ගෙදරින් බැහැර වෙලා ගෙවන මේ ජීවිතේ පටන් ගත්තෙ දැනට අවුරුදු කීයකට කලින්ද? අවුරුදු 15ක්. ඔව්, අවුරුදු 15ක් විතර ඇති. පහ වසරෙ ශිෂ්‍යත්ව විභාගෙ පිහිටෙන් කදුකරේ ඉස්කෝලෙට සේන්දු වුනේ හයවෙනි වසරේ දෙවෙනි වාරෙදියි. ඉස්කෝලේ නේවසිකාගාරයට මාව ඇතුල් කරලා තාත්තා පිටත් වෙලා ගියායින් පස්සෙ තමයි මේ ගෙදරින් පිට ගෙවෙන ජීවිතේට මූලාරම්භය තිබ්බෙ.
එතැන ඉදන් සාමාන්‍යපෙල දක්වා ජීවිතේ ගෙවුනේ කතෝලික පියතුමන් යටතේ තිබුනු නේවසිකාගාරයේ. මාසයකට වරක් සති සති අන්තය සදහා ගෙදර යන්න අවසරය ලැබුනත්, බොහෝ වෙලාවට මට යන්නට ලැබුනේ සිකුරාදා හෝ සදුදා නිවාඩු තිබුනු දීර්ඝ සති අන්ත වල විතරයි. මාසයකට සැරයක් තාත්තා මා බලන්න ආවා. වාර අවසාන නිවාඩුවේදී විතරක් ගෙදරට වෙලා ජිවිතේ ගෙවන්න අවසරය ලැබුන ඒ අවුරුදු කීපය නිකම්ම මාව ගෙදරින් පිට ජිවිතේට හුරුකලා. ඉද හිටලා කොල්ලෙක් එක්ක ගුටි ඇනගෙන ඇඩුවා ඇරෙන්න, මුල්ම දිනේ නේවාසිකාගාරයේ තනි උනාමවත් මං ගෙදර යන්න ඕන කියල ඇඬුව බවක් නම් මතක නෑ . ඒ තරම් බරක් පතලක් නොදැනුනු ඒ කාලයේදී මං පිටස්තර ජීවිතේට ඇබ්බැහි උනාද මන්දා. සමහර සති අන්ත වල දීර්ඝ නිවාඩුවක් ලැබුනම ගෙදර නොයා ඉතිරිවෙන පස් හය දෙනාගෙ ගොඩට බොහෝ වෙලාවට මාත් වැටුනා.
කරපු නොසන්ඩාල කම් නිසා අපේ කල්ලියම භාර ගන්න එක නේවාසිකාගාර පරිපාලනය ප්‍රතික්ෂේප කල නිසා උසස් පෙල කරන්න පිටස්තර බෝඩිමකට මාරු වෙන්න උනා. පාසල පිටිපස්සෙ තිබුන පර්ලි ආන්ටිගේ බෝඩිමේ ගෙවපු කාලයත් අමුතුම ජීවිතයක්. සිංහල බෞද්ධ මාත්, සිංහල කතෝලික නාලෙත්, දෙමල කතෝලික ක්‍රිශාත්, මුස්ලිම් අබ්දුලුත් එකම කාමරේක නවාතැන් අරන් හිටපු කාලේ පහුගිය දවස් කීපයේම මතකයට ආවේ නැගීගෙන ආපු ගෝත්‍රවාදී රැල්ල නිසයි. උසස් පෙල අවසාන කාලෙදි මේ බෝඩිමෙන් අයින් වෙලා හිත මිතුරෙක්ගෙ නිවසක නවාතැන් ගත්තා. මේ කාලයේ තමයි මං ඉදල හිටලා හරි ගෙදර එන්න ආයෙමත් පටන් ගත්තෙ.
උසස්පෙල ඉවරවෙලා මාස ගානක් ගෙදරට වෙලා ඉන්න අවසරයක් ලැබුනත්, වැඩි කල් නොගිහින්ම දෙවෙනි වර පෙනී ඉන්න සූදානම් වෙන්න සිද්ද උන නිසා ආයෙමත් ගෙදරින් පිට උනා. ඒ සැරේ නම් නැවතුනේ මාතලේ පුංචි අම්මගේ ගෙදර. යන්තමින් විභාගය ඉවර කරන් ආයෙමත් ගෙදරට ගොඩ උනත්, සුපුරුදු පිටස්තර ජීවිතේ ආයෙමත් අත වැනුවා. ඒ සරසවියට.
ගෙවල්වලටම වෙලා ඉදන් ආපු බොහෝ දෙනෙකුට වගේ මට සරසවියේ නේවාසිකාගාරයට පුරුදු වෙන්න අපහසු උනේ නෑ.
සරසවියෙ තිබුන නිදහසත්, ලගින් ඇසුරු කරපු හිත මිතුරු කාන්ඩයත් නිසාමද මන්දා වැඩිකල් නොගිහින් සරසවිය දෙවෙනි ගෙදර වගේ දැනෙන්න ගත්තා. වෙනදට ගෙදර ගියාම හිතට සැහැල්ලුවක් දැනුනත්, සරසවි ජීව්තේදි නේවාසිකාගාරේ කාමරේට ගියාම ඊට වඩා සැහැල්ලුවක් දැනුනා.
කොහොමින් කොහොම හරි සරසවියට සමු දුන්න දවසේ ඉදන් පටන් ගත්තෙ මාවතේ ජීවිතේ. ඒ මාස කිහිපයක සීමා වෙච්ච පලමු රැකියාව වෙනුවෙන් රට වටේ ඇවිදින්න උන නිසා. සරසවියෙන් එලියට ඇවිත් හරියටම අවුරුද්දකින් හදිසියේම ලැබුනු රැකියා අවස්තාව නිසා මේ දුරු කතරට ඉගිලෙන්න උනා.
හැමදාම මං ජීවත් උනේ ගෙදරින් පිට උනත් මේ කතරේ ගෙවිච්ච අවුරුදු එක හමාරෙදි තරම් කිසිම දිනෙක මට ඒ ගැන ලොකු හැගීමක් දැනුනෙ නෑ. භාග වෙලාවට ඒ ලංකාවෙදි හිතුනු වෙලාවක ගෙදර යන්න අවස්ථාව තිබුන හින්ද වෙන්න ඇති. ඒ වගේම ලංකාවේ කොහේ හිටියත් මං පිටස්තරයෙක් බව දැනුනෙ නැති නිසා වෙන්නත් ඇති. අවුරුදු දෙක හමාරකට කලින් මට වඩා ලං වෙච්ච ඇය ඉදහිටවත් දකින්න ලැබෙන්නෙ නැති නිසා වෙන්නත් ඇති. මීට කලින් මං දෙමවුපියන්ගෙන් යැපුන කෙනෙක් උනත් දැන් ඔවුන් මගෙන් යැපෙන, මගේ පිහිට අවශ්‍ය අය නිසා වෙන්නත් ඇති. ලංකාවෙදි ලගින් හිටපු සමීප මිතුරො ලග පාතකවත් නැති නිසා වෙන්න ඇති.
කොහොමින් කොහොම හරි ආයෙමත් ගෙදර යන දවස ලග ලගම එනවා. තව එකම එක මාසයයි. මාස දහ අටකට පස්සෙ. හ්ම්.. සෑහෙන කාලයක්. බලාපොරොත්තු ගොන්නක් හිතේ ගොඩ ගැහිලා. මොකද්දෝ නොදන්නා හැගීමක් මිශ්‍ර වෙච්ච සතුටක් හිතේ ගොඩ ගැහෙන්න පටන් අරන්. නෑ. නවතින්නම නෙමෙයි ගෙදර යන්නෙ. මාසකට හෝ එක හමාරකට විතරයි. පොඩි කාලයක් තමයි. ඒත් ඒ පොඩි කාලේ දිගු කාලයක් වගේ දැනේවා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.
පින්තුරේ ගත්තේ- http://www.gojhe.com/how-to-travel-in-style-topfive-travel-tips