Showing posts with label මැදපෙරදිග ජිවිතේ. Show all posts
Showing posts with label මැදපෙරදිග ජිවිතේ. Show all posts

Tuesday, June 24, 2014

පිටස්තර ජිවිතය


ගෙදරින් බැහැර වෙලා ගෙවන මේ ජීවිතේ පටන් ගත්තෙ දැනට අවුරුදු කීයකට කලින්ද? අවුරුදු 15ක්. ඔව්, අවුරුදු 15ක් විතර ඇති. පහ වසරෙ ශිෂ්‍යත්ව විභාගෙ පිහිටෙන් කදුකරේ ඉස්කෝලෙට සේන්දු වුනේ හයවෙනි වසරේ දෙවෙනි වාරෙදියි. ඉස්කෝලේ නේවසිකාගාරයට මාව ඇතුල් කරලා තාත්තා පිටත් වෙලා ගියායින් පස්සෙ තමයි මේ ගෙදරින් පිට ගෙවෙන ජීවිතේට මූලාරම්භය තිබ්බෙ. 
එතැන ඉදන් සාමාන්‍යපෙල දක්වා ජීවිතේ ගෙවුනේ කතෝලික පියතුමන් යටතේ තිබුනු නේවසිකාගාරයේ. මාසයකට වරක් සති සති අන්තය සදහා ගෙදර යන්න අවසරය ලැබුනත්, බොහෝ වෙලාවට මට යන්නට ලැබුනේ සිකුරාදා හෝ සදුදා නිවාඩු තිබුනු දීර්ඝ සති අන්ත වල විතරයි. මාසයකට සැරයක් තාත්තා මා බලන්න ආවා. වාර අවසාන නිවාඩුවේදී විතරක් ගෙදරට වෙලා ජිවිතේ ගෙවන්න අවසරය ලැබුන ඒ අවුරුදු කීපය නිකම්ම මාව ගෙදරින් පිට ජිවිතේට හුරුකලා.  ඉද හිටලා කොල්ලෙක් එක්ක ගුටි ඇනගෙන ඇඩුවා ඇරෙන්න, මුල්ම දිනේ නේවාසිකාගාරයේ තනි උනාමවත් මං ගෙදර යන්න ඕන කියල ඇඬුව බවක් නම් මතක නෑ . ඒ තරම් බරක් පතලක් නොදැනුනු ඒ කාලයේදී මං පිටස්තර ජීවිතේට ඇබ්බැහි උනාද මන්දා. සමහර සති අන්ත වල දීර්ඝ නිවාඩුවක් ලැබුනම ගෙදර නොයා ඉතිරිවෙන පස් හය දෙනාගෙ ගොඩට බොහෝ වෙලාවට මාත් වැටුනා. 
කරපු නොසන්ඩාල කම් නිසා අපේ කල්ලියම භාර ගන්න එක නේවාසිකාගාර පරිපාලනය ප්‍රතික්ෂේප කල නිසා උසස් පෙල කරන්න පිටස්තර බෝඩිමකට මාරු වෙන්න උනා. පාසල පිටිපස්සෙ තිබුන පර්ලි ආන්ටිගේ බෝඩිමේ ගෙවපු කාලයත් අමුතුම ජීවිතයක්. සිංහල බෞද්ධ මාත්, සිංහල කතෝලික නාලෙත්, දෙමල කතෝලික ක්‍රිශාත්, මුස්ලිම් අබ්දුලුත් එකම කාමරේක නවාතැන් අරන් හිටපු කාලේ පහුගිය දවස් කීපයේම මතකයට ආවේ නැගීගෙන ආපු ගෝත්‍රවාදී රැල්ල නිසයි. උසස් පෙල අවසාන කාලෙදි මේ බෝඩිමෙන් අයින් වෙලා හිත මිතුරෙක්ගෙ නිවසක නවාතැන් ගත්තා. මේ කාලයේ තමයි මං ඉදල හිටලා හරි ගෙදර එන්න ආයෙමත් පටන් ගත්තෙ. 

උසස්පෙල ඉවරවෙලා මාස ගානක් ගෙදරට වෙලා ඉන්න අවසරයක් ලැබුනත්, වැඩි කල්  නොගිහින්ම දෙවෙනි වර පෙනී ඉන්න සූදානම් වෙන්න සිද්ද උන නිසා ආයෙමත් ගෙදරින් පිට උනා. ඒ සැරේ නම් නැවතුනේ මාතලේ පුංචි අම්මගේ ගෙදර. යන්තමින් විභාගය ඉවර කරන් ආයෙමත් ගෙදරට ගොඩ උනත්, සුපුරුදු පිටස්තර ජීවිතේ ආයෙමත් අත වැනුවා. ඒ සරසවියට. 
ගෙවල්වලටම වෙලා ඉදන් ආපු බොහෝ දෙනෙකුට වගේ මට සරසවියේ නේවාසිකාගාරයට පුරුදු වෙන්න අපහසු උනේ නෑ. 
සරසවියෙ තිබුන නිදහසත්, ලගින් ඇසුරු කරපු හිත මිතුරු කාන්ඩයත් නිසාමද මන්දා වැඩිකල් නොගිහින් සරසවිය දෙවෙනි ගෙදර වගේ දැනෙන්න ගත්තා. වෙනදට ගෙදර ගියාම හිතට සැහැල්ලුවක් දැනුනත්, සරසවි ජීව්තේදි නේවාසිකාගාරේ කාමරේට ගියාම ඊට වඩා සැහැල්ලුවක් දැනුනා. 
කොහොමින් කොහොම හරි සරසවියට සමු දුන්න දවසේ ඉදන් පටන් ගත්තෙ මාවතේ ජීවිතේ. ඒ මාස කිහිපයක සීමා වෙච්ච පලමු රැකියාව වෙනුවෙන් රට වටේ ඇවිදින්න උන නිසා. සරසවියෙන් එලියට ඇවිත් හරියටම අවුරුද්දකින් හදිසියේම ලැබුනු රැකියා අවස්තාව නිසා මේ දුරු කතරට ඉගිලෙන්න උනා. 


හැමදාම මං ජීවත් උනේ ගෙදරින් පිට උනත් මේ කතරේ ගෙවිච්ච අවුරුදු එක හමාරෙදි තරම් කිසිම දිනෙක මට ඒ ගැන ලොකු හැගීමක් දැනුනෙ නෑ. භාග වෙලාවට ඒ ලංකාවෙදි හිතුනු වෙලාවක ගෙදර යන්න අවස්ථාව තිබුන හින්ද වෙන්න ඇති. ඒ වගේම ලංකාවේ කොහේ හිටියත් මං පිටස්තරයෙක් බව දැනුනෙ නැති නිසා වෙන්නත් ඇති. අවුරුදු දෙක හමාරකට කලින් මට වඩා ලං වෙච්ච ඇය ඉදහිටවත් දකින්න ලැබෙන්නෙ නැති නිසා වෙන්නත් ඇති. මීට කලින් මං දෙමවුපියන්ගෙන් යැපුන කෙනෙක් උනත් දැන් ඔවුන් මගෙන් යැපෙන, මගේ පිහිට අවශ්‍ය අය නිසා වෙන්නත් ඇති. ලංකාවෙදි ලගින් හිටපු සමීප මිතුරො ලග පාතකවත් නැති නිසා වෙන්න ඇති. 
කොහොමින් කොහොම හරි ආයෙමත් ගෙදර යන දවස ලග ලගම එනවා. තව එකම එක මාසයයි. මාස දහ අටකට පස්සෙ. හ්ම්.. සෑහෙන කාලයක්. බලාපොරොත්තු ගොන්නක් හිතේ ගොඩ ගැහිලා. මොකද්දෝ නොදන්නා හැගීමක් මිශ්‍ර වෙච්ච සතුටක් හිතේ ගොඩ ගැහෙන්න පටන් අරන්. නෑ. නවතින්නම නෙමෙයි ගෙදර යන්නෙ. මාසකට හෝ එක හමාරකට විතරයි. පොඩි කාලයක් තමයි. ඒත් ඒ පොඩි කාලේ දිගු කාලයක් වගේ දැනේවා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.

පින්තුරේ ගත්තේ- http://www.gojhe.com/how-to-travel-in-style-topfive-travel-tips

Tuesday, May 27, 2014

ගිම්හනයත් ඇවිත්



හිතා ගන්නත් බැරි තරම් ඉක්මනින් ගිම්හානය ඇවිත්. ගිය අවුරුද්දෙ ජුලි මාසෙදි උෂ්නත්වය නැග්ග තරම්ම අද වෙද්දි උෂ්නත්වෙ නැගලා. සාමානයයෙන් ඉවස ගන්න බැරි තරම් රස්නෙ එන ජුලි, අගෝස්තු මාස දෙකෙන් එකක් මග ඇරල ලංකාවට පැනල යන්නයි මං හිතන් හිටියේ. ඒත්, මගේ සැලසුම දැනගෙනද කොහෙද ඉර මෙදා සැරේ මැයි මාසෙ ඉදලම අපට බැට දෙන්න පටන් අරන්. ඊයේ සෙල්සියස් අංශක 46 තිබ්බ රස්නෙ අද 42ට අඩු වෙනවය කියල අනාවැකි කියල තිබුනත්, හවස වැඩට යන්න ලෑස්ති වෙලා වාහනේට නැග්ගමයි තරු පෙනුනේ. අදත් 46යි. ඒ මදිවට ගොවිපලට ගිහින් බැලුවම දුර්වල සහ අසනීප වහු පැටව් එක එකා වැටෙන්න පටන් අරන්. හොදට ඉන්න සත්තුත් එක සැරේටම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ගිනි ගහන අව් කාෂ්ටකේ මදිවට මට වැඩත් වැඩි වෙන්නයි යන්නෙ. 

ගිය සැරේ නම් වුනේ සම්පූර්නයෙන් මේකෙ අනිත් පැත්ත. අප්‍රේල් අග වෙද්දි අලුත් පැටව් එන එක නතර උනා. රස්නෙ වැඩි වෙන කාලෙ වෙද්දි ඔක්කොම සත්තු සෑහෙන්න ලොකු වෙලා හිටිය නිසා කිසි ප්‍රශ්නයක් ඇති උනෙත් නෑ. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බලන්න විතරමයි තිබුනේ. හවස් වරුවෙ කාමරෙන් එලියට බැහැල ගොවිපලේ හිටපු පැය දෙකට ඔලුවෙ කැක්කුමකුත් හදාගෙනයි මං ආයෙත් ආවේ. 
හවස වැඩ ඉවර වෙලා ඇවිත් දවසේ විස්තරේ දුරකතනෙන් ලංකාවට වාර්තා කළා. 
"අප්පේ! මෙහෙත් ගිනි රස්නෙයි. අද නම් මුකුත්ම කරන්න බැරි උනා. පුන්චි උන් ටික කෑ ගහනවා දාඩියයි කියලා. ඒ මදිවට වතුර බොතල් ටිකේ වතුර ඉවර කරගෙන. තිබහයි කියලා කෑ ගහනවා. ඉතින් ආයෙ ගිහින් බොතල් වලට වතුර අරන් ඇවිත් දුන්නා. හෙට ඉදන් වතුර බොතල් දෙක දෙක අරන් එන්න කියල මං කීවා ලමයිනට. ටීචලා ටික කීවේ වහලෙ උඩට පිදුරු ගෙනත් දාන්න ඕන කියලා. ඉන්න බෑ  පංතිවල. දාඩිය වැක්කෙරෙනවා."
ඒ දුරකතනෙ අනිත් කෙලවරේ ඉන්න මගේ පුංචි ගුරුතුමීගේ දවසේ වාර්තාව. ලස්සන ඔසරියකින් සැරසිච්ච කැලෑබද ඉස්කොලෙක ගුරුතුමියක් බෙල්ල වටේ ගලන දාහඩිය පිහින දර්ශනයක් මගේ ඇස් ඉස්සරහා මැවිලා නොපෙනී ගියා. ඒත් ඒ මැවිච්ච රූපෙ හිටපු එයාව මං හැබැහින් දැක්කෙ ගිනි අව්ව දවසක නෙමෙයි.  මහා වැස්සකට මැදි වෙලා මඩකලපු හංදියට වෙලා මං එනකල් බලන් ඉදපු දවසේ. ඔව්.. ඒ රූපෙ තමයි. පස්සරින් පිටත්වෙලා අක්කරෙයිපත්තුවට යන්න ඕන මං, එයා හම්බ වෙන්න ඕන නිසාම ලොකු  රවුමක් ගියා. බිබිල, මොනරාගල, සියබලාන්ඩුව හරහා අක්කරෙයිපත්තුවට ගියපු අපේ ආයතනේ වාහනේ අතැරලා මං බිබිල, මහියංගනේ, දෙහිඅත්තකන්ඩිය, මනම්පිටිය, කල්මුනේ හරහා අක්කරෙයිපත්තුවට බස් එකේ ගියා. පොරොන්දු වෙච්ච වෙලාවට වඩා සෑහෙන්න පරක්කු වෙලා  මං මඩකලපු හංදියෙන් බහිනකොටම එච්චර වෙලා අඩන්න ලෑස්තිවෙලා හිටපු අහසට කව්දෝ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා. පාර පැනලා මඩකලපුව පැත්තට යන හෝල්ට් එක දිහාට දුවං යද්දි මගේ දිහාට ආපු එයාගේ කුඩේ යටට රිංගපු හැටි හීනෙකින් වගේ මතකයි යන්තමින්. වැහි බින්දුවල පීඩාව දරාගෙන ඉක්මනින් හෝල්ට් එකට ගොඩ උනාට පස්සෙ එයා මූනේ, බෙල්ලෙ තිබ්බ වැහි බින්දු පිහදාපු හැටි. ඔව්.. ඔව්.. අන්න ඒ දවසෙ දැක්ක රූපෙ තමයි මට අද මැවිලා පෙනුනේ. විනාඩි කීපයක් ඉන්න ඇති අපි ඒ බස් හෝල්ට් එකේ. ඊලගට කට කපලා සෙනග පුරවපු කල්මුනේ බස් එකකට දෙන්නම ගොඩ උනේ පැය භාගෙකින් පිටත් වෙන එයාගෙ අන්තිම බස් එක අල්ල ගන්න ඕන නිසා. විනාඩි විස්සකින් විතර බස් එක වැලිකන්දෙ බස් නැවතුම්පල ලග නුග ගහ යට නතර වෙද්දි අකමැත්තෙන් උනත් මට එයා බස් එකෙන් බැහැලා යන දිහා බලන් ඉන්න උනා. 
ඒ අවුරුදු එක හමාරකටත් වඩා කලින් දවසක්. නෑ. මං හිතන්නෙ දැන් අවුරුදු දෙකකට ආසන්න ඇති. එයාට මුලින්ම පත්වීම ලැබුනු දවස්වලම. විස්වාස කරන්න පුලුවන්ද? හැමදාම සාරියක් අඳින එයා සාරියක් ඇදන් ඉන්නවා මං හැබහින් දැක්ක අවසාන වතාවයි ඒ. දැනට මාස කීපයකට කලින් යන්තම් තාක්ෂනේ පිහිට බොහොම හිමිහිට එයාගේ ගමටත් ලැබුනු නිසා ඉදලා හිටලා ලැබුන පින්තුර කිහිපයක නම් මේ ගුරුවරිය දැක ගන්න ලැබුනා. ඒ පිංතූර නිසා කවුරුත් නොදාන්න ඈත ගමක කැලෑ මල් වලට අකුරු කරවන්න ඒ ගුරුවරිය යන හැටි හිතින් මවා ගන්න අවස්තාව යන්තමින් මට ලැබුනා. ඒත් ඒ දසුන හැබෑවට දකින කාලය තවත් දුරයි.


ප. ලි. - කොටලා ඉවර වෙලා දෙවෙනි සැරේට මේක කියවගෙන යද්දී මටම හිතුන මේ පිට රට ගමන නිසා මං අහිමි කර ගත්ත දේවල් එක්ක බලද්දී, හිමි වෙච්ච දේවල් හරිම සුළුයි කියලා. එත්, ඒක පසුතැවිල්ලකට හේතුවක් නොකර ගන්නයි මට උවමනා. 

Wednesday, February 12, 2014

දේශේ හැටියට බාසේ

"කොහොමද?"
උදේ වරුවෙ මමයි, අළුත් ඉන්දියන් එකවුන්ටනුයි කතා කර කර ඉන්න තැනට පාත් උනු අපේ මැනේජර් අරාබියෙන් ඇහුවා. මමත් ඉතින් හැමදාම ඇහෙන මේ ප්‍රශ්නෙට හැමෝම දෙන තනි අරාබි වචනෙ උත්තරක් දුන්නා. මගේ දිහා අමුතු විදිහට බලපු එකවුන්ටන් "ඔයාට අරාබිත් පුලුවන්ද?" කියලා ඇහුවා.
"ඕක ඉතින් නිතරම ඇහෙන එක නේ. ඒ නිසා දන්නවා." මම කීවා. ඇත්තටම මම අ‍රාබි කතා කරන්න දන්නෙ නෑ. ඔය එහෙන් මෙහෙන් වචන දෙක තුනක් ගැට ගහගන්න පුරුදු උනෙත් මගේ අංශෙ වැඩ කරන අස්රෆ්  නිසා. අශ්රෆ්ට අරාබි ඇරෙන්න වෙන මොන මල දානයක්වත් තේරෙන්නෙ නෑ. ඒ නිසා අසනීප වසු පැටව් ගැන අහ ගන්න කොහොම හරි මට අරාබි වචන දෙක තුනක් ඉගෙන ගන්න සිද්ධ උනා.
මගේ භාෂා දැනුම කොච්චරද කියනව නම්, සා. පෙ ට A එකක් තිබ්බට උපන් දවසේ ඉදලා ඇහෙන කතාකරන මගේ සිංහල භාෂා භාවිතයත් මෙලෝ රහක් නෑ කියලා ඇනෝ කෙනෙක් කලින් පෝස්ට් එකක කියල ගිහින් තිබුනා. ශිෂ්‍යත්වෙ සමත් වෙලා ටිකක් නම ලොකු ඉස්කොලෙකට ගිය එකෙන් කඩ්ඩ මද පමනින් ගැට ගහ ගන්න පුලුවන්කමත් තිබුනත්, ඒ කඩුවෙන් ලොකු ලොකු වැඩ කෑලී දාන්න ගියොත් නම් හොද හැටි ඇන ගන්නවා.  අපේ ඉස්කෝලේ දෙමල භාෂාව අනිවාර්‍ය විෂයක් විදිහට ඉගැන්නුවත්, දෙමල උන් එක්ක එකම කාමරේ කල් ගෙව්වත් දෙමල භාෂාවත් කතා කරන්නට බැරි වෙච්ච එකනේ වැඩේ කියන්නේ. හැබැයි ඉස්කොලෙදි අපේ පස්ස පැත්ත පැලෙන්න වෙවැලෙන් තල තල දෙමල උගන්නපු සර්ට පින් සිද්ද වෙන්න දෙමල අකුරු කියවන්න නම් පුලුවන්. කියෙව්වට ඉතින් තේරුමක් දන්නෙ නැත්නම් ඉතින් ඒකෙන් තියෙන පලේ මොකද්ද? කොච්චර දෙමල යාලුවෝ ආශ්‍රය කලත් දෙමල කතා කරන්නට බැරි වීම නම් පුදුම දෙ‍යක් තමයි.
ඒකටත් එක්ක උපතින්ම දෙමල උන උන් බහුතරයක් හොදට හෙලුවෙන් වනන්න දන්න හැටි. ලංකාවේ තියෙන එකම පශු වෛද්‍ය පීඨය නිසාම හැම තූත්තුකුඩියෙන්ම තේරුනු උන් අපේ පීඨෙට ආවා. අපේ කන්ඩායමට කිලිනොච්චියෙන්, යාපනෙන් ආපු සමහරුන්ට සිංහල වචනයක්වත් බෑ එද්දී නම්. ඒත් සිංහල කතා කරන්න ඉගෙන ගන්න ඒ අයට වැඩි කාලයක් ගියෙ නෑ. සිංහලෙන් කතා කරන්න ගිහින් ඉදල ඉදලා ඔය වචනවල අකුරු මාරු කරල ආතල් එකක් දුන්නට උන් සෑහෙන්න ඉක්මනට සිංහල ඉගෙන ගත්තා.
දෙමල උන් සිංහල කතා කරනව කීවම මට හැම වෙලාවෙම මතක් වෙන චරිතයක් තමයි ඉස්කොලෙ කාලෙ එකට හිටපු මිත්‍රයෙක් වෙච්ච ක්‍රිශා. උපතින් දෙමල උනත් ක්‍රිශාට උසස් පෙලකරන කාලේ වෙනකලුත් හරියට දෙමල ලියන්න බෑ. අනිත් භාෂාත් එහෙම තමයි. හැබයි ඉතින් සිංහල, දෙමල, ඉංග්‍රිසි තුනම කතා කරන්න නම් පුලුවන්. ක්‍රිශා සිංහල හසුරවද්දි ඌ දෙමලෙක් බව තේරෙන්නේ සමහර ශබ්ද හරියට කියවෙන්නෙ නැති වෙලාවට විතරයි. පිට්ටනියේ බෝල ගැහිල්ල්ල වලියකින් කෙලව‍ර වෙනකොට ක්‍රිශා අනිත් උන්ට බනින්නෙ
"උඹලත් එක්ක ආය සෙල්ලම් කරන්නෑ. උඹලා ඔරු ඩෝ.. උඹල ඔරු"  කියලයි. ස්වභාවයෙන්ම දෙමල අයට මේ 'හ' ශබ්ද‍ය කියවෙන්නේ නැති නිසා ක්‍රිශා හොරුන්ට කියන්නෙ ඔරු කියලයි. තත්වය දරුනු වෙලා වලිය කුනුහරපෙන් බැන ගන්න අවස්තාවට එනකොටත් ඕක පෙනෙනවා. එතකොට ක්‍රිශාට හුයන්න වෙනුවට කියැවෙන්නෙ උයන්නයි. සාමාන්‍යයෙන් අනිත් දෙමල අය කයන්න-ගයන්න, බයන්න-පයන්න, ඩයන්න ටයන්න, තයන්න-දයන්න පටලවලව ගන්න ගතියක් තියෙන්නෙ දෙමළ භාශාවේදී ඒ ශබ්ද වලට එකම අකුර පාවිච්චි වෙන නිසාද කොහෙද? ඒත් ක්‍රිශාට ඒව නම් පැටලුනේ නෑ. ඒ ගැන කියන්න ගිය අතරේ තව කතාවක් මතක් වෙච්ච හැටි.
මේ කතාව අර උඩින් කියපු අපේ පස්සවල වේවැල් පාර සටහන් කරපු දෙමල ස‍ර්ගේ කතාවක්. ඉස්කෝලේ ඇරුනට පස්සෙ ලග පාත ගමනක් යන්න මේ දෙමල සර් බස් එක්කකට නැග්ගලු. ඉස්කොලේ කොලු ගැටව් පොල් පැටෙව්වා වගෙ පටවලා තිබ්බ නිසා බහින තැන ලං වෙනකොට සර්ට දොර ලගට එන්න බැරිව හිරවෙලාලු. මහ හයියෙන් කෑ ගහපු සර් "ඉස්සරහා පහිනවා. ඉස්සරහා පහිනවා" කී සැනින් මුලු බස් එකම හිනා හඩින් පිරිලා ගියාළු. හැමදාම දෙමල බැරි අපට වෙවැල් පාර දෙන සර් සිංහල වරද්දපු හැටි පහුවදා මුලු ඉස්කොලෙටම කියන්න කොල්ලො අමතක නොකලේ සර්ගේ වේවැලත් එක්ක තිබ්බ තරහටයි. ඒ පයන්නයි, බයන්නයි පැටලුනු හැටියි.
මේ රටට එන්න ලෑස්ති වෙන කාලේ විකිපීඩියාවේ හොයල බලද්දි නම් තිබ්බේ මෙහේ අරාබි වගේම කඩ්ඩත් එක වගේ පාවිච්චි වෙනවා කියලයි. එත් ඉතින් ඒක බොරු කියල තේරුනේ ගුවන්තොටුපලින් එලියට එන්නත් කලින්. මෙහෙ ඉන්න අරබි උන් බහුතරයක් කතා කරන්න දන්නෙ අරාබි විතරයි. මුකුත් ඕන නෑ. අවුරුද්දකට දෙපාරක් යුරෝපෙට යන, එක පාරක් ඉන්දියාවට ගිහින් එන, මෙහෙ තියෙන ලොකුම ප්‍රසිද්ධම හෝටලයක අයිතිකාරයා වෙච්ච අපේ සමාගමේ අයිතිකාරයට කඩ්ඩ බෑ කිව්වම මදිද? උන්ගේ භාෂාව අරාබි උනාට මෙහෙ වැඩිපුරම කතා කරන්නේ හින්දි වෙන්න ඕනෑ. ඒ මේ රටේ ජනගහනයෙන් 80% කට වඩා පිට දේශක්කාරයෝ නිසයි. ඒකෙන් වැඩි පංගුවක් ඉන්දියානුවෝ. ඊට පස්සෙ නෙප්පො නොහොත් නේපාලි. ඊට අමතරව පිල්ලො නොහොත් පිලිපීන, මිසරි නොහොත් ඊජිප්තු, ශ්‍රී ලාංකික(අනිත් උන් අපට කොහොම කියනවද දන්නෙ නෑ), බන්ගෝ නොහොත්      බන්ගලි, සූඩයෝ නොහොත් සූඩානී එකී නොකී මෙකී ජාති ගොඩක් ඉන්නවා. අරාබි කතාකරන එවුන් හැරුනම අනිත් ජාති බහුතරයක් අදහස් හුවමාරු කරන්න භාවිතා කරන්නේ හින්දි. ඒ නිසාම මට නම් හිතෙන්නෙ මෙහෙ අරාබි වලට වඩා හින්දි භාවිතා කරනවද කොහෙද කියලයි. පුදුමෙ කියන්නෙ මේ හිංදි කියන භාෂාව මේ ජාති එකකවත් මවු බස නෙමෙයි නේ. ඇයි ඉන්දියන්. නෑ නෑ. මෙහෙ ඉන්න ඉන්දියන් කාරයන්ගෙන් බහුතරයක් කේරලේ ඉදල ආපු මලයාලම් කතාකරන මලයෝ. අනිත් ප්‍රාන්ත වල උනුත් ඉන්නවා. එත් මට තාම හම්බ වෙලා නෑ මව් බස හින්දි වෙච්ච ඉන්දියානුවෙක්. අපේ ඉන්ඩියන් එකවුන්ටන්ට් කර්නාටක් ඉදලා ඇවිත් ඉන්නෙ. මිනිහට හින්දි වචනයක්වත් බෑ.
කොහොම උනත් මේ මැද පෙරදිග කතා කරන භාෂාවට හින්දි කීවත් මේක හින්දි වලට අරාබි සහ ඉංග්‍රිසි එකතු වෙලා හැදුන අලුත්ම භාෂාවක් කියලයි මට හිතෙන්නෙ. මොකද මෙහෙ කතා කරන හින්දි භාෂාව හසුරවන්න මට තරමක් පුලුවන් උනත් හින්දි චිත්‍රපටි‍යක් බැලුවම ඒ තරම් තෙරෙන්නෙ නැති නිසා. චිත්‍රපටි වල තියෙන හැබෑ හින්දිත් මෙහෙ පාවිච්චි කරන හින්දිත් වෙනස්. මොනවා උනත් මම හිතන්නෙ මේ රටවල්වල තියෙන අරාබි භාෂාවටත් මේ හින්දි මුහු වෙලා වෙනස් වෙයි  කියල හිතෙනවා වැඩි කල් නොගිහින්ම.