරිවි දැන් මගේ පෙම්වතී. නෑ.. නෑ. කාලයක් මගේ හිතවත්ම මිතුරිය, මට විරහ වේදනාව ගෙනා මගේ ඒක පාර්ශවීය ප්‍රේමයේ හිමිකාරිය, ආයෙමත් ටික කලෙකින් ප්‍රේමය අරන් මගේ ලගට ආ ඒ කෙල්ල. තවදුරටත් මගේ පෙම්වතිය නෙමෙයි. මුල් හමුවීමෙන් අවුරුදු දහයක්ටත් පස්සේ එලඹෙන හෙට දවසේ, තාමත් කපරාදු නොකල, ජනෙල් දොරවල් නොමැති එයාගේ ඒ දුප්පත් ගෙදරදී  එයා මගේ බිරිද බවට පත්වෙන්න නියමිතයි. ඔවු. පිටරටකට යන්න කලින් පොරොන්දු උන විදිහටම ආපහු ආ සැනින් එයා මගේ බිරිද කර ගන්නයි මේ සූදානම් වෙන්නේ. පවුලේ උදවිය විතරක් එකතු වෙන සරල විවහ උත්සවයකින් අපි දෙදෙනා හෙට උදේ විවහ වෙන්නයි නියමිත.
මේ දිග කතාව මට අරන් එන්න උවමනා වෙලා තිබුනේ මෙතනටයි. හැබැයි මෙතනින් ඉවර නොවී තව බොහෝ දුර මේ කතාව ඇදගෙන යන්නයි බලාපොරොත්තුව.




ප්‍රේමයේ අස්වැන්න 
නෙලා ගෙපැලට ගන්න අවසරයි
සෙනෙහසින් කිරි වැදී 
රන්වනින් කරල් බර වූ දිනේ
ප්‍රේමයේ අස්වැන්න 
නෙලා ගෙපැලට ගන්න අවසරයි

දෙකන්නේ මුදු වදන් වපුරුවා
නියං ගිනි අවිලුනත් හිත නිවා
සොරොව්වෙන් ගලා එන 
දියවරක් සේ ඇදෙයි
නුබේ සිත මට යමක් කියනවා.......

රෑ පැලේ පැදුර තනිපංගලේ 
සඳ මඩල පෙම් පුරන සක්වලේ
අඩහැරෙන් හී පොලේ 
අවදිවී යෞවනේ 
නුබේ හිත මට නැකත් ගෙනෙනවා.....

ප. ලි. -  පහුගිය පොස්ටුවේ කමෙන්ට් වලට පිළිතුරු ලියන්න වෙලාවක් හොයා ගන්න බැරි උනා. ඒ ගැන සමා වෙන්න. මේ ලිපියත් කලබලේට කොටගෙන කොටගෙන ගිය නිසා මෙලෝ රහක් නැතිව ඇති කියල හිතෙනවා. එත් ඔන්න ඔහේ publish බට්න් එක ඔබල දාන්නම්. 

Wednesday, July 30, 2014

ඔබ ආයෙමත් ඇවිදින් |මතක සුවද දිගේ 2


පළවෙනි කොටස මෙතනින් 

රජරට ඉදන් ඇවිත් හන්තාන පාමුල මං නවාතැන් ගෙන හිටපු හිල්ඩා ශාලාවෙන් හුවක විතර දුරකින් තිබ්බ රාමනාදන් ශාලාවේ එයා හිටියත් අපේ සබදතාව අනන්ත දුරකින් ඈතට ගියා. මුණ ගැහුණු අවස්ථා වලදි මග හැරලා ගිය බව මං පහුගිය ලිපියේ සටහන් කලා නේ. ඒත් වේදනාවෙන් තිබුණු මගේ හිතට නිවනක් දෙන්න එයාගෙ සූදානමක් තිබුනෙ නෑ.
විශ්වවිද්‍යාල ජිවිතේ මාස කිහිපයක් ගෙවිල ගියාට පස්සේ එක දවසක් මං  හිල්ඩා එකේ ඉදන් කිස් බෙන්ඩ් එක, පොලොන්නරුව, ගෙම්බා කැන්ටිම පහුකරන් WUS එකට යමින් හිටියේ සාහිත්‍ය උළෙලේ මොකක් හරි වැඩකට. 

"මද්දු"
පිටිපස්සෙන් ඇහුනු ආමන්ත්‍රණයෙන් මට කතා කරන්න එයා හැර වෙන කෙනෙක් සරසවියේ ඉන්න බෑ. ඔව්. පිටිපස්ස හැරිලා බලපු මං දැක්කේ ඒ දීප්තිමත් ඇස් දෙක තමයි.

"ආ.. කොහොමද?" 

"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා."

දෙවියනේ මෙයා කියන්න යන්නේ පහුගිය දවස් ටිකේ එහෙන් මෙහෙන් ආරංචි වෙච්ච කතාව ඇත්ත කියල වෙන්න ඇති. 

"කියන්න... මොකද්ද? "

"කෙනෙක් අපේ ගෙදරට මං ගැන යෝජනාවක් ගෙනාව. මම ඒ අයියට කැමති උනා." 

"හ්ම්.. මට ආරංචි උනා"   

වැඩි විස්තර ඇහිමේ උවමනාවක් මට තිබුනේ නෑ. 

එයාම අවුලපු ගින්නකින් මගේ හිත පිච්චේද්දී මගේ දුරකථන අංකය එයා ජංගම දුරකතනයට ඔබා ගත්ත බවක් මට යන්තමට වගේ මතකයි. 

විශ්වාස කරන්න බැරි මේ කතාවත් එක්කම පරණ තුවාලයක් ආයෙමත් අලුත් උනා. ඇත්තටම මට මේක විශ්වාස කරන්න බෑ. එයා මේ තරම් හදිස්සියකින් මෙහෙම තීරණයක් ගන්න හේතුව මොකක්ද කියලා නිශ්චය කරන්න මගේ තැළුණු-පෙළුණු හිතට හැකියාවක් තිබ්බේ නෑ. ඒත්, එයා මේ තීරණය ගන්න ඇත්තේ ඇත්තටම මේ තුන්වැන්නා ගැන තියෙන කැමැත්තකට වඩා වෙන මොකක් හෝ හේතුවකට කියලා මං විශ්වාස කළා. 

ආයෙමත් හිත් වේදනාවෙන් පිරිච්ච  මාස කීපයක්. ඊට පස්සේ ආයේ අපි මුණ ගැහුනේ නෑ. හිතේ ඉතිරි වෙලා තිබුණු පුංචිම පුංචි බලාපොරොත්තුවේ ආලෝකයත් එයා නිවලා දැම්ම. මේ මතකයන් එක්ක තවත් ජිවත් වෙන්න අමාරුයි.ඒ නිසා ඒවා අමතක කරන්න විදිහක් මං හොයන්න ඕන. ඉස්සරහට යන්න බැරිව එකතැන් වෙලා තියෙන මගේ ජිවිතේ අඩියක් ඉස්සරහට තියන්න මං තීරණය කළා. එයාට ඔය තරම් ඉක්මණින් කෙනෙක්ට කැමති වෙන්න පුළුවන් නම් මට බැරි වෙන එකක් නෑ. එකක් සැරේටම මං තීරණය කළා වෙන ගෑනු ළමයෙක් හොයා ගන්න. ඒත් කවුද?

බැච් එකේ මට හිතවත් ගෑනු ළමයි අතරින් මං කැමති එක බැචියක් ගැන හිතන්න මං තීරණය කළා. ඒ වෙනකොටත් ඇය අනිත් බැචියන්ට වඩා මාත් එක්ක ටිකක් හිතවත් කෙනෙක්. ඉතිං මං එයා ගැන හිතන්න කලින් ආයෙමත් හිතුවා. ඇත්තටම මං එයාට කැමතිද? එයාට ආදරේ කරන්න මට පුළුවන් වෙයිද? ඇත්තම ආදරයක් නැතුව කෙල්ලෙක් යාළු කර ගන්න එක සාධාරණද? වැරදිලාවත් මගේ හිත ඇත්තටම දිනා ගත්ත කැලෑ මල ආයෙත් ආවොත් මොනවා වෙයිද? මං හිතුවා. මොන දේ උනත් මගෙන් ඈත් වෙච්ච එයා ගැන පුංචි බලාපොරොත්තු බිදක් තවම ඉතිරි වෙලා තියෙන බවත්, කොයිම විදිහකින් හරි එයා ළඟට යන්න ඉඩක් ලැබුනොත් මං එක පයින් යන බවත් ඒ කල්පනා ලෝකෙදි මට තේරුණා. ඉතිං, මේ බොරු නාඩගමකින් මගේ හිත රවට්ටන ගමන්, තවත් කෙල්ලෙකුට අසාධාරණයක් කරන්න මගේ හිත කැමති උනේ නෑ. ඉතිං, ඒ සිතුවිල්ල, සිතුවිල්ලක් විදිහටම මලගම් ගියා. ඒත්, දෛවයේ සරදමකට වගේ පසු කාලෙක මේ බැචි ආයෙමත් මගේ හිත ව්‍යාකුල කළා. ඒ ගැන වෙනම සටහනක් ලියන්න ඕන. කොහොමහරි සිතුවිලි සංග්‍රාමය අවසානයේදී ආයෙමත් මං පරණ තැනටම වැටුනා. 

ආයෙමත් ආයෙමත් මාස කිහිපයකට පස්සේ දෙසැම්බර් මාසේ දවසක්. මහ රෑ මගේ ජංගම දුරකතයට කෙටි පනිවිඩයක් ආවා. 
"සුබ උපන්දිනයක් !" 
එදා wus එක ලගදි එයා මගෙන් ඉල්ල ගත්ත දුරකථන අංකය පාවිච්චි කරන්න හිතිලා.
"අක්ක දෙසැම්බර් නිවඩුවට ගෙදර එනව කිව්වා. ඔයත් ඇවිත් යන්න එන්න. අක්ක බලන් ඉන්නෙ ඔයාව දකින්න" 
පනිවිඩේ ඉතුරු ටික මාව පුදුම කලා. එයාගේ අක්කා මට තමන්ගෙ මල්ලිට වගේ සලකන කෙනෙක්. දෙසැම්බර් මාසේ  එයාලගෙ ගෙදර ඇවිත් යන්න කියලා අක්ක දෙතුන් සැරයක්ම මට කිවත් මං ඒක ප්‍රතික්ෂේප කරපු නිසා වෙන්න ඕන අක්ක මෙයා හරහා මේ පනිවිඩයක් එවන්නේ. ඊට සති දෙකකට විතර පස්සෙ විශ්වවිද්‍යාලයේ නිවාඩුවට මං ගෙදර ගියා. අක්කා නෙමෙයි කවුරු ආවත් ඒ පැත්ත පලාතේ යන්නෙ නෑ කියන දැඩි තීරණයකයි මං ඒ වෙනකොට හිටියේ. ඒත් කවදත් අකීකරු හිත අවසාන මොහොතෙදි මට බල කලා එයාලගෙ ගෙදර ගිහිල්ල එන්න යන්න කියලා. ඉතිං අන්තිමේ මං ඒ ගමට ආයෙමත් ගියා. ඒ ගෙදර හැම දෙනාම සුපුරුදු විදිහට මට සැලකුවත් එයා විතරක් වෙනස්. 

හැබැයි ඒ ගමන ආයෙමත් මට පුංචි බලාපොරොත්තුවක් ගෙනාවා. ඒ දවස් වලදිම එයා අර කලින් කැමති උනා කියපු යෝජනාවකින් මුන ගැහුනු මනුස්සයට අකමැත්ත ප්‍රකාශ කරලා තිබුනා. මේ නිසාම දෙපාර්ශවයෙන්ම එයා හොද හැටි බැනුම් අහපු බවකුත් මට දැන ගන්න ලැබුනා. ජිවිතේ මේ තරම් වැදගත් දෙයක් ගැන එයා මේ හිතුවක්කාරී තිරණ ගත්ත විදිහ ගැන මට පුදුම හිතුනා. එයා මේ යොජනාවට කැමති උනේ මට රිද්දන්න හරි, මාව ඈත් කරන්න හරි තිබ්බ උවමනාවටදෝ කියන සිතුවිල්ලක් මේ එක්කම ඇති උනා. කොහොමින් කොහොම හරි පුංචි පිදුරු ගහක හරි එල්ලෙන්න බලන් ඉදපු මං ආයෙමත් පුංචි බලාපොරොත්තුවක් ඇති කර ගත්තා. ඒත් ප්‍රේමය ඉල්ලගෙන එයා පස්සෙන් ගිහින් කරදර කරන්න නම් මට හිතුනෙ නෑ. ඒ වෙනුවට කාලයට ඉඩ දීලා මගේ ඒක පාර්ශවීය ප්‍රේමයට නිදහසේ ගලා යන්න ඉඩ ඇරලා බලන් ඉන්න මං තීරනය කලා. 

"අන්න මචං අර කෙල්ල අපේ ෆැකල්ටියේ කොල්ලෙක් එක්ක පොලොන්නරුවෙ මල් කඩ කඩ හිටියා"  
එයාගෙ ප්‍රේමය බලාපොරොත්තුවෙන් එයාගෙ බැචෙක් එන බව මං දැනන් හිටපු ඒ දවස් වල මට ඔය වගේ ආරංචි කීප සැරයක් ආවත් ඒ ගැන මං වැඩිය ගනන් ගත්තෙ නෑ. එයා සරසවියෙදි කිසිම විදිහකින් වෙන ප්‍රේම සම්බන්ධයක් ඇති කර නොගනී කියන විශ්වාසයක් ඒ වෙද්දි මගේ හිතේ ඇති වෙලා තිබුනා. එත් හිටි හැටියේ එක දවසක් හවස්වරුවේ  එයා ඔය කියන බැචා එක්ක දොඩමළු වෙවී රාමනාදන් එක පැත්තට ඇදෙනවා දැක්ක මොහොතේ  මගේ හිත මේ විශ්වාසයට අභියෝග කලා. මගේ හිත ටිකක් හෙල්ලුනු බව දැනගෙනද මන්දා,  මොකද්දෝ හේතුවකට එයා පලමු වසර විභාගය ඉවර වෙලා ගෙදර යන්න කලින් දවසේ රාමනාදන් ශාලාව ලඟදි මට මුණගැහෙන්න අවස්ථාවක් දුන්නා. වෙනදා වගේ ලෙන්ගතු කමින් නැතත් ගලාගෙන ගිය දොඩමළුව අතරේ මේ කියන කොල්ලා එයාගෙ පස්සෙන් ඇවිත් කරදර කරන බවත්, එයා ඒකට කැමති නැති බවත් කියන්න ඉඩක් එයා හොයා ගත්තා. 

එයාගේ සරසවි ජීවිතේ ඉතිරි වසර තුනත් ලොකු වෙනසක් නැතිව හෙමිහිට ගලාගෙන ගියා. ඒක පාර්ශවීය ප්‍රේමයත් දරාගෙන මගේ හිතත් මේ අවුරුදු හතර ගෙවපු හැටි මටමම පුදුමයි. මේ කාලේ ඇතුලත සමීප හිතවත් කමින් ඇසුරු කරපු හිතවතියෝ කිහිපදෙනෙක් හිටියත්, කිසි කෙනෙක් ගැන මිතුරු කමට එහා සබදකමක් ඇති කර ගන්න මගේ හිත ඉඩක් දුන්නේ නෑ. බොහෝ වෙලාවට සංසුන්ව තිබ්බ හිත, ඉදලා හිටලා එයා මතු වෙලා අවුල් කරපු අවස්තා නම් බොහෝමයක් තිබුනා. ඉස්සර තිබුනු ලෙන්ගතු කම නැතුව උනත්, මගෙත් එක්ක තිබ්බ සබදකම එයා සජීවීව තියා ගත්තා. එයා ලග දුරකතනයක් නොතිබුන ඒ කාලේ සති දෙකකට සැරයක් විතර රාමනාදන් ශාලාවේ දුරකථන පෙට්ටියට  පහේ කාසියක් ඔබලා මට කතා කරන්න විනාඩි කීපයක ඉඩක් එයා හොයා ගත්තා. බොහොම පරිස්සමින් මාව ඇසුරු කරපු එයා, බොහෝ වෙලාවට අවධානයෙන් ඉදිරියට යන්න කියන කහ එලිය දැල්වුවත්, හිටි හැටියේ රතු එලි දල්වලා මාව ව්‍යාකූල කලා. හැබැයි එයා කිසිම දවසක මට අලුත් බලාපොරොත්තු ඇති වෙන විදිහේ කොළ එළියක් නම් දැල්වුවේ නෑ මට. මේ අවුරුදු කිපයටම එක වරක් හෝ දෙවරක් අහම්බෙන් වගේ නුවර ඉදන් රජරටට ඉගිලෙන බස් එකක එයා එක්ක යන්න අවස්තාවක් ලැබුනා. ඒත් බොහෝ වෙලාවට එහෙම අවස්ථාවක් ලැබෙන්න තියෙන ඉඩ කඩ අහුරලා දාන්න එයා හොද හැටි දැනන් හිටියා. දැන දැනම මඟහැරපු ඒ වගේ අවස්ථාවල මගේ හිත බිදුනත් හිටි හැටියෙම කොහෙන් හරි මතුවෙලා ආයෙත් ඒ හිත හදාගන්න විදිහක් එයා හොයල දුන්නා. ඔය අතරේ තෙවෙනි වසරෙ අන්තිමේදි වගේ ප්‍රථම වතාවට මං එයා මුන ගැහිලා කැමැත්ත ඉල්ලා සිටියා. ඒත් රාමනාදන් ශාලාවේ ඉදන් මට ආපහු එන්න උනේ හිස් අතින්මයි. ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්න එයා අකමැති බවත්, එයා වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන තවත් ඉන්න එපා කියන එකයි එයාගෙ පිලිතුර උනේ. එයා වචනෙන් කීව දේ සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න මං කැමති උනේ නෑ. මොහොතකට සසල වෙලා ගියත් ටික දවසකි හිත අයෙමත් පරන තැනටම ආවා. 

එයා සරසවියේ වසර හතර තනිකඩව අවසන් කරද්දි අහම්බයක් නොවන වන විදිහට මුන ගැහිලා තිබුනේ හතර පස් වතාවක් විතරයි. අවුරුද්දක් ගානේ සරසවිය හැඩවෙච්ච රොබරෝසියා වසන්ත වලදී මගේ හිත එයාගේ කුඩේ යටින් ඇවිදන් ගියත්, ඇත්ත ලෝකෙදි මටවත් වෙන කෙනෙක්ටවත් ඒ වාසනාව ලැබුනේ නෑ. සරසවියෙදි අපි වඩාත්ම රසවත් වෙච්ච සරත්චන්ද්‍ර වලේ දි ඉදහිට මට ඒ ඇස් මුන ගැහුනත් ඒවා රැදුනේ ප්‍රේක්ෂකාගරයේ වෙනත් කෙලවරකයි. සැහැල්ලුවෙන්, ප්‍රිතියෙන් මිතුරන් අතරේ ගෙවිච්ච් සරසවි දිවියේ  මතක අතරේ, එයත් මාත් හිටියෙ ලෝක දෙකකයි. සරසවි දිවියේ කෙලවරට ලගා වෙද්දි, තරුන ජීවිතේ වැදගත්ම කොටසක් සැහැලුවෙන් සුන්දර බිමක ගෙවන්න ලැබිච්ච ඒ ඉඩකඩ තනිකඩව ගෙවලා දාපු අපි දෙන්න වෙනුවෙන්ම මගේ හිතේ කනගාටුවක් ඇති උනා. අවසානයට ආයෙමත් සමුගැනීමක්. වසර හතරක උපාධියක් උනත් අපේ පාඨමාලාව ටිකක් දිගට ඇදෙන නිසා, මට මාස හත අටකට කලින් මේ ගැහැනු දැරිවි සරසවියෙන් මිදිලා සැඩ සුළං පිරිච්ච ජීවිතේට ඉගිලුනා. 

නෑ. ඒ තරම් ලේසියෙන් එයාට මේ සැරේ සමු ගන්න දෙන්න බෑ. සරසවියෙන් පිටත්වෙන්න දවස් කීපයකට කලින්  එයාගේ උපන්දිනය එළබුනා. ඒ වෙනුවෙන් පුංචි තෑග්ගක් මිලදී ගත්ත මං එයාව මුණ ගැහෙන්න අවස්ථාවක් ඉල්ලුවේ ඒක එයාට දෙන්න. ඒ විතරක් නෙමෙයි එයාගේ ජීවිතේට ඇතුල් වෙන්න මට ඉඩක් දෙන්නවද නැද්ද කියන තීරණයත් එදාට නිශ්චිතවම ලබා දෙන්න කියන ඉල්ලීමත් මං ඉදිරිපත් කලා. මේ අවසාන වතාවයි. සරසවියෙන් පිට වෙද්දිවත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනෙ නැත්නම් තවත් බලාපොරොත්තු එකතුකරන් ඉන්නෙ නැතුව එයාට මගේ ජිවිතෙන් යන්න දෙන්නමයි මං තීරනය කලේ. ඒත්, එයාගේ ප්‍රතිචාරය මගේ හිත මොහොතකට එලියක් අරන් ආවා. මාව පුදුමයට පත් කරමින් එක සැරේටම එයා උපන්දිනය දවසේ උදේ මාව මුණගැහෙන්න එන්න කැමති උනා. ඒත් එදා උදේ එක සැරේටම එයාගෙන් ආපු කෙටි පනිවිඩයෙන් කියවුනේ මුණගැහෙන්න එන්න බැරි වෙන බවයි. යන්තම් බලාපොරොත්තුවක් මතු වෙන්න හදද්දිම ඒක පාගලා දැම්මා වගෙයි මට දැනුනේ. ඒත් ඊලග දවසේ දවල් රාමනාදන් ශාලාවෙදි අපි හමු උනා. පොදු කාමරේ පුටු දෙකකට වෙලා අපි සෑහෙන වෙලා කතා කලා. මං මගේ ඉල්ලීම කරලයි තියෙන්නේ.ඒත් එයාට ඒක මතකවත් නැති ගානයි. අවසානයේදි ආයෙමත් ඒ ප්‍රශ්නෙම අහන්න මං සූදානම් වෙද්දිම, එයා ඉස්සර වෙලා එයාගේ පිළිතුර ලබා දුන්නා. රාමනාදන් එකේ ඉදන් ආපහු ෆැකල්ටියට ආපු හැටිවත් මට මතකයක් තිබුනෙ නෑ. පීඨයේ බයික් කට්ට නවත්තලා බැහැපු මගේ මූන දැක්ක මගේ බැචියක් වෙච්ච ලීනියා අහපු ප්‍රශ්නෙ නිසයි මං පියවි ලෝකෙට ආවේ. 

"වීරෙ මොකද ඔච්චර සතුටෙන්. ගෑනු ළමයා කැමතී කියලවත් කීවද? 

"ඔව් නේ බං" 

ඔව්. ඔව්. එයා කැමතී කියලා තමයි කීවේ. මුල් හමුවීමෙන් අවුරුදු හතකට පස්සේ, එකම සරසවියෙ අවුරුදු හතරක් ගෙව්වටත් පස්සෙ අන්තිමේ එයා කැමැත්ත ප්‍රකාශ කලා. වෙලාවකට මට හිතා ගන්නත් බෑ. මෙච්චර කාලයක් ලගපාත හිටියත් හිතින් ඈත හිටපු එයා, සරසවි ජිවිතේට සමු දීලා ඈතට ඉගිලෙන්න හදන මොහොතේ එයා හිත මගේ ලග තියලා යන බව කිවා. මේ එක සැරේටම වුනු වෙනසක් නොවන බව මට හිතුණා. ඒ ගැන අතුරු ප්‍රශ්න ගනනාවක් එක සැරේ පැන නැංගත් හිතට දැනිච්ච හැගීම අතරේ ඒ ප්‍රශ්න නිකම්ම දියවෙලා ගියා වගේ. අවුරුදු කීපයකට කලින් මාව දාලම ගියා කියල හිතුව කෙනා එක සැරේම මෙන්න මගේ ලගටම ඇවිත්. 


ඔබ ආයෙමත් ඇවිදින් 
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් 

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණිද මොන තරම් 
නුබ නොදැක් සිටි දිගු කාලයේ 
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්.....

දෑස අග මල් පිපී සැලුනත් කොයි තරම් 
එක මලක්වත් සුවද නැති විය ඔබ තරම් 
නුබ නොදක සිටි ඒ කාලයේ
නෙත කදුළු මැකුනා විතරමයි 
ඔබ ආයෙමත් ඇවිදින්........


 ඒ මුන ගැහීමෙන් දවස් කීපයකට පස්සෙ එයා සරසවියෙන් ගියා. රජරටට තමයි. හැබැයි පාසැල ගමන ඉවර කරලා ගියා වගේම එයා සරසවි ගමන ඉවර උන ගමන්ම ගිහින් නතර උනෙත් ඇගලුම් කම්හලක.

"අම්මා ආයෙත් ෆාම් එකේ වැඩට යන්න හදනවා. මට බලං ඉන්න බෑ නේ" 
ඒ එයාගෙ හේතුව.  

කලින් කොටසේ වගේ කනගාටුදයක් නොවුනත් මේ අවසානය සෑහෙන ගැටලු ගොඩක් තියෙන එකක් තමයි. මං හිතන්නේ කාලෙකට කලින් මං ලියපු මේ ලිපියෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. 

ඒත්, මේ කතාව එතනින් ඉවර උනෙත් නෑ. 

පින්තුරය - https://www.facebook.com/media/set/?set=a.236857103134566.1073741828.215897228563887&type=1
ප.ලි. - දෙවෙනි කොටස ලියුවොත් පලවෙනි කොටසේ රහ නැති වේවි කියල මේ කොටස ලියල පල කරන එකට මගේ මිතුරියක් සැහෙන්න විරුද්ධත්වය පල කළා. ඇත්ත තමයි. විරහ වේදනාවෙන් ඉවර වෙච්ච පලවෙනි කොටසේ රසය මේකෙන් නැති උනා තමයි. එත්, මේක ප්‍රබන්ධ කතාවක් නොවන නිසා ඉතිරිය නොලිය ඉන්න එක කියවන අයට කරන අසාධාරණයක් කියලයි මං හිතුවේ.

Thursday, July 17, 2014

තනි තරුවේ | මතක සුවද දිගේ

image - http://www.mellman.org/bill/camping/wbw00/textlist.html

ගම රට බලා යන්න තියෙන්නෙ තව සති දෙකයි. කම්මැලිකම පැත්තකින් දාලා මේ කතාව ලිවිය යුතුමයි. ඔව්.. ඉක්මනින්ම. මේ ඒකට හරිම කාලය. ලංකාවට පය ගැහුවට පස්සෙ ජිවිතේ ලොකු වෙනසකුත් සිද්ද වෙන්නයි සැලසුම් හැදිල තියෙන්නෙ. එතනින් පස්සෙ ජිවිතේ කොයි අතට ගලයිද කියල තාමත් නිශ්චිතවම කියන්න බෑ. ඉතින් ඊට පෙරාතුව මේ ගැන ලියන්න ඕන.  

මීට අවුරුදු දහයකට කලින්. ඒ මං පලමුවර උසස්පෙලට මුහුන දෙන්න සූදානම් වෙන කොල්ල කුරුට්ට කාලේ. මං ඒ වෙද්දි නැවතිලා හිටියෙ පර්ලි ඇන්ටිගෙ බෝඩිමේ.හදිස්සියේම වගේ බෙල්ලෙ මතු වෙච්ච ගැටිත්තක් පැපොල කියල අඳුර ගත්ත නිසා අනිවාර්යය නිවාඩු අරන් ගෙදර යන්න උනා. ලෙඩේ අමාරුවට වඩා වැඩී කාමරයකට වෙලා එලියට බහින්නෙ නැතුව ඉන්න ගියාම තියෙන අමාරුව. දවස් ගානක් කාමරේකට වෙලා ඉඳලා, ඉඳලා, ඉඳලා, ඉඳලා අන්තිමේ එලියට බහින්න අවසරේ ලැබුනට පස්සෙ ගමේ ඉන්න මගේ එකම පාප මිත්‍රයා වෙච්ච බීඩියා එක්ක එහාට මෙහාට රවුම් ගහන්න ගත්තා. දවස් දෙකකට විතර පස්සෙ දවසක මෙහෙම ඇවිද ඇවිද ඉදලා බීඩියාලගෙ ගෙදර අඹ ගහෙන් කඩා ගත්ත අඹ මල්ලකුත් අරන් අඳුර වැටීගෙන එන වෙලාවේ අපේ ගෙදරට යන දෙවට දිගෙ ගාටනකොට  තමයි මට කෙල්ලො දෙතුන් දෙනෙක්ගෙ සිරික්කියක් ඇහුනේ. ආය ඉතින් කෙල්ලෙක්ගෙ කටහඩක් ඇහුනම් විපරම් නොකර ඉදලා හරියනවද? එබිකම් කරල බැලුවා අපේ අල්ලපු වත්තට. කලින් කවදාවත් දැකපු නැති කෙල්ලො දෙන්නෙක් ඇන්ටිත් එක්ක මිදුලට වෙලා කතා බහ කර කර ඉන්නවා.

"ආ.. මද්දු පුතේ, පොඩ්ඩක් මෙහාට වරෙන්කො බං. " 

මාව දැකපු අපේ හිතවත් ඇන්ටි මට කතා කලා.
දුක සැප විමසන ගමන් මං එකතු කරගෙන ආව කොහු අඹ වලින් සෑහෙන කොටසකට විද්ද ඇන්ටි මට ඒ කෙල්ලො දෙන්නව අදුන්නලා දුන්න.

"මේ තමයි අපේ ගෙදර බෝඩින් වෙලා ඉන්න කෙල්ලො දෙන්න." 


හ්ම්.. වියලි කලාපෙ සුපුරුදු පෙනුම තියෙන ගැටිස්සියො දෙන්නෙක්. තනි කරලට ගොතපු කොන්ඩා. ‍අව්වෙන් වර්ණ ගැන්වුනු මුහුණු. මල් මල් ගවුම් දෙකක්. කටකාර කමේ නම් අඬුවක් නෑ. එතනින් එක කෙල්ලක් ඇදන් හිටපු රතු පාට ලොකු මල් වැටුනු ගවුම මගේ මතකයෙ අමතක නොවන විදිහට සටහන් උනේ කිසිම හේතුවක් නැතිව. මං වැඩිය මේ කෙල්ලො ගැන නොතකා හිටියට, හොදින් දන්න අදුනන කෙනෙක් වගේ මාත් එක්ක කතා බහ කලා.

"ඔය කෙල්ලො හරිම දුප්පත් පුතේ. උසස් පෙල කරන්න මෙහෙ නැවතිලා ඉන්නෙ."

පස්සෙ වෙලාවක මුණ ගැහුනු වෙලාවක ඇන්ටි වැඩිදුර විස්තර ඉදිරිපත් කලා. පොලොන්නරුව දිස්ත්‍රිකයේ කෙලවර තියෙන මායිම් ගම්මාන දෙකකින් තමයි මේ ගෑනු ළමයි දෙන්න නගරෙට ඇවිත් තියෙන්නෙ උසස්පෙල කරන්න. අල්ලපු ගෙදර අපි නිතර යන එන තැනක් නිසාම එතැන ඉදන් සතියක් විතර මං ගෙදර ඉදපු දවස් කිහිපයේදි මං මේ ගමේ ගොඩේ කෙල්ලන්ගෙ සමාගමට වැටුනා නොදැනීම. මේ මිත්‍ර සමාගමේ කෙල්ලො තුන්දෙනෙක්, අල්ලපු ගෙදරට ඇන්ටි, අපේ ලොකු මලයා සහ මං හිටියා.  මාසෙකට සැරයක් වගේ සති අන්තෙක ගෙදර එන මට ගමේ හිටපු සීමිත මිතුරු පිරිස අතරට මේ ගෑනු ලමයි තුන්දෙනා එකතු උනා.

ටික කාලෙකින් මේ බොඩිමෙන් ගෑනු ලමයි දෙන්නෙක් ඉවත් වෙලා ගියත් එක කෙල්ලෙක් ඉතුරු උනා. ඒ අර රතු ගවුම් කාරී. ඇය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ගඟෙන් එගොඩ ගම්මානෙකින් ඉදන් ආ කෙනෙක්. මාවිල් ආරුවෙන් පටන් අරන් නැගෙනහිර පලාතේ ඇවිලිලා ගිය යුධ ගිනිවල උනුහුම තදින් දැනුනු ගමක් ඒක. පොලොන්නරු දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමට අනන්‍ය වුනු හුදෙකලා ගම්මානයක්. ආසන්නයේම තියෙන වැලිකන්ද නගරයේ ඉදන් සෑහෙන දුරක් කැලෑවක් මැදින් වැටී තියෙන පාරක් දිගේ ගමන් කලාම තමයි මේ මහවැලි ගම්මානයට එලඹෙන්න ලැබෙන්නෙ. කදුරුවෙල ඉදන් මහ දුරක නොවුනත් මේ ගම්මානයට යන එන එක හරිම අමාරු කටයුත්තක්. ඒ වැලිකන්දේ ඉදන්  මේ ගමට සේන්දු වෙන බස්රථවල හිඟය නිසා. කොටින්ම කියනව නම් කොළඹ ඉදන් වැලිකන්දට එන එක ලේසී, වැලිකන්දෙ ඉදන් ගමට යනවට වඩා කියලයි අපි කියන්නෙ.

හැම මහවැලි ජනපදයකම වගේ මේකත් ගොවිතැනත් එක්ක බැදිච්ච ගමක්. හැම ගෙයක්ම ගොවි ගෙයක්. සාමාන්‍ය පෙල දක්වා විතරයි බොහෝ විට ලමයෙක් පාසල් යන්නෙ. පාසල් හැර ගිය තරුනයන්‍ට උරුම රැකියා දෙකයි. එකක් ගොවිතැන. අනෙක ආරක්ෂක අංශය. ඒකෙනුත් ග්‍රාමාරක්ෂක සේවාව විශේෂයෙන්. බොහෝ ගැහැනු ලමයි තුරුනු විය එලබෙනවාත් එක්කම කාගේ හෝ බිරිදක් බවට පත්වෙනවා. හමුදා කදවුරක් කේන්ද්‍රගත වෙලා තියෙන එක මේකට තවත් රුකුලක් වෙලා. ඒ හැරුනම ඉතිරි තරුනියෝ නිදහස් වෙළද කලාප වල ඇගලුම් කම්හල් වලට ගාල්වෙනවා. මේ ගෑනු ළමයාගේ සමවයසේ කෙල්ලන්ගෙන් ඒ වෙනකොට උසස්පෙළ කරන්න ඉතිරි වෙලා හිටියෙත් මෙයත්, මෙයාගේ ලගම මිතුරියත් විතරයි. ඇත්තටම මේ ගම්මාන  වල සංස්කෘතියේ ඛේදවාචකය පෙනෙන්නෙ ලමා අපචාර, ලමා මවුවරු වගෙ සංඛ්‍යා දත්ත දිහා බැලුවමයි.

මේ රතු ගවුම් දැරිවි ගේ අම්මා තාත්තත් මහපොලව එක්ක හැප්පෙන  ගොවියෝ. සාමාන්‍යපෙලින් පස්සෙ පාසල අතෑරලා ගිය ඇගේ අක්කා ඒ වෙනකොටත් නිදහස් වෙලද කලාපයක කර්මාන්ත ශාලාවක හිර වෙලා. දුප්පත්කමේ පතුලේ හිටියත් එයාගේ දෙමව්පියන් එයාට උගන්වන්න මහන්සි ගත්තා. ඒ නිසාම ඇය උසස්පෙල හදාරන්න නගරයට එන්න ලැබුනා. මිතුරියක් විදිහට මට නගරයේදි මුන ගැහුනේ මෙන්න මේ ගැහැනු දැරිවි. ඒ වෙද්දි එයාගේ එකම බලාපොරොත්තු වෙලා තිබ්බේ සරසවියට ඇතුල් වෙලා දෙමව්පියන් දෙන්නගේ බලාපොරොත්තුව සඵල කරන එකයි.

අනිත් යෙහෙලියන් දෙන්නා ඇයව මේ බොඩිමේ තනිකරල ගිය නිසා හුදෙකලා උනු ඇය ඒ  අතරේ මාත් එක්ක වඩාත් හිතවත් වුනා. අඟ හිඟකම් මැද්දේ උසස්පෙලට සුදානම් වෙන අතරේ ඉදහිට මතුවෙච්ච ගැටළු වලදි සහයට ඇගේ ලග හිටියෙ අපේ මලයත්, මාත්. කාලයත් එක්කම මං ඇගේ විශ්වාසවන්තම ලගම මිතුරෙකුත්, ඈ මගේ හොදම මිතුරිය බවටත් පත් වුනා. ඇයත් මාත් මෑතකදි හිතවතුන් උනාට මොකෝ අපේ අම්මලා සෑහෙන කාලෙකට කලින් ඉදන් හිතවත් අය බව මං දැන ගත්තෙ ටික කාලෙකට පස්සෙයි.
තරුනයෙකුත් තරුනියකුත් අතර හිතවත්කමට කන කොකා අඬන පෙරලියක් මේ අතර තුර හොර රහසේම සිදුවෙමින් තිබුනා.  ඒ මගේ හිත නොදැනීම මිතුරු කමට එහා හැගීමකින් පිරෙන්න පටන් ගත්ත එකයි. ඉතාම සමීපව ඇසුරු කරපු නිසාම ඇගේ ගති ගුන, රූපයට නිකම්ම මගේ හිත ආකර්ශනය උනා. අදටත් මට නිතරම  මතක් වෙන ඇගේ සුන්දර සිනහවට මං ලෝබකම් කරන්න ගත්තා. බොහොමයක් වෙලාවට පෙනුන අහිංසක කමට වගේම හිටපු ගමන් මතුවෙන දගකාර නපුරු කම අතරෙ මං අතරමං වෙන්න පටන් ගත්තා. මේ හැගීම අවසන් වෙන්නේ කොතැනද කියල දැනන් නොහිටියත්, මේ හැගීම භයානක බව මං දැනං හිටියා. සරසවිය සහ එතනින් එහා දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කරන අරමුනේ තදින් බැදිලා හිටපු මේ හිතවතිය කිසිම දවසක ප්‍රේමයකට ඉඩක් දෙන්නෙ නැති බව මං අනුමාන කලා. ඒ විතරක් නෙමෙයි මේ රහස එලිවෙන දවසට එයාගෙත්, මගෙත් යාලුකම පවා අවසන් වෙන බව මං දැනං හිටියා. ඒ නිසා හැකිතාක් කාලයක් මේ රහස සගවගෙන තියාගෙන ඉන්නයි මට උවමනා උනේ.

ඔය අතරේ එක දවසක් හදිසියේම මට එයාගෙ ගෙදර යන්න අවස්ථාවක් ලැබුනා. සුනාමි ඛේදවාචකට කලින් දවසේ උදේ එක සැරේම අපි එයාලගෙ ගෙදර පාර හොයාගෙන ගියා. එයාලගෙ මිදුලෙ නවත්වපු ත්‍රීරෝද රථයෙන් බිමට බැහැපු මගේ හුස්ම මොහොතකට නතර උනා. දෙවියනේ! මේ එයාලගෙ ගෙදරද? අපිත් එක්ක නිතරම හිනාවෙන, ලග ඉන්න වෙලාවට මගේ හිතම ජීවයෙන් පුරවන් මේ කෙල්ල ජිවත් වෙන්නෙ මේ මැටි පැලේද? ඔව්. ඒක කටු මැටි පැලක්. එක කාමරයක්, පුංචි සාලයක්, කුස්සි කෑල්ලක් තිබ්බා මේ පැලට. දෙසැම්බර් මාසේ වැස්සත් එක්ක කට මට්ටමට පිරිච්ච වැව ලඟ නිසාද කොහෙද මැටි බිම දිය උල් අල්ලලා තිබ්බා වගෙ මට යාන්තමට මතකයි. අපි හතර පස්දෙනාට වාඩි වෙන්න ඒ ගේ ඇතුලෙ ඉඩක් නොතිබුනු නිසාම මිදුලෙ තියා ගත්ත ප්ලාස්ටික් පුටු වලයි අපි වාඩි උනා. එදා හවස මං ආපහු ආවේ හොදහැටි තැලුණු පෙලුනු හිතක් එක්කයි. 
image - http://www.sutratechnologies.com/projects/

අපේ අම්මයි, තාත්තයි සිලි සිලි මල්ලක ඇදුම් කඩමාල් ටිකක් දාගෙන කොලු පැටව් දෙන්නෙක් එක මහවැලි කලාපෙට සේන්දු වෙච්ච ඒ මුල් කාලේ අපිත් හිටියෙ මැටි ගේක තමයි. ඒත් අම්මගේ, තාත්තගෙයි දිරියට පිං සිද්ධ වෙන්න අපි ඉක්මනින් තරමක් හොද ගෙදරකට ගියා නේ. ඒ වගේම හොද මටමේ ගෙයක් නොවුනත් අපි ජීවත්වෙන ගේ පිලිවෙලට හදපු ස්තීර  හෙවනක් නේ. ඒත් හයදෙනෙක් ජීවත්වෙන ඒ මැටි ගේ නිසා මගේ හිත එයා වෙනුවෙන් සෑහෙන්න දුක් උනා.  ඒ වෙනකොට හිතේ මෝදු වෙලා තිබ්බ ප්‍රේමය පැත්තකට කරලා දිගටම මිතුරෙක් විදිහට එයාට උදව් වෙන්න මං හිතා ගත්තා.

ඒත් හිත ඒ තරම් ලේසියෙන් නවත්ව ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. දවසින් දවස ඇගේත් මගෙත් හිතවත්කම වැඩි වෙන අතරේ මගේ හිත වඩ වඩාත් මුරන්ඩු වෙන්න ගත්තා. කරදර බාධක අග හිඟකම් මැද්දේ ඇය උසස්පෙලට නොසැලී  සූදානම් වෙන විදිහ මාව පුදුම කලා. මං විභාගෙට සූදානම් වෙච්ච උදාසීන ගතියත් එක්ක මගේ ප්‍රතිඵල ගැන මං හොද හැටි දැනන් හිටියත් එයා නම් අනිවාර්යයෙන්ම උසස් ප්‍රතිඵලයක් ගන්න බව හැම දෙනාම දැනන් හිටියා.

විභාගෙ අවසන් වෙලා එළඹුන සමු ගැනීමේ මොහොත හරිම දුක්බර මොහොතක් උනා. පාසල් ජීවිතේට සමුදීලා ඇය පිටත් උනේ ආපහු ගමට නෙමෙයි. ගමේ බොහෝ තරුනියන්ගේ නවාතැන් පොලක් උනු නිදහස් වෙළද කලාපයක ඇගලුම් කම්හලක රැකියාවක් හොයාගෙනයි එයා ගියේ.  මේ සමුගැනීමට කලින් මගේ හිතේ එයා ගැන ආලවන්ත හැගීමක් තියෙන බව කියන්න හිතුනත් යන්තමින් හෝ මිතු දමක් සජීවීව තියා ගන්න ලැබෙන අවස්තාව නැති වේවි කියන බයෙන් මං පැකිලුනා. අවසානයේ මුල්ම වතාවට මගේ හිතේ ප්‍රේමණීය හැගීමක් ඇති කරපු දැරිවිය සමු අරන් ගියා. නැවත මුණගැහෙන දවසක් තියා අඩුම තරමේ මුණගැහෙන්න අවස්තාවක් වත් ලැබෙයිද කියලා අපි දැනන් උන්නෙ නෑ.

ඒත් මං ඒ තරම්ම අවාසනාවන්ත උනේ නෑ. ඇගලුම් කම්හලේ ගෙවෙන ජීවිතේ අතරේ ඉදහිට මං වෙනුවෙන් අකුරු ටිකක් එවන්න එයාට අමතක උනේ නෑ. දුරස්වේවි කියලා හිතුන හිතවත්කම තවත් ශක්තිමත් කරන්න එහා මෙහා ගිය ලිපි වලට පුලුවන් උනා. ඒ විතරක් නෙමෙයි, පිටු ගනන් ලියවුනු එයාගේ අකුරු බොහෝ වෙලාවට මගේ හිත තවත් ආකූල කලා. මාස කීපයකට පස්සේ උසස්පෙල ප්‍රතිඵල නිකුත් වෙනවත් එක්කම බිදවැටිච්ච බලාපොරොත්තුවකුත් එක්ක එයා ආපහු සුපුරුදු ගම්මානෙට ආවා. ඉතාම හොද ප්‍රතිඵල තිබුනත් එයාට සරසවි වරම හිමි වෙලා තිබුනේ නෑ. මං ගැන නම් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ. 

දෙවෙනිවර විභාගයට අපි දෙන්නම සූදානම් වෙච්ච කාලේ මට නම් ඒ තරම් හොද කාලයක් උනේ නෑ. හිතට වද දෙන කරදර කීපයක් අපේ ගෙදරට කඩා වැටුනත් කලින් සැරේට වඩා උනන්දුවකින් මං විභාගෙට සූදානම් උනා. ඉදහිට එහාට මෙහාට ගිය ලියුම් කරදහි වලින් අපේ හිතවත් කම අඩු නැතිව ගලාගෙන ගියා විතරක් නෙමෙයි කරදර මැද්දේ හිටි මගේ හිතට සැනසිල්ල අරන් ආවා. විභාගෙ අවසන් කරලා මං ආයෙමත් රජරටට එද්දි එයා බැංකුවක තාවකාලික රැකියාවක් හොයන් තිබුනා.

මේ කාලේ ආයෙමත් ඇයට කරදර ගොඩකට මුහුන දෙන්න වෙච්ච කාලයක්. යුද්ධය ඇස් මානේ ඇවිලෙන්න ගත්තා. "වැලිකන්දේ බස් දෙකකට ක්ලේමෝ තියලා" කැබිතිගොල්ලෑවේ බෝම්බෙ පුපුරවලා ටික දවසකින් ඇහිච්ච කතාවට මගේ හිතම පිච්චිලා ගියා. ඒ එයා උදේ හවා යන එන බස් එක. වාසනාවන්ත විදිහට ඒ බෝම්බ දෙක උදේ සෝදිසි මෙහෙයුම් කරපු හමුදාවට අහු වෙලා තිබුනා. ඛේදවාචකයක් වෙන්න අවස්තාවක් නොලැබුනත් ත්‍රස්තවාදීන් නිතරම ක්‍රියාකාරී ප්‍රදේශයක් නිසාම බයෙන් තමයි එයාලට ජීවත්වෙන්න උනේ. හැමදාම කන් මානේ කාලතුවක්කු ගිගිරුවා. ඉදහිට වැලිකන්ද නගර මානයටත් උන්ඩ පාත් උනා. කොටින්ගෙන් වෙන් වෙච්ච කරුනා කන්ඩායම ආයුධත් එක්ක එලිපිට සැරිසැරුවා. යුද්ධය නිසා තමන්ගෙ ජීවිකාව වෙච්ච ගොවිතැන අත හරින්න එයාගේ දෙමව්පියන්ට බල කෙරුනා. තමන්ගෙ දරු පවුල තනි කරලා කම්කරු රැකියා හොයාගෙන ඈත පළාත් වලට ඇදිලා ගිය පිරිසට එයාගේ තාත්තත් එකතු උනා. මට තමන්ගෙ දරුවෙක්ට වගේ සලකපු මගේ මිතුරියගේ අම්මා ගල් වලක ගල් කඩන හැටි දවසක් මගේ ඇස් දෙකෙන්ම දකින්න ලැබුන එක මට මහා දුකක් ගෙනාවා. ත්‍රස්තවාදින් විතරක් නෙමෙයි ඉදලා ඉදල හමුදාවත් මේ මිනිසුන්ට කරදර අරන් ආවා.. ගමේ ඉතිරි වෙච්ච පිරිමි කිහිප දෙනාත් සිවිල් ආරක්ෂක බටයෝ විදිහට බංකර් වල රාජකාරි කලා. මේ නිසා බොහෝ රාත්‍රී වල ගමේ ගෙවල් වලට කඩන් පැන්නෙ හමුදා කදවුරේ බටයො බව හැම දෙනාම දැනං හිටියා.

ඔය අතරේ බලාපොරොත්තු සඵල කරමින් විභාග ප්‍රතිපල පිට උනේ එයා දිස්ත්‍රික් මට්ටමේ උඩම තැනකට ගෙන එමින්. ඒ විතරක් නෙමෙයි මටත් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් තරමේ ප්‍රතිපලයක් ලැබිල තිබුනා. ඒත් මේ සතුට වැඩිකල් රැදුනේ නෑ. හදිසියේම එයා මාත් එක්ක තිබුනු ගනුදෙනු නවත්වලා දැම්මා. මාත් එක්ක කතා බහ කරන එක නවත්වලා දැම්මා. අවුරුදු දෙකක් තිස්සේ ගොඩනැගුන සමීප බව දවස් කිපයකින් එයා බිදලා දැම්මා. මේකට හේතුවක් මුලින්ම හිතා ගන්න බැරි උනත් මේ උනේ මෙච්චර කාලයක් සැගවිලා තිබුන කාල බෝම්බයක් පුපුරා යාම බව ඉක්මනින් මං දැන ගත්තා. මිතුරියක් විදිහට ඇසුරු කරන අතරෙම එයාට මං ආදරය කරන බව කොහෙන්දෝ එයාගෙ කනට වැටිල්ලා. ඒ අතර තුරේම එයා මගේ පෙම්වතිය බවට කට කතාවක් පැතිරෙන බවත්, ඒ කට කතාව පතුරවන්නෙ මං බවකුත්, කවුදෝ කෙනෙක් කේන්තියෙන් ඉන්න එයාගේ කනේ තියලා තිබුනා. මේ නිසා මගේ හිතට දැඩි වේදනාවකට ගෙන දෙමින් එයා මගෙත් එක තිබුන සියලුම ඇයි හොදයිකම් නවත්වලා දැම්මෙ නිදහසට කාරනාවක්වත් කියන්න කිසිම ඉඩක් නොදී. ඒ විතරක් නෙමෙයි එයාගේ දුප්පත්කම, අසරනකම ඉස්සරහා උදව්වට ආවේ, ඒකෙන් අයුතු ප්‍රයෝජනයක් ගැනීමේ චේතනාවෙන් කියන චෝදනාවකිනුත් මට දමලා ගැහුවේ මං නොහිතපු විදිහට.  

තත්වේ තවත් දරුණු උනේ විශ්වවිද්‍යාල වලට තෝරා ගත් බවට ලිපිය ලැබුනයින් පස්සෙයි. එයාගේ සරසවි හීනෙ කැමතිම තැන වෙච්ච පේරාදෙණියේ ශාස්ත්‍ර පීටයට  ඇතුල්වෙන්න එයාට අවස්ථාව හිමි වෙලා. ඒ විතරක්ද එයත් එක්කම එකම සරසවියකට යන්න තිබ්බ මගේ හීනෙත් ඒ එක්කම සඵල වෙලා. ඒත් ඒ ගැන සතුටු වෙන්න ඉඩක් මට තිබුනේ නෑ. ඒ වෙනකොටත් එයා මං නොදන්නා කෙනෙක් බවට පත්කරලා තිබුණා. මාත් එක්ක ලොකු තරහකින් එයා හිටියේ. සරසවියට ඇතුල් වෙච්ච මුල් දින වලම දවසක් කදුරුවෙලින් පිටත් වෙච්ච බස් රථයක අහම්බෙන් වගේ මට එයත් එක්ක එන්න අවස්ථාව ලැබුණා. ඒත් මං දැක්ක මොහොතේ වෙනද එයාගේ මුහුණේ ඇඳෙන සුන්දර හිනාව පිපුනේ නෑ. අපි දෙන්නා නොදන්නා දෙන්නෙක් වගේ බස් එකේ තැන් දෙකක වාඩි වෙලා නුවර ගියේ නොදන්නා මිනිස්සු දෙන්නෙක් වගෙයි. 

සරසවියේදී ආයෙමත් මට මගේ ප්‍රේමය දිනා ගත්ත යුවතිය ඉදහිට දැක ගන්න ලැබුනා. ඒත් එතකොට ඇය නාදුනන යුවතියක්. බොහෝ වෙලාවට ඇය මාව මගහැරලා ගියා. ඒ නිසාම මමත් ඇයව මග හරින්න පුරුදු උනා. මගෙන් ඈතට වෙලා ඉන්න උත්සහ කරන එයාට පාඩුවේ ඉන්න ඇරලා මං මගේ පාඩුවේ කල් ගෙව්වා. 
මේ රහස දැනගත් දවසක එයාගෙන් මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙන්න ඉඩ තියෙන බව මං කාලෙක ඉදන් දැනං හිටියා. ඒ නිසාම බිදුනු හිතත් වත්තන් කරන් නවතිනවා ඇරෙන්න විකල්පයක් මට තිබුනෙ නෑ. ප්‍රථම ප්‍රේමය විතරක් නෙමෙයි, මගේ සමිපතම හිතවතියත් එක සැරේම මට අහිමි වෙලා ගියා. හදිසියේම මහා හිස් කමක් මගේ ලෝකේ ඇතුලේ දැනෙන්න ගත්තා. ඔව්. ඒ මීට අවුරුදු හතකට විතර කලින් උනත් එදා ඒ දැනුනු හැගීම මේ ගැන මතක් කරන මොහොතේ අදත් ඒ විදිහටම මට දැනෙනවා වගෙයි. 

ඔන්න ඔය විදිහට ප්‍රේමය වෙනුවෙන්ම  සුප්‍රසිද්ධ හන්තාන පාමුලදී මගේ ප්‍රථම ප්‍රේමය දිනා ගත්ත යුවතිය විරහා වේදනාවේ අරුමය කියා දීලා මගෙන් ඈතටම ඉගිලුනා. කිසිම දිනෙක ඇය ගැන තරහක් ඇති උනේ නෑ. ඒ විතරක් නෙමෙයි මිතුරියක් විදිහට සමීප වෙලා ගෙනාපු සුන්දර මතක වගේම, වෙන්වෙලා ගිහින් ගෙනාව විරහ දුකත් හිතේ කිසි දවසක අමතක නොවෙන විදිහට තැන්පත් උනා. 



තනි තරුවේ .............  තනි තරුවේ.....
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
තනි තරුවේ.... තනි තරුවේ.......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලී පැටලී
මුවඟ මුවඟ ඇළලී ඇළලී 
මෙතෙක් දුරක් එක්වී පැමිණි 
තනි තරුවේ..... තනි තරුවේ ......

මහද අරණේ ලතවී ලතවී 
රැදෙනු බැරිව ඉගිලී ගිගිලි 
මගෙන් ඉවත ඇදිලා සැනසී 
තනි තරුවේ.... තනි තරුවේ.... 



Monday, January 13, 2014

එදා - අද


කිසි කමකට නැතිව ගෙවිල ගිය දවස අවසානයේ එයාගේ කට හඩ දුරකතනයේ අනිත් පැත්තේ ඉදන් ගලා එන්න පටන් ගත්ත මොහෙතේ මම ඇත්තටම ජීවත්වෙන්න ගත්තා.  මම දුර රටක තනි වෙන්න කලින් මේ ඇමතුම ගැන එයා එතරම් සැලකිල්ලක් නොදැක්කුවා කියල හිතුනත් දැන් නම් මම කතා කරනකම් බලා ඉන්නවා හැමදාම. සුපුරුදු විදිහට පටන් ගත්ත දොඩමලුව ටික වෙලාවකින් අපි ලේසියකට ඇදලා නොගන්න අතීතයකට ඇදිලා ගියා.
"ඇත්තටම ඇයි ඔයා අවුරුදු ගානක්ම මට කැමැත්ත දෙන්නෙ නැතුව හිටියේ? ඒ විතරක්ද කොච්චර නපුරුකම් කලාද මට" කලින් කිහිප වතාවක් අහල තියෙන දෙයක් මම ආයෙත් ඇහුව.
"ඔයාට මාව ගැලපෙන්නෙ නැති නිසා. දැනට උනත් මට එහෙම හිතෙනවා."
"ඇයි එහෙම හිතන්නෙ. අනික, මට ඔයාව ගැලපෙන්නෙ නෑ කියන්නෙ, ඔයාට මාව ගැලපෙන්නෙ නෑ කියන එක නෙ. හැබැයි ඔයාට ගැලපෙන දේ තීරනය කරන එකේ අයිතිය ඔයාට තිබුනත්, මට ගැලපෙන දේ තීරනය කරන්න ඕන මම නේ."
"මට තාම හිතෙන්නෙ මං වගෙ දුප්පත් කෙල්ලෙක් ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා. මං වෙනුවට ඔයාට සල්ලි තියෙන, ඔයාට හරියන රස්සාවක් කරන කෙනෙක් තෝරගන්නයි තිබුනේ. එහෙම උනා නම් ඔයාට ඔය වගේ පිට රටකට ගිහින් දුක් විදින්න ඕන න නේ."
"පිස්සු ඔයාට. මොකෝ මට මොනව තියෙනවටද මම දුප්පත් නෑ කියන්නෙ."
"නෑ. අපේ හැටියට ඔයාල කොච්ච්‍ පෝසත්ද. ඒක නෙමෙයි. ඇයි ඉතින් ඔයා ඔච්චර කාලය් බලාගෙන හිටියෙ මං වෙනුවෙන්ම?"
"අනේ මංද"
"ඇත්තටම කියන්නකෝ. ඔයාට හිතුනෙම නැද්ද වෙන කෙල්ලෙක් ගැන?"
"ම්ම්... නෑ නේ"
"ඇත්තම කියන්නකෝ" 
"ඇත්තටම තමයි. එත් මට නපුරුකම් කරන කොට නම් වෙලාවකට හිතුන ඔයාට ඕන මගුලක් කර ගන්න දීලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්න. ඒත් ඒ එක මොහොතකට විතරයි"
එක ක්ෂනයකින් මගෙ හිතේ ආර්ට් ෆැකල්ටියේ ඉදලා වුස් කැන්ටිම දිහාවට වැටිල තියෙන අඩි පාර  ඇදිලා, මැකිලා ගියා. සාහිත්‍ය උළෙලේ අවසන් දවස් දෙකෙන් එකක් වෙන්න ඕන ඒ දවස. වෙනදට කැම්පස් එකේ කොහේදි දැක්කත් මාව මගෑරලා යන්න හදන ගැහැනු ලමයා ඔය පාර දිගේ ඇවිදන් ආපු මගේ පස්සෙන්ම ඇවිත් කතා කලා.
"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා."
"කියන්න. මොකක්ද?"
"අපේ ගෙදරට ආපු යෝජනාවකට මම කැමති උනා." 
"හ්ම්.. මට ආරංචි උනා" වටින් පිටින් ලැබුනු ආරංචිය ටක්කෙටම හරි වග එයාගෙ වචනෙන්ම තහවුරු උනා. මේ බව කොහොම හරි මට කියන්න එයා බලාගෙන හිටිය කියල මට තේරුණා. කොටින්ම එයා මට කිවේ "තවත් මගේ ගැන බලාපොරොත්තු තියා ගන්න එපා." කියන එකයි කියල මට හිතුන.
එතනින් එහා දොඩමලු වෙන්න මට උවමනාවක් තිබුනෙ නෑ. එයා කිව දෙයින් මගේ හිත සැලුනේ නෑ කියල මම පෙන්නන්න මම උත්සහ කළා.එත් ඒ මිනිත්තු කීපය ඉව‍ර වෙලා මම WUS එක පැත්තට මම ඇවිදගෙන ආවෙ ඔලුවෙ මහා ලොකු බරක් උස්සගෙන.
ඇත්තටම එයා ඔය කියන මනුස්සයට කැමතිද? එයාගේ හැටියට නම් ඒක වෙන්නම බෑ. අම්මලා කීවද දන්නෙ නෑ එයාට කැමති වෙන්න කියලා මේකට. අම්මලා කීවොත් නම් කැමති නොවී ඉන්නෙ නෑ එයා. ඒ මනුස්සයා හොද රස්සාවක් කරන කෙනෙක්ලු. සමහර විට එයාට ඉගෙන ගන්න සල්ලි වියදම් කරන්න අම්මලාට අමාරු නිසා මේකට කැමති වෙන්න කියන්න ඇති. එතකොට එයා ඉක්මනින්ම බදීද? මගේ හිත නිවනක් නැතිව කතන්දර ගොතන්න ගත්තත් මීට වඩා සාධාරන කතාවක් ගොතන්නට මගේ හිතට බැරි උනා. මොනවා උනත් එයා ස්ව කැමැත්තෙන්ම මේ තීරණේ ගත්ත කියල හිතන්න මගේ හිත එකග උනේම නෑ.එයා කැමැත්තෙන්ම තීරණය කලත් මොකද? එයාට එහම තීරණයක් ගන්න අයිතිය තියෙනවා නේ. මම ඒක පාර්ශවික ආදරයක් ගොඩ නගා ගත්තා මිසක් එයා මට ආදරේ කලේ නෑ නේ කවදාවත්. දින ගානක් මගේ හිත මාව හොදටම තැලුවා. සාහිත්‍ය උලෙලේ සංවිධාන කටයුතු වල කාර්‍යබහුල වෙන්න උනු එක පොඩි සහනයක් උනා හිතට නම්. සෑහෙන දවසක් සුසුම් හෙල හෙල හිටියත් හිත එක තැනකට ගන්න නම් බැරි උනා. "කමක් නෑ. එයාට කැමති දෙයක් කරන්න තියෙන අයිතිය වගෙම මට මම කැමති කෙනෙක්‍ට ආදරය කරන්න අයිතිය  තියෙනවා. මොකෝ මෙච්චර කාලයක් මම එකපාර්ශවිකව ආදරයක් කලා නම් දැන් ඒක නවත්වන්නෙ මොකටද?"කියල හිතන්න තරම් මම ඒ ඒක පාර්ෂවික ආදරේට ඇබ්බැහි වෙලා හිටියා. ඒත් එක්කො වෙන ගෑනු ලමයෙක් ලං කරගෙන මෙයාට සමුදෙන්න ඕනෙ කියන සිතුවිල්ලත් සමහර වෙලාවට හිතේ ඇති උනා. 

"ඉතින් ඇයි වෙන කෙල්ලෙක්ව යාලු කර ගත්තෙ නැත්තෙ?"
"ම්... ඔයා ගැන ආදරයක් හිතේ තියාගෙන වෙන ගෑනු ලමයෙක්ව යාලු කර ගන්න එක එයාට කරන අසාධාරණයක් නෙමෙයිද?"
"හ්ම්"
ඒ විතරක් නෙමෙයි ඊට අමතරව මොකද්දෝ නොදන්න හේතුවක් නිසා පුංචිම පුංචි බලාපොරොත්තුවක් ඉතිරි කර ගන්න කියල මගේ හිත මට බල කළා. ඒ තරම් බිදුණු හිතක් එක්ක මම මාස කීපයක් ගෙවිල ගිය හැටි හිතා ගන්නවත් බෑ.  
"ඇත්තටම ඇයි ඔයා ඒ මනුස්සයට කැමති කිවේ? "
"අනේ මන්ද. මොකද්ද හේතුවකට මම කැමති කිව." එයාගේ පිළිතුර නිශ්චිත නෑ. 
" මට නම් හිතුනේ ඔයාට මාව ඈත් කරන්න ලොකු උවමනාවක් තිබුන කියල. ඔයා ඒ මනුස්සයට කැමති කිවම මම ඔයා ගැන අදහස අතහරි කියල හිතල වෙන්න ඕන එහෙම කලේ."
"එත් ඔයා ඈත් උනේ නෑ නේ." ආයෙත් නිශ්චිත නැති උත්තරයක්. එත් එකේ අදහස ඔව් කියන එක කියල මම හිතා ගත්ත.
මගෙන් ඈත් වෙන්න උත්සහ කල හේතුව නිශ්චිතව එයා නොකීවත් වැඩිය ඒ ගැන හාරා අව්ස්සන්නට උවමනාවක් මට නම් නෑ. එහෙම කෙනෙක් අද ලගින් ඉන්න එකම මදිද සැනසෙන්න.