හිතා ගන්නත් බැරි තරම් ඉක්මනින් ගිම්හානය ඇවිත්. ගිය අවුරුද්දෙ ජුලි මාසෙදි උෂ්නත්වය නැග්ග තරම්ම අද වෙද්දි උෂ්නත්වෙ නැගලා. සාමානයයෙන් ඉවස ගන්න බැරි තරම් රස්නෙ එන ජුලි, අගෝස්තු මාස දෙකෙන් එකක් මග ඇරල ලංකාවට පැනල යන්නයි මං හිතන් හිටියේ. ඒත්, මගේ සැලසුම දැනගෙනද කොහෙද ඉර මෙදා සැරේ මැයි මාසෙ ඉදලම අපට බැට දෙන්න පටන් අරන්. ඊයේ සෙල්සියස් අංශක 46 තිබ්බ රස්නෙ අද 42ට අඩු වෙනවය කියල අනාවැකි කියල තිබුනත්, හවස වැඩට යන්න ලෑස්ති වෙලා වාහනේට නැග්ගමයි තරු පෙනුනේ. අදත් 46යි. ඒ මදිවට ගොවිපලට ගිහින් බැලුවම දුර්වල සහ අසනීප වහු පැටව් එක එකා වැටෙන්න පටන් අරන්. හොදට ඉන්න සත්තුත් එක සැරේටම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ගිනි ගහන අව් කාෂ්ටකේ මදිවට මට වැඩත් වැඩි වෙන්නයි යන්නෙ.
ගිය සැරේ නම් වුනේ සම්පූර්නයෙන් මේකෙ අනිත් පැත්ත. අප්‍රේල් අග වෙද්දි අලුත් පැටව් එන එක නතර උනා. රස්නෙ වැඩි වෙන කාලෙ වෙද්දි ඔක්කොම සත්තු සෑහෙන්න ලොකු වෙලා හිටිය නිසා කිසි ප්‍රශ්නයක් ඇති උනෙත් නෑ. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බලන්න විතරමයි තිබුනේ. හවස් වරුවෙ කාමරෙන් එලියට බැහැල ගොවිපලේ හිටපු පැය දෙකට ඔලුවෙ කැක්කුමකුත් හදාගෙනයි මං ආයෙත් ආවේ.
හවස වැඩ ඉවර වෙලා ඇවිත් දවසේ විස්තරේ දුරකතනෙන් ලංකාවට වාර්තා කළා.
"අප්පේ! මෙහෙත් ගිනි රස්නෙයි. අද නම් මුකුත්ම කරන්න බැරි උනා. පුන්චි උන් ටික කෑ ගහනවා දාඩියයි කියලා. ඒ මදිවට වතුර බොතල් ටිකේ වතුර ඉවර කරගෙන. තිබහයි කියලා කෑ ගහනවා. ඉතින් ආයෙ ගිහින් බොතල් වලට වතුර අරන් ඇවිත් දුන්නා. හෙට ඉදන් වතුර බොතල් දෙක දෙක අරන් එන්න කියල මං කීවා ලමයිනට. ටීචලා ටික කීවේ වහලෙ උඩට පිදුරු ගෙනත් දාන්න ඕන කියලා. ඉන්න බෑ පංතිවල. දාඩිය වැක්කෙරෙනවා."
ඒ දුරකතනෙ අනිත් කෙලවරේ ඉන්න මගේ පුංචි ගුරුතුමීගේ දවසේ වාර්තාව. ලස්සන ඔසරියකින් සැරසිච්ච කැලෑබද ඉස්කොලෙක ගුරුතුමියක් බෙල්ල වටේ ගලන දාහඩිය පිහින දර්ශනයක් මගේ ඇස් ඉස්සරහා මැවිලා නොපෙනී ගියා. ඒත් ඒ මැවිච්ච රූපෙ හිටපු එයාව මං හැබැහින් දැක්කෙ ගිනි අව්ව දවසක නෙමෙයි. මහා වැස්සකට මැදි වෙලා මඩකලපු හංදියට වෙලා මං එනකල් බලන් ඉදපු දවසේ. ඔව්.. ඒ රූපෙ තමයි. පස්සරින් පිටත්වෙලා අක්කරෙයිපත්තුවට යන්න ඕන මං, එයා හම්බ වෙන්න ඕන නිසාම ලොකු රවුමක් ගියා. බිබිල, මොනරාගල, සියබලාන්ඩුව හරහා අක්කරෙයිපත්තුවට ගියපු අපේ ආයතනේ වාහනේ අතැරලා මං බිබිල, මහියංගනේ, දෙහිඅත්තකන්ඩිය, මනම්පිටිය, කල්මුනේ හරහා අක්කරෙයිපත්තුවට බස් එකේ ගියා. පොරොන්දු වෙච්ච වෙලාවට වඩා සෑහෙන්න පරක්කු වෙලා මං මඩකලපු හංදියෙන් බහිනකොටම එච්චර වෙලා අඩන්න ලෑස්තිවෙලා හිටපු අහසට කව්දෝ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා. පාර පැනලා මඩකලපුව පැත්තට යන හෝල්ට් එක දිහාට දුවං යද්දි මගේ දිහාට ආපු එයාගේ කුඩේ යටට රිංගපු හැටි හීනෙකින් වගේ මතකයි යන්තමින්. වැහි බින්දුවල පීඩාව දරාගෙන ඉක්මනින් හෝල්ට් එකට ගොඩ උනාට පස්සෙ එයා මූනේ, බෙල්ලෙ තිබ්බ වැහි බින්දු පිහදාපු හැටි. ඔව්.. ඔව්.. අන්න ඒ දවසෙ දැක්ක රූපෙ තමයි මට අද මැවිලා පෙනුනේ. විනාඩි කීපයක් ඉන්න ඇති අපි ඒ බස් හෝල්ට් එකේ. ඊලගට කට කපලා සෙනග පුරවපු කල්මුනේ බස් එකකට දෙන්නම ගොඩ උනේ පැය භාගෙකින් පිටත් වෙන එයාගෙ අන්තිම බස් එක අල්ල ගන්න ඕන නිසා. විනාඩි විස්සකින් විතර බස් එක වැලිකන්දෙ බස් නැවතුම්පල ලග නුග ගහ යට නතර වෙද්දි අකමැත්තෙන් උනත් මට එයා බස් එකෙන් බැහැලා යන දිහා බලන් ඉන්න උනා.
ඒ අවුරුදු එක හමාරකටත් වඩා කලින් දවසක්. නෑ. මං හිතන්නෙ දැන් අවුරුදු දෙකකට ආසන්න ඇති. එයාට මුලින්ම පත්වීම ලැබුනු දවස්වලම. විස්වාස කරන්න පුලුවන්ද? හැමදාම සාරියක් අඳින එයා සාරියක් ඇදන් ඉන්නවා මං හැබහින් දැක්ක අවසාන වතාවයි ඒ. දැනට මාස කීපයකට කලින් යන්තම් තාක්ෂනේ පිහිට බොහොම හිමිහිට එයාගේ ගමටත් ලැබුනු නිසා ඉදලා හිටලා ලැබුන පින්තුර කිහිපයක නම් මේ ගුරුවරිය දැක ගන්න ලැබුනා. ඒ පිංතූර නිසා කවුරුත් නොදාන්න ඈත ගමක කැලෑ මල් වලට අකුරු කරවන්න ඒ ගුරුවරිය යන හැටි හිතින් මවා ගන්න අවස්තාව යන්තමින් මට ලැබුනා. ඒත් ඒ දසුන හැබෑවට දකින කාලය තවත් දුරයි.
ප. ලි. - කොටලා ඉවර වෙලා දෙවෙනි සැරේට මේක කියවගෙන යද්දී මටම හිතුන මේ පිට රට ගමන නිසා මං අහිමි කර ගත්ත දේවල් එක්ක බලද්දී, හිමි වෙච්ච දේවල් හරිම සුළුයි කියලා. එත්, ඒක පසුතැවිල්ලකට හේතුවක් නොකර ගන්නයි මට උවමනා.
No comments:
Post a Comment