Tuesday, July 22, 2014

රාත්‍රී දෝහා නගරය | DOHA NIGHT LIGHTS, SOUQ WAQIF

ප්‍රසිද්ධ දෝහා නගරයෙන් ඈත කාන්තාරයේ තියෙන ගොවිපලක රැකියාව කරන බවත්, දෝහා නගරයට යන්නේ එන්නේ ඉදල හිටලා බවත් මං කලින් සටහනකදී කිවා නේ. ඒ නිසාම මේ නගරයේ ගත්ත පින්තුර හරිම අඩුවෙන් තමයි මගේ පින්තුර එකතුවේ තියෙන්නේ. 
රාමදාන් උපවාස කාලය පටන් ගත්තු මුල්ම දිනේ ඉක්මනට දවසේ රාජකාරි ඉවර කරලා ඉර බැහැගෙන යන වෙලාවේ අපි දෝහා නගරයට ඇතුළු උනේ පින්තුර කීපයක් එකතු කර ගන්න බලගෙනමයි. රාමදාන් නිසාම වෙනදා වාහන පිරිලා උතුරලා යන පාරවල් හිස් වෙලා තිබුනා. නගරය සාමකාමී වෙලා තිබුනා. ඉතින් අපි කිසි කරදරයක් නැතුව බලාපොරොත්තු වෙච්ච පින්තුර කීපය එකතු කර ගත්තා. මේවත් මගේ ප්‍රියතම මන්දගාමී ද්වාර පින්තුර (Slow shutter) ටිකක්. නිවී සැනසිල්ලේ පින්තුර ටික අරන් එතනින් පිටත් වෙලා ඊළගට අපේ සමාගමේ ප්‍රධාන කාර්යාලයට ගියේ තවත් වැදගත් වැඩකට. මගේ නිවාඩු ඉල්ලුම් පත්‍රය භාර දෙන්න. ඒ වැඩේ ඉවර උනාට හිතට ලොකු සැනසීමක් දැනුනට මොකෝ එතනින් පස්සේ වෙච්ච අකරතැබ්බි නම් හතුරෙකුටවත් වෙන්න එපා කියලයි මං ප්‍රර්ථනා කරන්නේ. පින්තුර ටිකට අමතරව ඔන්න ඔහේ ඒ වෙච්ච සිද්ධි ටිකත් කොටලා දාන්නම්කො.
කාර්යාලයෙන් පිටත් වෙලා අපි හෙමිහිට සුපිරි වෙළදසැලකට ගොඩ උනා. ඔය අතරේ තමයි පණිවිඩයක් ආවේ ගොවිපලට ගෙනියන්න තියෙන බෙහෙත් වගයක් අරන් යන්න එන්න කියලා. ඉතින් බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ රස්තියාදුවකට මැදි වෙලා ආපහු ගොවිපලට ලගා වෙද්දී මධ්‍යම රාත්‍රියත් පහු උනා. අනේ ඉතිං හෙමිහිට බදු මුට්ටු ටික අහුරලා එහෙම නිදා ගන්නකොට වෙලාව පාන්දර එකයි. යන්තම් ඇස් දෙක පියවෙනකොටම ෆෝන් කට්ට සල බලාන් ගාල වැදුනා. "ඩොක්ටර්. ඒක් ගයි කො මුශ්කිල් හේ" මං භාරව ඉන්න අපේ අලුත් ගොවිපලේ මුරකාර කොලුවා. වැස්සියෙකුට පැටියා ලැබෙන්න අමාරු වෙලා. නිදි මතයි කියලා නිකන් ඉන්නයෑ. ඉතින් පාන්දර දෙකට මං නැගිටලා ගියා. මුර කාර කොලුත් එක්ක එකතු වෙලා වැස්සිත් එක්ක ඔට්ටු වෙලා යන්තම් පැටියා එලියට අරන් ඔක්කොම වැඩ ඉවර කරලා ආයෙත් ඇවිත් ඇල වෙද්දී පාන්දර 3.15යි. හම්මේ සනීපෙ. 
යන්තම් ඇහැ පියවේගෙන එද්දී ආයෙත් ෆෝන් එක අඩනවා. "ඩොක්ටර්. තව සතෙක්ට අමාරුයි" හත් වලාමේ.. සෑ නම් සෑ එදා සෑ කිවලු. වෙන ඉතින් කරන්න දෙයක් නෑ නේ. ආයෙමත් 4.30 ට ගිහින් පැටියව එලියට අරං එද්දී පාන්දර පහ හමාරයි. ඉක්මනින් ඇදට වැටිලා දවසම නිදා ගන්න හිතුවට මොකද හත වෙද්දී ආයෙමත් ගොවිපලට යන්න උනා ආයෙත්. කලින් දවසේ ගෙනාව බෙහෙත් ඔක්කොම මගේ වාහනේ නේ. යන්තම් 10 වෙද්දී වැඩ ඉවර කරලා ඇවිත් එක හුස්මට පැය ගානක් නිදාගෙන තමයි යන්තම් නිදිමතයි, ඇඟේ අමාරුවයි ඇර ගත්තේ. 
කතාවෙන් කතාවෙන් පින්තුර ටික අමතක උනා නේ. ඔන්න බලන්න දෝහා නගරයේ රාත්‍රී පින්තුර. 
FOREVER UNDER CONSTRUCTIONS

දෝහා කොර්නිච් ඉදන් පෙනෙන අහස සුරන මැඳුරු 

ටිකක් ලං කරලා ගත්ත එකක් 

මේ එමිර්වරයාගේ කාර්යාලයයි මං දන්නා විදිහට නම්

මෙන්න මෙතෙන්ට කියන්නේ කොර්නිච් කියලා 


පර්සියන් බොක්කේ බෝට්ටු

DOW බෝට්ටු. කතාර් වල අතීත සංස්කෘතියේ සංඛේතයක් ලු. 

ඉස්ලාමිය කලා කෞතුකාගාරය - පේනවද බුර්කාවකින් සැරසිච්ච ගැහැණු ඔලුවක්? 

මෙතනින් පහල තියෙන්න පින්තුර වෙන දවසක එකතු කර ගත්ත ඒවා ටිකක්. වෙන වැඩකට ගිය අතරේ දෝහා නගරයේ සුප්‍රසිද්ධ පැරණි වෙළද සංකීරණය වෙච්ච SOUQ WAQIF එකට ගොඩ උනා. හැබැයි එදා අතේ තිබුනේ ජංගම දුරකතනයේ කැමරාව විතරයි. මේ එකේදී ගත්තුවා ටිකක් 
fanar ජංගමයෙන් 


එලිය විහිදුවන බිම්මල් 


පට්ට OWL

විකිනෙන ජිවිත. 



AFRICAN GRAY macaw මෙයාලා හරි ගණන්. උඩ පින්තුරෙත් ඉන්නේ මෙයාම තමයි.
Souq Waqif එකෙත් දෝහා නගරයේත් පින්තුර ටිකක් ගන්න වෙනම වැඩක් විදිහට දාගෙන හිටියත් ගෙදර යන්න ලෑස්ති වෙන මේ දවස්වල ඒකට වෙලාවක් නෑ. පල කරන්නේ මොකද්ද කියල හිත හිත ඉද්දි තමයි මේ පින්තුර ටික දැක්කේ. ගෙදර ගිහින් අවට පස්සේ මිට වඩා ගොඩක් පින්තුර තියෙන පොස්ට් එකක් දාන්නම්. එතෙක් හැමදෙනාටම අබ සරණයි. 


Thursday, July 17, 2014

තනි තරුවේ | මතක සුවද දිගේ

image - http://www.mellman.org/bill/camping/wbw00/textlist.html

ගම රට බලා යන්න තියෙන්නෙ තව සති දෙකයි. කම්මැලිකම පැත්තකින් දාලා මේ කතාව ලිවිය යුතුමයි. ඔව්.. ඉක්මනින්ම. මේ ඒකට හරිම කාලය. ලංකාවට පය ගැහුවට පස්සෙ ජිවිතේ ලොකු වෙනසකුත් සිද්ද වෙන්නයි සැලසුම් හැදිල තියෙන්නෙ. එතනින් පස්සෙ ජිවිතේ කොයි අතට ගලයිද කියල තාමත් නිශ්චිතවම කියන්න බෑ. ඉතින් ඊට පෙරාතුව මේ ගැන ලියන්න ඕන.  

මීට අවුරුදු දහයකට කලින්. ඒ මං පලමුවර උසස්පෙලට මුහුන දෙන්න සූදානම් වෙන කොල්ල කුරුට්ට කාලේ. මං ඒ වෙද්දි නැවතිලා හිටියෙ පර්ලි ඇන්ටිගෙ බෝඩිමේ.හදිස්සියේම වගේ බෙල්ලෙ මතු වෙච්ච ගැටිත්තක් පැපොල කියල අඳුර ගත්ත නිසා අනිවාර්යය නිවාඩු අරන් ගෙදර යන්න උනා. ලෙඩේ අමාරුවට වඩා වැඩී කාමරයකට වෙලා එලියට බහින්නෙ නැතුව ඉන්න ගියාම තියෙන අමාරුව. දවස් ගානක් කාමරේකට වෙලා ඉඳලා, ඉඳලා, ඉඳලා, ඉඳලා අන්තිමේ එලියට බහින්න අවසරේ ලැබුනට පස්සෙ ගමේ ඉන්න මගේ එකම පාප මිත්‍රයා වෙච්ච බීඩියා එක්ක එහාට මෙහාට රවුම් ගහන්න ගත්තා. දවස් දෙකකට විතර පස්සෙ දවසක මෙහෙම ඇවිද ඇවිද ඉදලා බීඩියාලගෙ ගෙදර අඹ ගහෙන් කඩා ගත්ත අඹ මල්ලකුත් අරන් අඳුර වැටීගෙන එන වෙලාවේ අපේ ගෙදරට යන දෙවට දිගෙ ගාටනකොට  තමයි මට කෙල්ලො දෙතුන් දෙනෙක්ගෙ සිරික්කියක් ඇහුනේ. ආය ඉතින් කෙල්ලෙක්ගෙ කටහඩක් ඇහුනම් විපරම් නොකර ඉදලා හරියනවද? එබිකම් කරල බැලුවා අපේ අල්ලපු වත්තට. කලින් කවදාවත් දැකපු නැති කෙල්ලො දෙන්නෙක් ඇන්ටිත් එක්ක මිදුලට වෙලා කතා බහ කර කර ඉන්නවා.

"ආ.. මද්දු පුතේ, පොඩ්ඩක් මෙහාට වරෙන්කො බං. " 

මාව දැකපු අපේ හිතවත් ඇන්ටි මට කතා කලා.
දුක සැප විමසන ගමන් මං එකතු කරගෙන ආව කොහු අඹ වලින් සෑහෙන කොටසකට විද්ද ඇන්ටි මට ඒ කෙල්ලො දෙන්නව අදුන්නලා දුන්න.

"මේ තමයි අපේ ගෙදර බෝඩින් වෙලා ඉන්න කෙල්ලො දෙන්න." 


හ්ම්.. වියලි කලාපෙ සුපුරුදු පෙනුම තියෙන ගැටිස්සියො දෙන්නෙක්. තනි කරලට ගොතපු කොන්ඩා. ‍අව්වෙන් වර්ණ ගැන්වුනු මුහුණු. මල් මල් ගවුම් දෙකක්. කටකාර කමේ නම් අඬුවක් නෑ. එතනින් එක කෙල්ලක් ඇදන් හිටපු රතු පාට ලොකු මල් වැටුනු ගවුම මගේ මතකයෙ අමතක නොවන විදිහට සටහන් උනේ කිසිම හේතුවක් නැතිව. මං වැඩිය මේ කෙල්ලො ගැන නොතකා හිටියට, හොදින් දන්න අදුනන කෙනෙක් වගේ මාත් එක්ක කතා බහ කලා.

"ඔය කෙල්ලො හරිම දුප්පත් පුතේ. උසස් පෙල කරන්න මෙහෙ නැවතිලා ඉන්නෙ."

පස්සෙ වෙලාවක මුණ ගැහුනු වෙලාවක ඇන්ටි වැඩිදුර විස්තර ඉදිරිපත් කලා. පොලොන්නරුව දිස්ත්‍රිකයේ කෙලවර තියෙන මායිම් ගම්මාන දෙකකින් තමයි මේ ගෑනු ළමයි දෙන්න නගරෙට ඇවිත් තියෙන්නෙ උසස්පෙල කරන්න. අල්ලපු ගෙදර අපි නිතර යන එන තැනක් නිසාම එතැන ඉදන් සතියක් විතර මං ගෙදර ඉදපු දවස් කිහිපයේදි මං මේ ගමේ ගොඩේ කෙල්ලන්ගෙ සමාගමට වැටුනා නොදැනීම. මේ මිත්‍ර සමාගමේ කෙල්ලො තුන්දෙනෙක්, අල්ලපු ගෙදරට ඇන්ටි, අපේ ලොකු මලයා සහ මං හිටියා.  මාසෙකට සැරයක් වගේ සති අන්තෙක ගෙදර එන මට ගමේ හිටපු සීමිත මිතුරු පිරිස අතරට මේ ගෑනු ලමයි තුන්දෙනා එකතු උනා.

ටික කාලෙකින් මේ බොඩිමෙන් ගෑනු ලමයි දෙන්නෙක් ඉවත් වෙලා ගියත් එක කෙල්ලෙක් ඉතුරු උනා. ඒ අර රතු ගවුම් කාරී. ඇය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ගඟෙන් එගොඩ ගම්මානෙකින් ඉදන් ආ කෙනෙක්. මාවිල් ආරුවෙන් පටන් අරන් නැගෙනහිර පලාතේ ඇවිලිලා ගිය යුධ ගිනිවල උනුහුම තදින් දැනුනු ගමක් ඒක. පොලොන්නරු දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමට අනන්‍ය වුනු හුදෙකලා ගම්මානයක්. ආසන්නයේම තියෙන වැලිකන්ද නගරයේ ඉදන් සෑහෙන දුරක් කැලෑවක් මැදින් වැටී තියෙන පාරක් දිගේ ගමන් කලාම තමයි මේ මහවැලි ගම්මානයට එලඹෙන්න ලැබෙන්නෙ. කදුරුවෙල ඉදන් මහ දුරක නොවුනත් මේ ගම්මානයට යන එන එක හරිම අමාරු කටයුත්තක්. ඒ වැලිකන්දේ ඉදන්  මේ ගමට සේන්දු වෙන බස්රථවල හිඟය නිසා. කොටින්ම කියනව නම් කොළඹ ඉදන් වැලිකන්දට එන එක ලේසී, වැලිකන්දෙ ඉදන් ගමට යනවට වඩා කියලයි අපි කියන්නෙ.

හැම මහවැලි ජනපදයකම වගේ මේකත් ගොවිතැනත් එක්ක බැදිච්ච ගමක්. හැම ගෙයක්ම ගොවි ගෙයක්. සාමාන්‍ය පෙල දක්වා විතරයි බොහෝ විට ලමයෙක් පාසල් යන්නෙ. පාසල් හැර ගිය තරුනයන්‍ට උරුම රැකියා දෙකයි. එකක් ගොවිතැන. අනෙක ආරක්ෂක අංශය. ඒකෙනුත් ග්‍රාමාරක්ෂක සේවාව විශේෂයෙන්. බොහෝ ගැහැනු ලමයි තුරුනු විය එලබෙනවාත් එක්කම කාගේ හෝ බිරිදක් බවට පත්වෙනවා. හමුදා කදවුරක් කේන්ද්‍රගත වෙලා තියෙන එක මේකට තවත් රුකුලක් වෙලා. ඒ හැරුනම ඉතිරි තරුනියෝ නිදහස් වෙළද කලාප වල ඇගලුම් කම්හල් වලට ගාල්වෙනවා. මේ ගෑනු ළමයාගේ සමවයසේ කෙල්ලන්ගෙන් ඒ වෙනකොට උසස්පෙළ කරන්න ඉතිරි වෙලා හිටියෙත් මෙයත්, මෙයාගේ ලගම මිතුරියත් විතරයි. ඇත්තටම මේ ගම්මාන  වල සංස්කෘතියේ ඛේදවාචකය පෙනෙන්නෙ ලමා අපචාර, ලමා මවුවරු වගෙ සංඛ්‍යා දත්ත දිහා බැලුවමයි.

මේ රතු ගවුම් දැරිවි ගේ අම්මා තාත්තත් මහපොලව එක්ක හැප්පෙන  ගොවියෝ. සාමාන්‍යපෙලින් පස්සෙ පාසල අතෑරලා ගිය ඇගේ අක්කා ඒ වෙනකොටත් නිදහස් වෙලද කලාපයක කර්මාන්ත ශාලාවක හිර වෙලා. දුප්පත්කමේ පතුලේ හිටියත් එයාගේ දෙමව්පියන් එයාට උගන්වන්න මහන්සි ගත්තා. ඒ නිසාම ඇය උසස්පෙල හදාරන්න නගරයට එන්න ලැබුනා. මිතුරියක් විදිහට මට නගරයේදි මුන ගැහුනේ මෙන්න මේ ගැහැනු දැරිවි. ඒ වෙද්දි එයාගේ එකම බලාපොරොත්තු වෙලා තිබ්බේ සරසවියට ඇතුල් වෙලා දෙමව්පියන් දෙන්නගේ බලාපොරොත්තුව සඵල කරන එකයි.

අනිත් යෙහෙලියන් දෙන්නා ඇයව මේ බොඩිමේ තනිකරල ගිය නිසා හුදෙකලා උනු ඇය ඒ  අතරේ මාත් එක්ක වඩාත් හිතවත් වුනා. අඟ හිඟකම් මැද්දේ උසස්පෙලට සුදානම් වෙන අතරේ ඉදහිට මතුවෙච්ච ගැටළු වලදි සහයට ඇගේ ලග හිටියෙ අපේ මලයත්, මාත්. කාලයත් එක්කම මං ඇගේ විශ්වාසවන්තම ලගම මිතුරෙකුත්, ඈ මගේ හොදම මිතුරිය බවටත් පත් වුනා. ඇයත් මාත් මෑතකදි හිතවතුන් උනාට මොකෝ අපේ අම්මලා සෑහෙන කාලෙකට කලින් ඉදන් හිතවත් අය බව මං දැන ගත්තෙ ටික කාලෙකට පස්සෙයි.
තරුනයෙකුත් තරුනියකුත් අතර හිතවත්කමට කන කොකා අඬන පෙරලියක් මේ අතර තුර හොර රහසේම සිදුවෙමින් තිබුනා.  ඒ මගේ හිත නොදැනීම මිතුරු කමට එහා හැගීමකින් පිරෙන්න පටන් ගත්ත එකයි. ඉතාම සමීපව ඇසුරු කරපු නිසාම ඇගේ ගති ගුන, රූපයට නිකම්ම මගේ හිත ආකර්ශනය උනා. අදටත් මට නිතරම  මතක් වෙන ඇගේ සුන්දර සිනහවට මං ලෝබකම් කරන්න ගත්තා. බොහොමයක් වෙලාවට පෙනුන අහිංසක කමට වගේම හිටපු ගමන් මතුවෙන දගකාර නපුරු කම අතරෙ මං අතරමං වෙන්න පටන් ගත්තා. මේ හැගීම අවසන් වෙන්නේ කොතැනද කියල දැනන් නොහිටියත්, මේ හැගීම භයානක බව මං දැනං හිටියා. සරසවිය සහ එතනින් එහා දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කරන අරමුනේ තදින් බැදිලා හිටපු මේ හිතවතිය කිසිම දවසක ප්‍රේමයකට ඉඩක් දෙන්නෙ නැති බව මං අනුමාන කලා. ඒ විතරක් නෙමෙයි මේ රහස එලිවෙන දවසට එයාගෙත්, මගෙත් යාලුකම පවා අවසන් වෙන බව මං දැනං හිටියා. ඒ නිසා හැකිතාක් කාලයක් මේ රහස සගවගෙන තියාගෙන ඉන්නයි මට උවමනා උනේ.

ඔය අතරේ එක දවසක් හදිසියේම මට එයාගෙ ගෙදර යන්න අවස්ථාවක් ලැබුනා. සුනාමි ඛේදවාචකට කලින් දවසේ උදේ එක සැරේම අපි එයාලගෙ ගෙදර පාර හොයාගෙන ගියා. එයාලගෙ මිදුලෙ නවත්වපු ත්‍රීරෝද රථයෙන් බිමට බැහැපු මගේ හුස්ම මොහොතකට නතර උනා. දෙවියනේ! මේ එයාලගෙ ගෙදරද? අපිත් එක්ක නිතරම හිනාවෙන, ලග ඉන්න වෙලාවට මගේ හිතම ජීවයෙන් පුරවන් මේ කෙල්ල ජිවත් වෙන්නෙ මේ මැටි පැලේද? ඔව්. ඒක කටු මැටි පැලක්. එක කාමරයක්, පුංචි සාලයක්, කුස්සි කෑල්ලක් තිබ්බා මේ පැලට. දෙසැම්බර් මාසේ වැස්සත් එක්ක කට මට්ටමට පිරිච්ච වැව ලඟ නිසාද කොහෙද මැටි බිම දිය උල් අල්ලලා තිබ්බා වගෙ මට යාන්තමට මතකයි. අපි හතර පස්දෙනාට වාඩි වෙන්න ඒ ගේ ඇතුලෙ ඉඩක් නොතිබුනු නිසාම මිදුලෙ තියා ගත්ත ප්ලාස්ටික් පුටු වලයි අපි වාඩි උනා. එදා හවස මං ආපහු ආවේ හොදහැටි තැලුණු පෙලුනු හිතක් එක්කයි. 
image - http://www.sutratechnologies.com/projects/

අපේ අම්මයි, තාත්තයි සිලි සිලි මල්ලක ඇදුම් කඩමාල් ටිකක් දාගෙන කොලු පැටව් දෙන්නෙක් එක මහවැලි කලාපෙට සේන්දු වෙච්ච ඒ මුල් කාලේ අපිත් හිටියෙ මැටි ගේක තමයි. ඒත් අම්මගේ, තාත්තගෙයි දිරියට පිං සිද්ධ වෙන්න අපි ඉක්මනින් තරමක් හොද ගෙදරකට ගියා නේ. ඒ වගේම හොද මටමේ ගෙයක් නොවුනත් අපි ජීවත්වෙන ගේ පිලිවෙලට හදපු ස්තීර  හෙවනක් නේ. ඒත් හයදෙනෙක් ජීවත්වෙන ඒ මැටි ගේ නිසා මගේ හිත එයා වෙනුවෙන් සෑහෙන්න දුක් උනා.  ඒ වෙනකොට හිතේ මෝදු වෙලා තිබ්බ ප්‍රේමය පැත්තකට කරලා දිගටම මිතුරෙක් විදිහට එයාට උදව් වෙන්න මං හිතා ගත්තා.

ඒත් හිත ඒ තරම් ලේසියෙන් නවත්ව ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. දවසින් දවස ඇගේත් මගෙත් හිතවත්කම වැඩි වෙන අතරේ මගේ හිත වඩ වඩාත් මුරන්ඩු වෙන්න ගත්තා. කරදර බාධක අග හිඟකම් මැද්දේ ඇය උසස්පෙලට නොසැලී  සූදානම් වෙන විදිහ මාව පුදුම කලා. මං විභාගෙට සූදානම් වෙච්ච උදාසීන ගතියත් එක්ක මගේ ප්‍රතිඵල ගැන මං හොද හැටි දැනන් හිටියත් එයා නම් අනිවාර්යයෙන්ම උසස් ප්‍රතිඵලයක් ගන්න බව හැම දෙනාම දැනන් හිටියා.

විභාගෙ අවසන් වෙලා එළඹුන සමු ගැනීමේ මොහොත හරිම දුක්බර මොහොතක් උනා. පාසල් ජීවිතේට සමුදීලා ඇය පිටත් උනේ ආපහු ගමට නෙමෙයි. ගමේ බොහෝ තරුනියන්ගේ නවාතැන් පොලක් උනු නිදහස් වෙළද කලාපයක ඇගලුම් කම්හලක රැකියාවක් හොයාගෙනයි එයා ගියේ.  මේ සමුගැනීමට කලින් මගේ හිතේ එයා ගැන ආලවන්ත හැගීමක් තියෙන බව කියන්න හිතුනත් යන්තමින් හෝ මිතු දමක් සජීවීව තියා ගන්න ලැබෙන අවස්තාව නැති වේවි කියන බයෙන් මං පැකිලුනා. අවසානයේ මුල්ම වතාවට මගේ හිතේ ප්‍රේමණීය හැගීමක් ඇති කරපු දැරිවිය සමු අරන් ගියා. නැවත මුණගැහෙන දවසක් තියා අඩුම තරමේ මුණගැහෙන්න අවස්තාවක් වත් ලැබෙයිද කියලා අපි දැනන් උන්නෙ නෑ.

ඒත් මං ඒ තරම්ම අවාසනාවන්ත උනේ නෑ. ඇගලුම් කම්හලේ ගෙවෙන ජීවිතේ අතරේ ඉදහිට මං වෙනුවෙන් අකුරු ටිකක් එවන්න එයාට අමතක උනේ නෑ. දුරස්වේවි කියලා හිතුන හිතවත්කම තවත් ශක්තිමත් කරන්න එහා මෙහා ගිය ලිපි වලට පුලුවන් උනා. ඒ විතරක් නෙමෙයි, පිටු ගනන් ලියවුනු එයාගේ අකුරු බොහෝ වෙලාවට මගේ හිත තවත් ආකූල කලා. මාස කීපයකට පස්සේ උසස්පෙල ප්‍රතිඵල නිකුත් වෙනවත් එක්කම බිදවැටිච්ච බලාපොරොත්තුවකුත් එක්ක එයා ආපහු සුපුරුදු ගම්මානෙට ආවා. ඉතාම හොද ප්‍රතිඵල තිබුනත් එයාට සරසවි වරම හිමි වෙලා තිබුනේ නෑ. මං ගැන නම් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ. 

දෙවෙනිවර විභාගයට අපි දෙන්නම සූදානම් වෙච්ච කාලේ මට නම් ඒ තරම් හොද කාලයක් උනේ නෑ. හිතට වද දෙන කරදර කීපයක් අපේ ගෙදරට කඩා වැටුනත් කලින් සැරේට වඩා උනන්දුවකින් මං විභාගෙට සූදානම් උනා. ඉදහිට එහාට මෙහාට ගිය ලියුම් කරදහි වලින් අපේ හිතවත් කම අඩු නැතිව ගලාගෙන ගියා විතරක් නෙමෙයි කරදර මැද්දේ හිටි මගේ හිතට සැනසිල්ල අරන් ආවා. විභාගෙ අවසන් කරලා මං ආයෙමත් රජරටට එද්දි එයා බැංකුවක තාවකාලික රැකියාවක් හොයන් තිබුනා.

මේ කාලේ ආයෙමත් ඇයට කරදර ගොඩකට මුහුන දෙන්න වෙච්ච කාලයක්. යුද්ධය ඇස් මානේ ඇවිලෙන්න ගත්තා. "වැලිකන්දේ බස් දෙකකට ක්ලේමෝ තියලා" කැබිතිගොල්ලෑවේ බෝම්බෙ පුපුරවලා ටික දවසකින් ඇහිච්ච කතාවට මගේ හිතම පිච්චිලා ගියා. ඒ එයා උදේ හවා යන එන බස් එක. වාසනාවන්ත විදිහට ඒ බෝම්බ දෙක උදේ සෝදිසි මෙහෙයුම් කරපු හමුදාවට අහු වෙලා තිබුනා. ඛේදවාචකයක් වෙන්න අවස්තාවක් නොලැබුනත් ත්‍රස්තවාදීන් නිතරම ක්‍රියාකාරී ප්‍රදේශයක් නිසාම බයෙන් තමයි එයාලට ජීවත්වෙන්න උනේ. හැමදාම කන් මානේ කාලතුවක්කු ගිගිරුවා. ඉදහිට වැලිකන්ද නගර මානයටත් උන්ඩ පාත් උනා. කොටින්ගෙන් වෙන් වෙච්ච කරුනා කන්ඩායම ආයුධත් එක්ක එලිපිට සැරිසැරුවා. යුද්ධය නිසා තමන්ගෙ ජීවිකාව වෙච්ච ගොවිතැන අත හරින්න එයාගේ දෙමව්පියන්ට බල කෙරුනා. තමන්ගෙ දරු පවුල තනි කරලා කම්කරු රැකියා හොයාගෙන ඈත පළාත් වලට ඇදිලා ගිය පිරිසට එයාගේ තාත්තත් එකතු උනා. මට තමන්ගෙ දරුවෙක්ට වගේ සලකපු මගේ මිතුරියගේ අම්මා ගල් වලක ගල් කඩන හැටි දවසක් මගේ ඇස් දෙකෙන්ම දකින්න ලැබුන එක මට මහා දුකක් ගෙනාවා. ත්‍රස්තවාදින් විතරක් නෙමෙයි ඉදලා ඉදල හමුදාවත් මේ මිනිසුන්ට කරදර අරන් ආවා.. ගමේ ඉතිරි වෙච්ච පිරිමි කිහිප දෙනාත් සිවිල් ආරක්ෂක බටයෝ විදිහට බංකර් වල රාජකාරි කලා. මේ නිසා බොහෝ රාත්‍රී වල ගමේ ගෙවල් වලට කඩන් පැන්නෙ හමුදා කදවුරේ බටයො බව හැම දෙනාම දැනං හිටියා.

ඔය අතරේ බලාපොරොත්තු සඵල කරමින් විභාග ප්‍රතිපල පිට උනේ එයා දිස්ත්‍රික් මට්ටමේ උඩම තැනකට ගෙන එමින්. ඒ විතරක් නෙමෙයි මටත් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් තරමේ ප්‍රතිපලයක් ලැබිල තිබුනා. ඒත් මේ සතුට වැඩිකල් රැදුනේ නෑ. හදිසියේම එයා මාත් එක්ක තිබුනු ගනුදෙනු නවත්වලා දැම්මා. මාත් එක්ක කතා බහ කරන එක නවත්වලා දැම්මා. අවුරුදු දෙකක් තිස්සේ ගොඩනැගුන සමීප බව දවස් කිපයකින් එයා බිදලා දැම්මා. මේකට හේතුවක් මුලින්ම හිතා ගන්න බැරි උනත් මේ උනේ මෙච්චර කාලයක් සැගවිලා තිබුන කාල බෝම්බයක් පුපුරා යාම බව ඉක්මනින් මං දැන ගත්තා. මිතුරියක් විදිහට ඇසුරු කරන අතරෙම එයාට මං ආදරය කරන බව කොහෙන්දෝ එයාගෙ කනට වැටිල්ලා. ඒ අතර තුරේම එයා මගේ පෙම්වතිය බවට කට කතාවක් පැතිරෙන බවත්, ඒ කට කතාව පතුරවන්නෙ මං බවකුත්, කවුදෝ කෙනෙක් කේන්තියෙන් ඉන්න එයාගේ කනේ තියලා තිබුනා. මේ නිසා මගේ හිතට දැඩි වේදනාවකට ගෙන දෙමින් එයා මගෙත් එක තිබුන සියලුම ඇයි හොදයිකම් නවත්වලා දැම්මෙ නිදහසට කාරනාවක්වත් කියන්න කිසිම ඉඩක් නොදී. ඒ විතරක් නෙමෙයි එයාගේ දුප්පත්කම, අසරනකම ඉස්සරහා උදව්වට ආවේ, ඒකෙන් අයුතු ප්‍රයෝජනයක් ගැනීමේ චේතනාවෙන් කියන චෝදනාවකිනුත් මට දමලා ගැහුවේ මං නොහිතපු විදිහට.  

තත්වේ තවත් දරුණු උනේ විශ්වවිද්‍යාල වලට තෝරා ගත් බවට ලිපිය ලැබුනයින් පස්සෙයි. එයාගේ සරසවි හීනෙ කැමතිම තැන වෙච්ච පේරාදෙණියේ ශාස්ත්‍ර පීටයට  ඇතුල්වෙන්න එයාට අවස්ථාව හිමි වෙලා. ඒ විතරක්ද එයත් එක්කම එකම සරසවියකට යන්න තිබ්බ මගේ හීනෙත් ඒ එක්කම සඵල වෙලා. ඒත් ඒ ගැන සතුටු වෙන්න ඉඩක් මට තිබුනේ නෑ. ඒ වෙනකොටත් එයා මං නොදන්නා කෙනෙක් බවට පත්කරලා තිබුණා. මාත් එක්ක ලොකු තරහකින් එයා හිටියේ. සරසවියට ඇතුල් වෙච්ච මුල් දින වලම දවසක් කදුරුවෙලින් පිටත් වෙච්ච බස් රථයක අහම්බෙන් වගේ මට එයත් එක්ක එන්න අවස්ථාව ලැබුණා. ඒත් මං දැක්ක මොහොතේ වෙනද එයාගේ මුහුණේ ඇඳෙන සුන්දර හිනාව පිපුනේ නෑ. අපි දෙන්නා නොදන්නා දෙන්නෙක් වගේ බස් එකේ තැන් දෙකක වාඩි වෙලා නුවර ගියේ නොදන්නා මිනිස්සු දෙන්නෙක් වගෙයි. 

සරසවියේදී ආයෙමත් මට මගේ ප්‍රේමය දිනා ගත්ත යුවතිය ඉදහිට දැක ගන්න ලැබුනා. ඒත් එතකොට ඇය නාදුනන යුවතියක්. බොහෝ වෙලාවට ඇය මාව මගහැරලා ගියා. ඒ නිසාම මමත් ඇයව මග හරින්න පුරුදු උනා. මගෙන් ඈතට වෙලා ඉන්න උත්සහ කරන එයාට පාඩුවේ ඉන්න ඇරලා මං මගේ පාඩුවේ කල් ගෙව්වා. 
මේ රහස දැනගත් දවසක එයාගෙන් මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙන්න ඉඩ තියෙන බව මං කාලෙක ඉදන් දැනං හිටියා. ඒ නිසාම බිදුනු හිතත් වත්තන් කරන් නවතිනවා ඇරෙන්න විකල්පයක් මට තිබුනෙ නෑ. ප්‍රථම ප්‍රේමය විතරක් නෙමෙයි, මගේ සමිපතම හිතවතියත් එක සැරේම මට අහිමි වෙලා ගියා. හදිසියේම මහා හිස් කමක් මගේ ලෝකේ ඇතුලේ දැනෙන්න ගත්තා. ඔව්. ඒ මීට අවුරුදු හතකට විතර කලින් උනත් එදා ඒ දැනුනු හැගීම මේ ගැන මතක් කරන මොහොතේ අදත් ඒ විදිහටම මට දැනෙනවා වගෙයි. 

ඔන්න ඔය විදිහට ප්‍රේමය වෙනුවෙන්ම  සුප්‍රසිද්ධ හන්තාන පාමුලදී මගේ ප්‍රථම ප්‍රේමය දිනා ගත්ත යුවතිය විරහා වේදනාවේ අරුමය කියා දීලා මගෙන් ඈතටම ඉගිලුනා. කිසිම දිනෙක ඇය ගැන තරහක් ඇති උනේ නෑ. ඒ විතරක් නෙමෙයි මිතුරියක් විදිහට සමීප වෙලා ගෙනාපු සුන්දර මතක වගේම, වෙන්වෙලා ගිහින් ගෙනාව විරහ දුකත් හිතේ කිසි දවසක අමතක නොවෙන විදිහට තැන්පත් උනා. 



තනි තරුවේ .............  තනි තරුවේ.....
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
තනි තරුවේ.... තනි තරුවේ.......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලී පැටලී
මුවඟ මුවඟ ඇළලී ඇළලී 
මෙතෙක් දුරක් එක්වී පැමිණි 
තනි තරුවේ..... තනි තරුවේ ......

මහද අරණේ ලතවී ලතවී 
රැදෙනු බැරිව ඉගිලී ගිගිලි 
මගෙන් ඉවත ඇදිලා සැනසී 
තනි තරුවේ.... තනි තරුවේ.... 



Wednesday, July 16, 2014

ජංගමයෙන් ඇල්ලු පින්තුර | Mobile Photography

මගේ කැමරාව ගත්ත දවසේ ඉදන් හැමදාම වගේ මගේත් එක්ක යන එන හැම තැනම ගියා. ඒත් ගිම්හානේ ආවට පස්සේ කැමරාවේ ආරක්ෂාව සලකලා මං ඒක නිතරම වාහනේ ඇතුලේ තියාගෙන ඉන්න එක නැවැත්තුවා. නැත්නම් මේ රස්නෙට කැමරාවට හානියක් වෙන්න පුළුවන් නේ. රස්නෙට නිසා දවල් කාලේ පින්තුර ගන්න යැවෙන්නෙත් නැති නිසා මේ දවස්වල මගේ කැමරාව කාමරේට වෙලා ගිමන් හරිනවා. හැබැයි ඒ වෙනුවට මගේ ජංගම දුරකථනයට නම් වැඩ වැඩි උනා.

පහුගිය දවස්වල එක සැරේම පරණ දුරකථනය කැඩිලා ගිය නිසා අලුතෙන් ගත්ත දුරකථනය නිසාම මං ජංගම දුරකථන ජයාරූප ගන්න එකට සැහෙන්න යොමු උනා. කලිනුත් මේ වැඩේ කලත් පරණ ජංගමයේ පින්තුර වල ගුණාත්මක බව ගොඩක් අඩු නිසා මං වැඩිය ඒකට කැමති උනේ නෑ. නමුත් අලුත් ජංගමේ කැමරාව 5 mp එකක් උනත් අලුත්පිට නිසා තරමක් හොද තත්වේ පින්තුර ගන්න පුළුවන්. ඒ නිසාම මගේ කැමරාවේ අඩුව පුරවා ගන්න මං දකින දකින දේවල් දිහාට ජංගම කැමරාව මානන්න පටන් ගත්තා. බොහෝ වෙලාවට මේ පින්තුර INSTAGRAM සේවාවට උඩුගත කරන එක තමයි මගේ පුරුද්ද.
හොද පින්තුර ගන්න හොද කැමරාවක්ම ඕන නෑ කියලයි චායාරුපකරණයේ ප්‍රවීණයෝ කියන්නේ. මාත් ඒක පිලිගන්නවා. ජංගම දුරකථන වලින් කරපු හොද පින්තුර සැහෙන්න ප්‍රමාණයක් මාත් දැකල තියෙනවා. කොහොමත් මේ ජංගම දුරකථන චායරුපකරණයත් දැන් වෙනම කලාවක් විදිහට දියුණු වේගෙන නේ එන්නේ. ඒක නිසාම වෙන්න ඕන INSTAGRAM වගේ ජංගම පින්තුර සේවා මේ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.
ඔන්න මේ තියෙන්නේ මගේ ජංගමය පහුගිය ටිකේ අල්ල ගත්ත පින්තුර ටිකක්. බොහොමයක් ඒවා ජංගම දුරකතනයෙන්ම සංස්කරණය කරලයි තියෙන්නේ.
මෙන්න මගේ instagram එකතුවට පාර. ඒක පාවිච්චි කරන අය ඉන්නවා නම් ගිහින් බලන්න.












හරිම මහන්සි. මේ පිදුරු මිටියෙවත් ඔලුව තියාගෙන ටිකක් ඇලවෙන්න කියල 







ඔය ඉන්නේ මම (SELFY)













නුඹේ අම්මා කොතැන ගියා