Tuesday, May 27, 2014

ගිම්හනයත් ඇවිත්



හිතා ගන්නත් බැරි තරම් ඉක්මනින් ගිම්හානය ඇවිත්. ගිය අවුරුද්දෙ ජුලි මාසෙදි උෂ්නත්වය නැග්ග තරම්ම අද වෙද්දි උෂ්නත්වෙ නැගලා. සාමානයයෙන් ඉවස ගන්න බැරි තරම් රස්නෙ එන ජුලි, අගෝස්තු මාස දෙකෙන් එකක් මග ඇරල ලංකාවට පැනල යන්නයි මං හිතන් හිටියේ. ඒත්, මගේ සැලසුම දැනගෙනද කොහෙද ඉර මෙදා සැරේ මැයි මාසෙ ඉදලම අපට බැට දෙන්න පටන් අරන්. ඊයේ සෙල්සියස් අංශක 46 තිබ්බ රස්නෙ අද 42ට අඩු වෙනවය කියල අනාවැකි කියල තිබුනත්, හවස වැඩට යන්න ලෑස්ති වෙලා වාහනේට නැග්ගමයි තරු පෙනුනේ. අදත් 46යි. ඒ මදිවට ගොවිපලට ගිහින් බැලුවම දුර්වල සහ අසනීප වහු පැටව් එක එකා වැටෙන්න පටන් අරන්. හොදට ඉන්න සත්තුත් එක සැරේටම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ගිනි ගහන අව් කාෂ්ටකේ මදිවට මට වැඩත් වැඩි වෙන්නයි යන්නෙ. 

ගිය සැරේ නම් වුනේ සම්පූර්නයෙන් මේකෙ අනිත් පැත්ත. අප්‍රේල් අග වෙද්දි අලුත් පැටව් එන එක නතර උනා. රස්නෙ වැඩි වෙන කාලෙ වෙද්දි ඔක්කොම සත්තු සෑහෙන්න ලොකු වෙලා හිටිය නිසා කිසි ප්‍රශ්නයක් ඇති උනෙත් නෑ. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බලන්න විතරමයි තිබුනේ. හවස් වරුවෙ කාමරෙන් එලියට බැහැල ගොවිපලේ හිටපු පැය දෙකට ඔලුවෙ කැක්කුමකුත් හදාගෙනයි මං ආයෙත් ආවේ. 
හවස වැඩ ඉවර වෙලා ඇවිත් දවසේ විස්තරේ දුරකතනෙන් ලංකාවට වාර්තා කළා. 
"අප්පේ! මෙහෙත් ගිනි රස්නෙයි. අද නම් මුකුත්ම කරන්න බැරි උනා. පුන්චි උන් ටික කෑ ගහනවා දාඩියයි කියලා. ඒ මදිවට වතුර බොතල් ටිකේ වතුර ඉවර කරගෙන. තිබහයි කියලා කෑ ගහනවා. ඉතින් ආයෙ ගිහින් බොතල් වලට වතුර අරන් ඇවිත් දුන්නා. හෙට ඉදන් වතුර බොතල් දෙක දෙක අරන් එන්න කියල මං කීවා ලමයිනට. ටීචලා ටික කීවේ වහලෙ උඩට පිදුරු ගෙනත් දාන්න ඕන කියලා. ඉන්න බෑ  පංතිවල. දාඩිය වැක්කෙරෙනවා."
ඒ දුරකතනෙ අනිත් කෙලවරේ ඉන්න මගේ පුංචි ගුරුතුමීගේ දවසේ වාර්තාව. ලස්සන ඔසරියකින් සැරසිච්ච කැලෑබද ඉස්කොලෙක ගුරුතුමියක් බෙල්ල වටේ ගලන දාහඩිය පිහින දර්ශනයක් මගේ ඇස් ඉස්සරහා මැවිලා නොපෙනී ගියා. ඒත් ඒ මැවිච්ච රූපෙ හිටපු එයාව මං හැබැහින් දැක්කෙ ගිනි අව්ව දවසක නෙමෙයි.  මහා වැස්සකට මැදි වෙලා මඩකලපු හංදියට වෙලා මං එනකල් බලන් ඉදපු දවසේ. ඔව්.. ඒ රූපෙ තමයි. පස්සරින් පිටත්වෙලා අක්කරෙයිපත්තුවට යන්න ඕන මං, එයා හම්බ වෙන්න ඕන නිසාම ලොකු  රවුමක් ගියා. බිබිල, මොනරාගල, සියබලාන්ඩුව හරහා අක්කරෙයිපත්තුවට ගියපු අපේ ආයතනේ වාහනේ අතැරලා මං බිබිල, මහියංගනේ, දෙහිඅත්තකන්ඩිය, මනම්පිටිය, කල්මුනේ හරහා අක්කරෙයිපත්තුවට බස් එකේ ගියා. පොරොන්දු වෙච්ච වෙලාවට වඩා සෑහෙන්න පරක්කු වෙලා  මං මඩකලපු හංදියෙන් බහිනකොටම එච්චර වෙලා අඩන්න ලෑස්තිවෙලා හිටපු අහසට කව්දෝ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා. පාර පැනලා මඩකලපුව පැත්තට යන හෝල්ට් එක දිහාට දුවං යද්දි මගේ දිහාට ආපු එයාගේ කුඩේ යටට රිංගපු හැටි හීනෙකින් වගේ මතකයි යන්තමින්. වැහි බින්දුවල පීඩාව දරාගෙන ඉක්මනින් හෝල්ට් එකට ගොඩ උනාට පස්සෙ එයා මූනේ, බෙල්ලෙ තිබ්බ වැහි බින්දු පිහදාපු හැටි. ඔව්.. ඔව්.. අන්න ඒ දවසෙ දැක්ක රූපෙ තමයි මට අද මැවිලා පෙනුනේ. විනාඩි කීපයක් ඉන්න ඇති අපි ඒ බස් හෝල්ට් එකේ. ඊලගට කට කපලා සෙනග පුරවපු කල්මුනේ බස් එකකට දෙන්නම ගොඩ උනේ පැය භාගෙකින් පිටත් වෙන එයාගෙ අන්තිම බස් එක අල්ල ගන්න ඕන නිසා. විනාඩි විස්සකින් විතර බස් එක වැලිකන්දෙ බස් නැවතුම්පල ලග නුග ගහ යට නතර වෙද්දි අකමැත්තෙන් උනත් මට එයා බස් එකෙන් බැහැලා යන දිහා බලන් ඉන්න උනා. 
ඒ අවුරුදු එක හමාරකටත් වඩා කලින් දවසක්. නෑ. මං හිතන්නෙ දැන් අවුරුදු දෙකකට ආසන්න ඇති. එයාට මුලින්ම පත්වීම ලැබුනු දවස්වලම. විස්වාස කරන්න පුලුවන්ද? හැමදාම සාරියක් අඳින එයා සාරියක් ඇදන් ඉන්නවා මං හැබහින් දැක්ක අවසාන වතාවයි ඒ. දැනට මාස කීපයකට කලින් යන්තම් තාක්ෂනේ පිහිට බොහොම හිමිහිට එයාගේ ගමටත් ලැබුනු නිසා ඉදලා හිටලා ලැබුන පින්තුර කිහිපයක නම් මේ ගුරුවරිය දැක ගන්න ලැබුනා. ඒ පිංතූර නිසා කවුරුත් නොදාන්න ඈත ගමක කැලෑ මල් වලට අකුරු කරවන්න ඒ ගුරුවරිය යන හැටි හිතින් මවා ගන්න අවස්තාව යන්තමින් මට ලැබුනා. ඒත් ඒ දසුන හැබෑවට දකින කාලය තවත් දුරයි.


ප. ලි. - කොටලා ඉවර වෙලා දෙවෙනි සැරේට මේක කියවගෙන යද්දී මටම හිතුන මේ පිට රට ගමන නිසා මං අහිමි කර ගත්ත දේවල් එක්ක බලද්දී, හිමි වෙච්ච දේවල් හරිම සුළුයි කියලා. එත්, ඒක පසුතැවිල්ලකට හේතුවක් නොකර ගන්නයි මට උවමනා. 

Thursday, May 22, 2014

චොකෝ සහ කොකෝ

අලුත් යාළුවා. චෝකෝ- මොකෝ 
මෙහෙට ආවට පස්සෙ මං ජිවිතේ පලවෙනි වතාවට පූසෙක් ඇති කරපු බවත්, එක සැරේටම එයා අතුරුදහන් වුන බවත් මගේ පින්තූර බ්ලොගේ පල කලා නේ. එයාගේ පාට නිසාම යෙලෝ ෆෙලෝ කියලයි මං එයාව නම් කලේ. එකපාරටම හිතුවෙවත් නැති විදිහට යෙලෝ නැති උනු නිසා ඇතිවෙච්ච කනගාටුව නිසා මං හිතුවා ආයේ කවදාවත් පුසෙක්ව නම් ඇති කරන්නෙ නෑ කියලා. ආයේ කවද හරි නවතින්නම් ලංකාවට ගිය දවසක ඒ ගැන සලකලා බලනවා කියලයි හිතන් හිටියෙ මං. මොකද මෙහෙදි ඇති කරන සතෙක් ඉක්මනින්ම දාලා යන්න වෙන නිසා.
ඒත් මාස කීපයකට පස්සෙ එක මොහොතකින් මට ඒ තීරනේ වෙනස් කරන්න සිද්ධ උනා. පහුගිය දවසක වැඩ ඉවර වෙලා එද්දී, පූස් පැටව් අඩන සද්දයක් ඇහිලා මං ඒ සද්දෙ ඇහුන පැත්ත පොඩ්ඩක් විපරම් කලා. තනි සුදු පාට පූස් පැටව් දෙන්නෙක්. මාසයක් විතර වයස ඇති. දෙන්නගෙම කන් දෙකේ කෙලවරත් හොම්බෙ කෙලවරත් කළු පාටයි. හරියට අර මට නම අමතක හා වර්ගය වගේ (හිමාලයන් වගේ යන්තම් මතකයි). ඒ දෙන්න නෙමෙයි විශේෂ. ඇගේ උඩ පැත්ත චොක්ලට් පාට, හොම්බයි, කකුලුයි, බඩයි සුදුපාට තුන්වෙනි පැටියා. ජීවිතේ පලවෙනි වතාවටයි මේ පාට පුසෙක් දැක්කෙ මං. අතට අරන් බලල ආයෙත් තිබ්බා. චෑව්.. චෑව්.. ගාල කන පැලෙන්න කෑ ගහනවා. එදා ඉදලා එතනින් එන ගමන් දවස් කීපයක් එතනින් එනකොට බල බල ආවා. ඒත් එක දවසක් බලද්දි මේ තුන්දෙනාම අතුරුදහන් වෙලා. මං එයාලා ගැන විපරම් කරනවා දැක්ක පූස් අම්මා පැටව් ටික වෙන කොහාට හරි ගෙනියන්න ඇති කියලයි මං හිතුවේ. එතනින් යන එන බොහෝ වෙලාවට මං ඒ අවට විපරම් කලා එයාලා ලග පාතක ඉන්නවද කියලා. ඒත් ආයේ දැක්කෙ නෑ. සති එක හමාරකට විතර පස්සෙ දවසක් ඒ ලගින් එන ගමන් විපරම් කරද්දි තමයි ආයෙත් මේ තුන්දෙනාව දැක්කේ. වෙන තැනකට ගිහින් නෙමෙයි, එතනම පොඩ්ඩක් එහායින් තියෙන අබලන් බඩු ගොඩක් අස්සට රිංගලා නේ මෙයාලා. අම්මා අරන් යන්න ඇති කියල හිතුව නිසා එතන වැඩිය විපරම් කරපු නැති නිසයි මං දැකල නැත්තේ.
ඊලග දවසෙත්  එන ගමන් ආයෙත් එතන නැවතුනා. එක සැරේටම මට හිතුනා එක්කෙනෙක්ව ඇති කරන්න ඕන කියලා. ඉතින්, ඒ නිසා තමයි ටික වෙලාවකින් මෙයා මගේ කාමරේට ආවේ. පලවෙනි දවසේ පොඩි සිරින්ජරයකින් කිරි පෙව්වත්, දෙවනි දවසෙම සාමාන්‍ය විදිහට අයිස්ක්‍රීම් කප් එකක මූඩියෙන් කිරි බොන්න, කන්න පුරුදු උනා. තුන්වෙනි දවස වෙනකොට ලොකු පෙට්ටියකට වැලි දාලා හදපු එයාගෙ ටොයිලට් එක පාවිච්චි කරන්නත් පුරුදු උනා. ඒ වගේම මගේ කාමරේ සෙටි එක එයාගේ ඇද විදිහට පාවිච්චි කරන්නත් පුරුදු උනා. එයාගේ පාට නිසාම චොකෝ කියල කතා කරන්න පටන් ගත්තා. චෑව්.. චෑව් ගගා පස්සෙන් ඇවිත් කකුලෙ ඇතිල්ලෙන හැම වෙලාවෙම "මොකෝ චොකෝ?" කියලා අහන නිසාම දැන් එයාගෙ නම මොකෝ-චොකෝ කියලා වෙනස් වෙලා.

චොකෝ කියන නම නිසාම මට කාලෙකට කලින් දැක්ක තවත් එක සතෙක් මතක් උනා. ඒ කොකො. ගොඩක් වටින බලු වර්ගයක් වෙච්ච් සෙන්ට් බර්නාඩ් වර්ගයේ සතෙක්. මෙයාලා සාමාන්‍යයේන් සෑහෙන ලොකු සත්තු. ගොඩක් වයසට ගිහින් අබල දුබල වෙලා හිටිය කොකෝ බෙහෙත් ගන්න ඇවිත් හිටියේ. ලංකාවේ ප්‍රසිද්ද මාලිගාවක ජිවත් වෙච්ච සතෙක් උනු මෙයා සෑහෙන්න අසනීපෙන් හිටියේ ඒ දවස්වල. කොකෝගේ අයිතිකාර ප්‍රසිද්ධ පුද්ගලයා එක්ක තිබ්බ තරහටද මන්දා මං කොකෝගෙ නමට විශේෂන පදයක් එකතු කලා. දකින දකින හැම වෙලේම "ආ... පහෙන්ද-කොකෝ" කියලා මේ වයසක බලු සීයට කතා කරන එකට එයාට සාත්තු කරපු අපේ මාරි නම් නිතරම මට බැන්නා. ලෙඩ වෙලා අසරන වෙච්ච සතෙක් විහිළුවට ගත්ත එක නම් නරකයි තමයි. ඒත්, සතෙක්ට අපි අමතන නම නෙමෙයි නෙ වැදගත්. අපි කියන දෙයින් අපි පෙන්වන හැගීමයි. බොරු නෙමෙයි. නිකමට වගේ ගෙදර බල්ලට හොද කුනුහරපයක් ආදරෙන් කියල බලන්න. හරියට මචං චිත්‍රපටියේ මහේන්ද්‍ර පෙරේරා ආගමන විගමන නිලදාරියට හිනා වෙලා කියන විදිහට කියන්න. සතා වෙනද වගේම නැට්ට වනනවා.  ඒ නිසා කොච්චර දුබල වෙලා හිටියත් ඒ  විදිහට හිතවත් කමින් කතා කරද්දි කොකෝත් නැට්ට අමාරුවෙන් වැනුවා මතකයි.

Tuesday, May 20, 2014

කළු සුදු - BLACK n WHITE

කළු- අදුරු බව, ගුප්ත බව, භයංකාරබව, දුක, අවාසනාව සංඛේතවත් කරන වර්ණයක්ලු.
සුදු - පිරිසිදු කම, සැදැහැත්බව, සුන්දරත්වය් සේම තවත් විටෙක මරනය, ශෝකය හගවන දනවන වර්ණයලු. 
ඒත් මේ දෙකම ඇති විට විවිද හැගීම් දනවන්න පුලුවන්. 
වෙලාවක අපි ජිවිත වගේම මිනිස්සුන්වත් කළු, සුදු විදිහට වර්ග කරන්න උත්සහ කරනවා. හමේ වර්ණයෙන් නෙමෙයි. ගතිගුන වලින්. ඒත් එහෙම කළු හරි සුදු හරි මිනිස්සු ඉන්නවද? නෑ. මං නම් දන්නෙ කළු සුදු මිශ්‍ර මිනිස්සු විතරමයි. ඒත් ඒ අළු නෙමෙයි. කළු - සුදු. 

කළු සුදු ගැන ලීවේ මේ සැරේ පල කරන් පින්තුර කිහිපය කළු සුදු ඒවා නිසයි. වර්ණ පින්තුර වලට වඩා කළු සුදු පින්තුර හැගීම් දනවන්න සමත් කියලයි මට නම් හිතෙන්නෙ. වර්නවත් පින්තුර ගන්න පුලුවන් යුගයක ඉද්දිත් තාම මිනිස්සු කලු සුදු පින්තුර ගන්නෙ ඒ නිසා වෙන්න ඕන. 
ඉතින් මාත් උත්සහ කලා කළු සුදු පින්තුර කිහිපයක් හදන්න. ඔව්. මේවා මුලින් වර්න පින්තුර විදිහට සටහන් කර ගත්ත නිසා, පස්සෙ ඒවගෙන් කලු සුදු පින්තුර හදන්න උනා. 
හැමදාම වගේ මුලින්ම පල කරන්නෙ මං වැඩියෙන්ම කැමති පින්තුරයයි. මේකෙ නම් මුල් පින්තුරෙත් වර්න අඩු කළු සුදු වලට ආසන්න පින්තුරයක්. 
ප. ස. - අද සටහන කෙටි. ගොඩ දවසකට පස්සේ රෑ වෙලා කැමරාව අරන් එලියට බැහැල පොඩි ව්‍යාපෘතියක් කරන ගමනුයි මේ ටිකත් කෙටුවේ ජංගම දුරකතනයෙන්. 


අට



මගේ සමුගත්ත පූස් මිතුරා සහ සෙවනැල්ල 
 

හුදෙකලාව 











Monday, May 19, 2014

නිදහස් හිරගේයකදී


තවත් සතියක් නොදැනිම ගෙවිලා ගිහින්. කලින් කල්පයක් දුර වගේ දැනිච්ච දිනේ දැන් ලග ලගම එන බවක් දැනෙනවා. ඒකෙන් හිතට සැහැල්ලුවක් දැනුනත් ඒ එක්කම ලොකු බයකුත් හිතට එබිකම් කරන්න පටන් අරන්.
මගේ විතරක් නෙමෙයි, තවත් කෙනෙක්ගෙ හිතකටත් හීන ගොඩක් පුරවලා ආපු මේ ගමනේ අන්තිමේ මට ආපහු යන්න වෙන්නෙ හිස් අතින්ද? මගේ බලාපොරොත්තුව උනේ මේ ගමනින් මුළු ජිවිතේම ගොඩ දා ගන්න නෙමෙයි. මං සාමාන්‍යයෙන් තියන පියවර වලට වඩා පියවර කීපයක් වැඩියෙන් තියන්නයි උවමනා උනේ. නමුත්, බලාපොරොත්තු උනු තරමේ ප්‍රගතියක් අත්කර ගන්න බැරි වුනා.
පිට රටක රැකියාවකට ආවට පස්සේ අනිත් අය හැමෝම හිතන්නේ අපි ලංකාවට ආපහු එන්නේ කෝටිපතියෝ වෙලා කියලයි. ඒත් ඇත්තම කාරණාව අගහිඟකමෙන්  ගෙවපු ජිවිතේ තිබුණු පුංචි පුංචි සිදුරු කිහිපයක් වහගන්න අපට ඉඩ කඩ ලැබෙන එකක් විතරයි. හැමෝම වගේ අනාගතේ ගැන ගොඩ නගා ගත්ත හීන කීපයක් වෙනුවෙන් මේ ජිවිතේ තෝරා ගත්තත්, ඒ වෙනුවෙන් මං මගහැරගෙන තියෙන ජිවිතේ පංගුව ලොකු වැඩි කියලයි වෙලාවකට හිතෙන්නේ. ගෙවන මොහොතවල් ගැන පසුතැවිලි නොවී එයින් උපරිම ඵල නෙලාගෙන තෘප්තිමත් වෙන්න ඕන කියන මගේ හිතේ හැම මොහොතේම තිබ්බ හැගීම ටිකින් ටික අතුරුදහන් වෙන්නත් ගත්ත මේ නිදහස් හිරකාර ජිවිතේට ඇතුළු උනාට පස්සේ. 
පේරේ හිටිය කාලේ WUS කැන්ටිමේ රස්තියදුවක් ගහල හරි, තෙල් බැම්ම ලගට වෙලා අව්වට කරවේවි ඉදල හරි හොරෙන් දැක ගත්ත මුහුනේ හිනාව හැබැහින් දැක්කේ නෑ අවුරුද්දකුත් මාසෙකින්. ඉදල හිටලා කොම්පිතරේ තිරෙන් එබිලා බැලුවට ඒ හැගිම් වයර් දිගේ සජීවීව ගලන්නේ නෑ. සරසවියෙන් එලියට ආවට පස්සේ රැකියාවල කාර්යබහුල උනත් මාසෙකට වරක් අත් පටලවන් ඉන්න හොයාගත්ත ඉඩ කඩේදී දැනුනු මගේ කැලෑ මලේ සුවද දැනෙන මානෙකට ලං වෙන්න නම් තවත් මාස කීපයක්ම බලන් ඉන්න ඕන. ඔය අතරේම අපේ  ගෙදර තුන් වෙනි පරම්පරාව නියෝජනය කරන පලවෙනි සාමාජිකයා, අයියගේ පුතණ්ඩියා මේ ලෝකෙට ආවේ මං මේ දුරු රටට ඇවිත් මාස කීපයකින්. අපේ ගෙදර හැමෝගෙම හිත්වල අලුත් එළියක් ඇතිකරපු මේ සිගිත්තා මං දකින්න නියමිත බහතෝරන්න, දෙපයින් නැගිටින්න පටන් ගත්තටත් පස්සෙයි. ඔය ඇරෙන්න තව ගොඩක් දේ මං ඇත්තටම අයිති ලෝකයේ සිද්ධ උනත් ඔය දෙක සැහෙන්න දැනුනා. 
ලංකාව එක්ක තිබ්බ දුරස් බව යන්තමින් හරි අඩු උනේ අන්තර්ජාලය හරහා තිබ්බ සබදතාව නිසයි. එත් අන්තර්ජාලයෙන් වත් පිහිටක් නැති මිනිස්සු කි දෙනෙක් මේ වගේ නිදහස් හිර ගෙවල් වල හිර වෙලා ඉන්නවද?  

පින්තුරේ - http://s3.amazonaws.com/rapgenius/alone_by_buaiansayapanomali.jpg

Monday, May 12, 2014

වැඩි ගතික පරාසයක - Landscapes HDR toning

"කොහෙද යකෝ මෙච්චර කාලයක් තොලොන්චි වෙලා හිටියේ?" කියලා අහන්න නම් ඔට්ටු නෑ ඔන්න. අහන්න කලිං කියලම දාන්නන්කො. අපේ අන්තර්ජාලේ ජංජාලයක් උන එකෙන් ටික දවසක් මං ඔය සමාජ ජාල වලින් ටිකක් ඈතට වෙලා හිටියා. ඒ අතරෙම තව විකාර දෙයකට ඇබ්බැහි උනා. ඒ Twenty Four මාලා නාට්‍යය බලන එකට. අවුරුද්දකට වඩා කාලයක් මගේ පරිගනකයේ දෘඩ තැටියේ කොනක මකුලුදැල් බැදි බැදි තිබ්බ මේ නාට්‍යයේ කොටසක් අහම්බෙන් වගේ විවෘත කරල බලපු එකෙන් උනේ ඉස්පාසුවක් නැතුව එක දිගට ඒකේ මාලා (series) 7ක්ම බලල ඉවර කරපු එක. කොහොමින් කොහොම හරි අපි අලුත් ජාල සබදතාවක් අරගත්ත නිසා ආයෙත් ඔන්න මම ආවා බ්ලොග පැත්තෙ රවුමක් දාල යන්න. 

ඉතින් අපේ පරිසරේ ගැන කියනව නම්, ඉරට හැතැප්මක්වත් නෑ. හෙට වෙද්දි උෂ්නත්වෙ අංශක 42ක් දක්වා වැඩි වෙයි කියල තමයි කියන්නෙ. ඒ මදිවට කාන්තාරෙ පැත්තෙ ඉදන් එන දුවිලි පිරිච්ච හුළඟ. ගොවිපලේ ගස්වල රටඉඳි හැදීගෙනත් එනවා. මාස 5ක් තිස්සේ මට වද දිදී, දවසට 7-8 දෙනා ගානේ පැටව් දාපු වැස්සියො ටිකත් දැන් සමර් නිවාඩුව අරන් පැටව් දාන එක අඩු වේගෙන එනවා. ඔය අතරේ අපි අපේ ශේක් යුරෝපය පැත්තෙ රව්මක් දාන්න යනකල් බලන් ඉන්නවා. 
පින්තුර ඇල්ලිල්ලත් සෑහෙන්න අඩු වෙලා. දැන් ඉතින් එලියට බහින්න පුලුවන් රෑට විතරයි. රෑ අහසත් දූවිලි වලාකුලු නිසා වැහිලා ගිහිල්ලා. ඉතිං, මේ පාර පල කරන්නෙ නැවත සංස්කරනය කරපු පරන පින්තුර කිහිපයක්. 

සසිදුගේ බ්ලොගේ එකෙන් දුන්න පින්තුර කඩේ (Photoshop) add-on එකකින් තමයි මේව සංස්කරනය කලේ. HDR toning කියන පින්තුර සංස්කරන ක්‍රමය තමයි මේ. හැබැයි මේ හැබෑ HDR නෙමෙයි. 
HDR කියන්නෙ මොකද්ද? High Dynamic Range කියන එක කෙටියෙන් තමයි මේ HDR කියන්නෙ. මං ඔය එක එක වෙබ් අඩවි වලින් කියවල දැන ගත්ත විදිහට පොඩි විස්තරයක් කරන්න උත්සහ කරන්නම් මේ ගැන. Dynamic range හෙවත් ගතික පරාසය කියන්නෙ ආලෝකයේ අඩු වැඩිය, පරතරය කියන එකලු. ඒ කියන්නෙ, සාමන්‍යයෙන් අපි දකින ඕනම දසුනක සමහර තැන් හොදට ආලෝකමත් වෙලත්, සමහර තැන් අඩුවෙන් ආලෝකමත් වෙලත් තියෙනව නේ. අපේ ඇහැ ඒ ආලෝකය අඩු වැඩි තැන් හොදට කියවනවලු. (ඇහැ කීවට ඒක කරන්නෙ ඇහැයි, මොලයයි දෙකම එකතු වෙලා කියලයි මට හිතෙන්නෙ.) ඒ කියන්නෙ ඇහැ වැඩි ආලෝක පරාසයක ක්‍රියාත්මක වෙනවා. ඇහැට වැඩි ගතික පරාසයක් තියෙනවා. ඒත් කැමරාවට එහෙම හැකියවක් නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් දීප්තිමත් අහසක් තියෙන භූමි දර්ශනයක් වගේ ආලෝක වෙනස වැඩි පින්තුරයක් ගන්න ගියාම ලොකු ගැටලුවක් එනවා. බොහෝ විට එතකොට අහස නියම විදිහට අල්ල ගත්තොත් භූමිය අදුරු වෙනවා. භූමිය හොදට අල්ල ගත්තොත් අහස අධි අනාවරනය වෙලා මෙලෝ රහක් නැති පාට පිච්චුන අහසක් එනවා.  ඒ වගේ අවස්තා වල තමයි මේ HDR කියන ක්‍රමය පාවිච්චි කරන්නෙ. ඒකෙදි කරන්නෙ අනාවරන වෙනස් සහිත පින්තුර කීපයක් අරගෙන ඒවා මෘදුකාංගයක් මගින් එකතු කරන එකයි. ඒ විදිහට ගතික පරාසය වැඩි පිංතුරයක් හදා ගන්න පුලුවන්. තේරුනාද මන්දා. මම ලියපු දේ මටම ආන්ද්‍රා දෙමල වගේ. 
ඉතින් එහෙම පින්තුරයක් හදාගන්න පින්තුර කඩේට වඩා හොද මෘදුකාංග තියෙනවා. ඒත්, මගෙ ලග එහෙම එකක් නෑ. ඔය අතරේ සසිදු දුන්න add-on එක මේ පින්තුර කිහිපයට දාලා බැලුවා. මේ හැබෑ HDR නෙමෙයි. HDR toning. තනි පින්තුරයක් පොඩ්ඩක් වෙනස් කරල HDR වගේ එකක් හදලයි මේ තියෙන්නෙ. ඔන්න බලන්නකෝ. 
මුහුනු පොතේදී හිතවත් උනු ජනක කියන මිතුරෙක් මේ උඩ පින්තුරෙ මගෙන් ඉල්ලගෙන නියම HDR එකක් කලා. ඉතිං මාත් උත්සහ කලා හදන්න. ඒත් ජනක තරම් සාර්තක නෑ මම. 
සො.සි. මේකට කවියකුත් ලියල තිබුනා.




කලිනුත් පල කලා මේ පින්තුරේ. ඒත්, මේ සැරේ වෙනස් සංස්කරනයක්. 


සැලකිය යුතුයි -
1. මං චායාරුප ශිල්පය පිලිවෙලකට උගත් කෙනෙක් නෙමෙයි. ජාලයෙන්, එහෙන් මෙහෙන් කියවලයි බොහෝ දේවල් දැන ගත්තේ. ඒ නිසා මේ කරුනු 100% නිවැරදි නොවීමට පුලුවන්. 
2. මගේ පින්තුර බොහොමයක් කෘතිම ගතියක් දැනුනට හැබෑ HDR එහෙම නෙමෙයි.
3. මං භූමි දර්ශන වලට විතරක් මේක භාවිතා කලාට මීට වඩා බොහෝ දේ සදහා HDR භාවිතා කරන්න පුලුවන් ලූ.